අඟහරුගේ සඳෙන් පස් ග්‍රෑම් 10ක් රැගෙන එන්නට ජපානයෙන් ඓතිහාසික මෙහෙයුමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, අඟහරුගේ ෆෝබෝස් චන්ද්‍රයා වෙත ගමන් කරන අභ්‍යවකාශ යානය ජපානයෙන් දියත් කෙරුණු අයුරු
    • Author, රෙබෙකා මොරෙල්
    • Author, ඇලිසන් ෆ්‍රැන්සිස්
    • Author, කෙවින් චර්ච්
    • Role, BBC News Science
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

අඟහරු ග්‍රහයාගේ 'ෆෝබෝස්' (Phobos) චන්ද්‍රයා වෙතින් පස් සහ දූවිලි සාම්පල ලබාගෙන ඒවා නැවත පෘථිවිය වෙත රැගෙන ඒමේ අරමුණින් යුතුව, ජපානයෙන් අභ්‍යවකාශ යානයක් අභ්‍යාවකාශගත කර තිබේ.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, එය අඟහරු ග්‍රහයාගෙන් හෝ එහි චන්ද්‍රයන්ගෙන් ලබා ගත් සාම්පලයක් පෘථිවියේ ඇති රසායනාගාර තුළ පරීක්ෂා කිරීම සඳහා රැගෙන එනු ලබන ප්‍රථම අවස්ථාව බවට පත්වනු ඇත.

අදාළ අභ්‍යවකාශ යානය 2027 අගෝස්තු මාසයේදී ෆෝබෝස් චන්ද්‍රයා වෙත ළඟා වීමට නියමිතව ඇත.

ජපන් අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) මෙහෙයවන මෙම 'මාස් මූන්ස් එක්ස්ප්ලෝරේෂන්' (MMX) මෙහෙයුම මගින්, අඟහරුගේ චන්ද්‍රයන් නිර්මාණය වූයේ කෙසේ ද? යන්න පිළිබඳව පවතින අභිරහස විසඳීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MMX මෙහෙයුමේ සාම්පල විශ්ලේෂණ නියෝජ්‍ය ප්‍රධානී, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය සාරා රව්‍සල් ප්‍රකාශ කළේ, "ෆෝබෝස් චන්ද්‍රයා වෙත ගොස් එහි කොටසක් නැවත පෘථිවියට රැගෙන ඒමට සමත් වූ කිසිදු සාර්ථක මෙහෙයුමක් මෙතෙක් සිදුවී නොමැති" බව ය.

මෙය අතිශය අභිලාෂකාමී මෙන්ම උද්යෝගිමත් මෙහෙයුමක් ලෙස තමන් සලකන බව ඇය ප්‍රකාශ කළා ය.

අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින්නේ චන්ද්‍රයන් තිදෙනෙකු පමණි. ඒ අපේ පෘථිවිය සතු චන්ද්‍රයා සහ ෆෝබෝස් (Phobos) හා ඩෙයිමෝස් (Deimos) ලෙස හැඳින්වෙන, අඟහරු ග්‍රහයා වටා කක්ෂගතව ඇති චන්ද්‍රයන් දෙදෙනා ය.

මෙම චන්ද්‍රයන් දෙදෙනා ම ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර, ෆෝබෝස් චන්ද්‍රයා විෂ්කම්භයෙන් කිලෝමීටර් 20ක් (සැතපුම් 12ක්) පමණ ද, ඩෙයිමෝස් චන්ද්‍රයා කිලෝමීටර් 10ක් (සැතපුම් 6ක්) පමණ ද වෙයි. එලෙස ම ඒවා අක්‍රමවත් හැඩයකින් යුක්ත වේ.

MMX අභ්‍යවකාශ යානය අඟහරු කලාපයට ළඟා වූ වහා ම ප්‍රථමයෙන් ඩෙයිමෝස් චන්ද්‍රයා පිළිබඳව අධ්‍යයනය කරනු ඇති අතර, ඉන් අනතුරුව ෆෝබෝස් චන්ද්‍රයා කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇත.

එහි භූමිය ගවේෂණය කිරීම සඳහා කුඩා රෝවර් යානයක් ගොඩබැස්වීමට සැලසුම් කර ඇති නමුත්, එය කිසිසේත් ම පහසු කාර්යයක් නොවනු ඇත.

මෙතරම් කුඩා චන්ද්‍රයෙකු මත කිසිවෙකු මෙතෙක් රෝවර් යානයක් ගොඩබස්වා නොමැති බව සාරා රව්‍සල් ප්‍රකාශ කරයි.

එම චන්ද්‍රයා සතුව විශාල ස්වභාවික ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති බව ඇය පැහැදිලි කළාය.

නමුත් එය පිහිටා තිබෙන්නේ ඉතා ඉහළ ගුරුත්වාකර්ෂණ බලයක් සහිත දැවැන්ත ග්‍රහලෝකයකට (අඟහරුට) යාබදව බැවින්, චන්ද්‍රයාගේ මතුපිටට රෝවර් යානයක් ගොඩබැස්වීම එමගින් වඩාත් දුෂ්කර කරවයි.

Mars fills most of the scene - it is orange and its surface is pitted with craters and canyons. Next to Mars, and against the blackness of space, there are its two small, irregularly shaped moons. In the foreground, the larger moon Phobos is pale red and covered in craters. In the distance, the smaller moon, Deimos, is grey and orange with an irregular shape.
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරු ග්‍රහයාට මෙම චන්ද්‍රයන් ලැබී ඇත්තේ වසර බිලියන 4.5කට පමණ පෙර වුව ද, ඒවා නිර්මාණය වූයේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් කිසිවෙකුත් නිශ්චිතව ම නොදනී
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

MMX අභ්‍යවකාශ යානයට පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත ආරක්ෂිතව පතිත විය හැකි වන පරිදි, මෙම රෝවර් යානය විසින් සුදුසු ගොඩබැස්වීමේ ස්ථානයක් නිරීක්ෂණය කරනු ඇත.

යානය චන්ද්‍රයාගේ මතුපිටට ළඟා වූ පසු, එහි ඇති රොබෝ හස්තයක් සහ සාම්පල එකතු කරන උපකරණ දෙකක් ක්‍රියාත්මක කරමින් පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීමට නියමිතයි.

මෙසේ එකතු කරගන්නා ද්‍රව්‍ය කුඩා කැප්සියුලයක බහාලන අතර, එය 2031 වසරේදී නැවත පෘථිවිය බලා පැමිණ දකුණු ඔස්ට්‍රේලියාවේ වුමේරා කාන්තාරයට ගොඩබෑමට නියමිතය.

මෙසේ පෘථිවිය වෙත නැවත රැගෙන එනු ලබන පස් සහ දූවිලි ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් වන අතර, එය ග්‍රෑම් 10ක් (10g) පමණක් වෙයි.

සැබවින්ම එය ඉතා කුඩා ප්‍රමාණයක්" යැයි මෙම ජපන් මෙහෙයුම සමඟ එක්ව කටයුතු කරන ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රිසා ඇව්ඩෙලිඩෝ ප්‍රකාශ කළාය.

කෙසේ වුවද, අපට එහි ඇති තනි වැලි කැටයක් හෝ දූවිලි අංශුවක් මත වුවද පර්යේෂණ කිහිපයක් සිදු කළ හැකියි... විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීම සඳහා ග්‍රහලෝක මතුපිටකින් කිලෝග්‍රෑම් ගණනින් ද්‍රව්‍ය රැගෙන ආ යුතු නැහැ. එබැවින් මෙහි රැගෙන එන සෑම ග්‍රෑමයක්ම අතිශය වටිනවා" යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

An artist's impression of the MMX  spacecraft on the dark, rocky surface of Phobos. The spacecraft is gold and black and has four triangular legs and dark solar panels. The red disc of Mars is in the background.
ඡායාරූප ශීර්ෂ වැකිය, The spacecraft will collect 10g of moon dust from the surface of Phobos

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් බිහිවූයේ කෙසේ ද යන ප්‍රහේළිකාව විසඳීමට මෙම සාම්පලය අවසානයේදී මහෝපකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඒ පිළිබඳව එකිනෙකට වෙනස් වූ ප්‍රධාන මතවාද දෙකක් පවතී.

ඉන් පළමුවැන්න නම්, අඟහරුගේ මුල්කාලීන ඉතිහාසයේදී මහා අභ්‍යවකාශ පාෂාණයක් එහි ගැටීමෙන් විසිවූ සුන්බුන් කොටස්වලින් ෆෝබෝස් සහ ඩෙයිමෝස් යන චන්ද්‍රයන් නිර්මාණය වූ බවයි.

නැතහොත්, මෙම චන්ද්‍රයන් යනු බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ සිට පැමිණි, රතු ග්‍රහයාගේ (අඟහරුගේ) ගුරුත්වාකර්ෂණ බලයට හසුවූ ග්‍රහක දෙකක් බවයි.

අපට මෙම සාම්පලය නැවත ලැබුණු පසු, එහි රසායනික හා ඛනිජ සංයුතිය පිළිබඳව සවිස්තරාත්මකව පරීක්ෂණ පැවැත්වීමට අපට හැකි වන අතර, ඉහත මතවාද දෙකෙහි ප්‍රතිඵල එකිනෙකට බෙහෙවින් වෙනස් වනු ඇතැයි" මහාචාර්ය සාරා රව්‍සල් ප්‍රකාශ කළාය.

මෙය පෙර කී ප්‍රබල ගැටීමේ ප්‍රතිඵලයක් ද නැතහොත් ගුරුත්වාකර්ෂණයට හසු කරගත් ග්‍රහකයක් ද යන්න ක්ෂණිකවම පැහැදිලි වනු ඇත. එබැවින් අපට ඉතා ඉක්මනින්ම එය සොයාගත හැකිය.

එලෙසම, සිය පර්යේෂණාගාර වෙත අතිරේක වාසියක් ද හිමිවනු ඇතැයි ගවේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

මෙහි ඇති වඩාත්ම උද්යෝගිමත් කරුණක් වන්නේ, ෆෝබෝස් චන්ද්‍රයා අඟහරු මතුපිටට ඉතා ආසන්නයෙන් පිහිටා තිබීමයි. ඒ හේතුවෙන් අඟහරු මතුපිට මත කිසියම් අභ්‍යවකාශ වස්තුවක් ගැටෙන සෑම අවස්ථාවකදීම, ඉන් විසිවන කුඩා අංශු ෆෝබෝස් චන්ද්‍රයා මතුපිට තැන්පත් වීමට ඉඩ කඩ පවතී" යැයි සාරා රව්‍සල් පැවසුවාය.

"ඒකෙන් අදහස් වෙන්නේ අපිට ලැබෙන මේ සාම්පලේ අඟහරුගේ කැබලිත් තියෙන්න පුළුවන් කියන එකයි. ඒ නිසා අඟහරුගේ සංයුතියයි ඉතිහාසයයි ගැන සෘජු විස්තරයක් මේකෙන් අපිට බලාගන්න පුළුවන්."

A close up image of a Martian meteorite which is on display at the Natural History Museum. It is small and irregularly shaped, it is lit from one side showing its rough texture. It is against a black backdrop of the display cabinet.
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරු උල්කාපාත ඉතාමත් දුර්ලභය. මෙයින් එකක් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ

අඟහරු ග්‍රහයාගේ සිට ද්‍රව්‍ය සාම්පල නැවත පෘථිවිය වෙත රැගෙන ඒම අතීතයේ සිටම අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ දැඩි අභිලාෂයක්ව පැවතිණි.

2021 වසරේ සිට අඟහරු ග්‍රහයා ගවේෂණය කරනු ලබන නාසා (NASA) ආයතනයේ 'පර්සීවිරන්ස්' රෝවර් යානය, එහි ඇති ද්‍රව්‍ය සාම්පල ඉතා ප්‍රවේශමෙන් එකතු කර විශේෂිත බහලුම් තුළ තැන්පත් කරමින් සිටියි.

කෙසේ වුවද, එම බහලුම් නැවත පෘථිවියට රැගෙන ඒම සඳහා සැලසුම් කර තිබූ 'මාස් සාම්පල් රිටර්න්' නැමැති නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (NASA/ESA) ඒකාබද්ධ දෙවන මෙහෙයුම, ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ප්‍රතිපාදන අත්හිටුවීම හේතුවෙන් මේ වන විට අවලංගු වී ඇත.

චීනය ද අඟහරු වෙතින් සාම්පල රැගෙන ඒමේ ස්වකීය මෙහෙයුමක් 2028 වසරේදී දියත් කිරීමට සැලසුම් කරමින් සිටින අතර, එම අඟහරු ද්‍රව්‍ය 2031 වසරේදී පෘථිවිය වෙත රැගෙන ඒමට ඔවුන් උත්සාහ කරනු ඇත.

අඟහරු උල්කාපාත ආකාරයෙන් රතු ග්‍රහයාගේ සමහර කොටස් මේ වන විටත් අප සතුව පෘථිවිය මත පවතී.

මේවා අතීතයේදී ග්‍රහක ගැටීම් හේතුවෙන් අඟහරු මතුපිටින් බිඳී විසිවී, පෘථිවිය දෙසට ඇදී ආ අඟහරු ග්‍රහයාගේම කොටස් වේ.

අඟහරු උල්කාපාත අතිශය දුර්ලභ වුවද, පෘථිවියට කඩා වැටෙන අනෙකුත් සියලුම අභ්‍යවකාශ පාෂාණ මෙන්ම, ඒවා මෙහි ළඟා වූ වහාම වාතය, දූවිලි, පස සහ ජලය සමඟ මුසුවීමෙන් දූෂණය වෙයි.

විද්‍යාඥයන් අඟහරුගෙන් හෝ එහි චන්ද්‍රයන්ගෙන් සෘජුවම ලබාගන්නා සාම්පලයක් තමන් සතු කර ගැනීමට මෙතරම් උනන්දු වන්නේ, එම සාම්පල කිසිදු බාහිර පරිසරයකට නිරාවරණය නොවූ අතිශය පිරිසිදු

තත්ත්වයේ පවතින බැවිනි.