ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්යා දත්ත ඇසුරෙන්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ගල්ගමුව, සියඹලන්ගමුව ආශ්රිතව ජීවත් වූ කාවන්තිස්ස හස්තියාගේ මරණයත් සමග අලි මිනිස් ගැටුම හේතුවෙන් ශ්රී ලංකාවේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡාවක් ඇතිව තිබේ.
වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කාවන්තිස්ස හස්තියා පශු වෛද්ය ප්රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකදී මෙලෙස මිය ගිය වන අලි සහ වන අලි ප්රහාර හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්යාව පිළිබඳ දත්ත අධ්යයනය කිරීමට හැකි විය.
අලි මිනිස් ගැටුම
අලි මිනිස් ගැටුම යනු ශ්රී ලංකාවේ සැලකිය යුතු කාලයක පටන් ඇති ගැටලුවකි.
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
ආහාර හා ජලය සොයා ගම්මානවලට පැමිණෙන වන අලි හේතුවෙන් මෙලෙස වගා හානි සහ දේපළ හානි සිදුවන අතර, ඇතැම් අවස්ථාවල මිනිස් ජීවිත ද අහිමි වේ.
එමෙන් ම, වෙඩි තැබීම, විදුලි සැර වැදීම, දුම්රිය අනතුරු සහ විෂ ශරීරගත කිරීම වැනි හේතු නිසා වන අලි මියයන අවස්ථා වාර්තා වේ.
ශ්රී ලංකාවේ අලි මිනිස් ගැටුම වනජීවී සංරක්ෂණයට මෙන්ම ග්රාමීය ජනතාවගේ ජීවනෝපායට ද බලපාන බරපතළ සමාජ හා පාරිසරික ගැටලුවකි.
වසරින් වසර ඉහළ යන අලි මරණ
පසුගිය වසර ගණනාව තුළ සිදුවූ අලි මරණ සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒවා වසරින් වසර අඩු වීමක් සිදුවී නොමැත. ඇතැම් වසරවල එම මරණ සංඛ්යාව අඩු වී ඇති අතර ඇතැම් වසරවල එම මරණ සංඛ්යාව ඉහළ ගොස් තිබේ.
2020 වසරේ ශ්රී ලංකාවේ වන අලි මරණ 328ක් වාර්තා වූ අතර, එම සංඛ්යාව 2023 වසර වන විට 488 දක්වා ඉහළ ගොස් ඇත. 2024 වසරේදී මරණ සංඛ්යාව 388 දක්වා අඩු වූව ද, 2025 වසරේදී එය නැවත 455 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ඔක්තෝබර් 9 වනදා දක්වා මේ වසරේ මියගිය වන අලි සංඛ්යාව 264කි.
මේ අතර, 2022 වසරේදී ඇතුන් 10 දෙනෙකු මියගොස් ඇති අතර, 2023 වසරේදී එම සංඛ්යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ. 2024 වසරේදී මියගිය ඇතුන් සංඛ්යාව 17කි.
අහිමි වූ මිනිස් ජීවිත
2020 සිට 2024 දක්වා ශ්රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලි ප්රහාරවලට ලක් වූ පුද්ගලයින් සහ එම ප්රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්යාව සැලකිය යුතු මට්ටමක පවතියි.
2020 වසරේදී පුද්ගලයින් 236 දෙනෙකු වන අලි ප්රහාරවලට ලක්ව ඇති අතර, ඉන් 112 දෙනෙකු මියගොස් තිබේ.
2021 වසරේදී ප්රහාරවලට ලක් වූ පුද්ගලයින් සංඛ්යාව 212 දක්වා අඩු වී ඇතත්, මරණ සංඛ්යාව 142 දක්වා ඉහළ ගොස් ඇත.
2022 වසරේදී ප්රහාරවලට ලක් වූ පුද්ගලයින් සංඛ්යාව 353ක් වූ අතර, පුද්ගලයින් 146 දෙනෙකු මියගොස් තිබේ.
2023 වසරේදී වන අලි ප්රහාරවලට ලක් වූ පුද්ගලයින් සංඛ්යාව වසර පහක කාලය තුළ ඉහළම අගය වන 423ක් ලෙස වාර්තා වී ඇති අතර, එම වසරේදී මරණ 184ක් ද සිදුවී තිබේ.
ප්රහාරවලට ලක් වූ පුද්ගලයින් සංඛ්යාව 2024 වසරේදී 354 දක්වා අඩු වී ඇති අතර, මරණ සංඛ්යාව ද 155ක් දක්වා පහත වැටී ඇත.
අමාත්යවරයා පවසන්නේ කුමක් ද?
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ ප්රශ්නයයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවේදී ඔක්. 20 ප්රකාශ කළේ අලි ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහා රජය මැදිහත්ව කටයුතු කරන බව ය.
"අපි අලි ඇතුන් ආරක්ෂා කරගැනීමට පසුගිය කාලය මුළුල්ලේ ම, විශාල මැදිහත්වීමක් අපි සිදු කළා. ඒ අනුව අපට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකන් රටේ වන අලින්ගේ මරණ සැලකිය යුතු ප්රමාණයකින් අඩු කරගැනීමට අපට හැකි වෙලා තියෙනවා. අපිට ඒ අඩු කිරීම් සිදු කරන්න හැකි වුණේ මැදිහත්වීම් නිසා," ඔහු පැවසුවේ ය.
වෙඩි තැබීම්, හක්ක පටස් නිසා සිදු වන මරණ අඩු කර ගැනීමට හැකි වුව ද, ස්වභාවිකව සිදු වන මරණ අඩු කිරීමට නොහැකි බව ඔහු එහිදී කියා සිටියේ ය.
"අපි ගත්ත විවිධ ක්රියාමාර්ග නිසා අපට පුළුවන් වෙලා තියෙනවා අලි මරණ අඩු කරගන්න. විශේෂයෙන් ම 2023 වසරේ වෙඩි තැබීම නිසා අලි මරණ 98ක් වෙලා තියෙනවා. 2024, 84ට අඩු කරලා තියෙනවා. 2025දී ඒක 79ට අඩු කරලා තියෙනවා, මේ අවුරුද්දේ අපි ඒක 42 දක්වා අඩු කරලා තියෙනවා."
"විදුලිය කාන්දු වීම නිසා සිදු වන මරණ 2023දී 72ක් සිදු වුණා. 2024දී 56ක්, 2025දී 69ක්, මේ වසරේදී අපි 32 දක්වා මරණ ප්රමාණය අපි අඩු කරගෙන තියෙනවා."
"ඒ වගේ ම, හක්ක පටස් නිසා 2023දී 52ක්, 2024දී 52ක්, 2025දී 56ක්, ඒ වගේ ම මේ වසරේ මේ දක්වා එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙන්නේ 33ක්."
"දුම්රියේ ගැටීම්, 2023දී 24ක්, 2024දී 11ක්, 2025දී 21ක්, මේ වසරේදී අපි ඒක 3 දක්වා අඩු කරගෙන තියෙනවා," අමාත්යවරයා කියා සිටියේ ය.