ලිංගික සබඳතා, බොරු සහ පොලිස් ඔත්තුකරුවන්: ආන්දෝලනයට තුඩු දුන් බ්‍රිතාන්‍ය රහස් පොලිස් නිලධාරියාගේ කතාව

"වෙරළක කැමරාවට පිටුපස හරවා වාඩි වී සිටින තරුණියකගේ රූපයක් සහ ඊට යාබදව, කැමරාවට පිටුපස හරවා සිටින පිරිමියෙකු සහ ගැහැනියකගේ පොලරොයිඩ් (polaroid) පින්තූරයක් පෙන්වන සංයුක්ත රූපයකි. ඔවුන් පොලිස් නිලධාරීන්ද ඇතුළත් සෙනඟක් මැද සිටගෙන සිටින බව පෙනේ. රැවුල වවා ඇති එම පිරිමියා බීනි (beanie) වර්ගයේ තොප්පියක් පැළඳ සිටියි."
    • Author, ජෝන් අයන්මොන්ගර්
    • Role, ඊස්ට් ඇන්ඩ් ලන්ඩන් ඉන්වෙස්ටිගේෂන්ස්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 13

ඇන්ඩෲ කෝල්ස් දේවස්ථාන ගීතිකා කණ්ඩායමක ගායනයෙහි යෙදෙන, ප්‍රාදේශීය කොන්සර්වේටිව් දේශපාලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර, ඔහු අතීතයේදී 'ස්පයි කොප්' ලෙස හැඳින්වුණු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ රහසිගත ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ අයෙකි.

ජෙසිකා (ඇයගේ සැබෑ නම නොවේ) යනු සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන අතර, ඇය පවසන්නේ ඔහු තමන්ව රවටා තමන් සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බවයි.

මෙය ලිංගිකත්වය සහ අසත්‍ය පිළිබඳ කතාවකි: නමුත් සත්‍ය පවසන්නේ කවුද?

66 හැවිරිදි කෝල්ස්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ග්‍රේහවුන්ඩ් වර්ගයා සුනඛයා සමග කේම්බ්‍රිජ්ෂයර් ගම්බද ප්‍රදේශයේ පිහිටි කුඩා නිවසක ජීවත් වේ.

ඔහු, ප්‍රසිද්ධ නිවේදකයෙකු මෙන් ම පූජකවරයෙකු ද වන රිචඩ් කෝල්ස්ගේ සහෝදරයා ය.

නමුත්, 1990 සහ 1995 අතර කාලය තුළ ඔහු මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ (MPS) දේශපාලන හා විරෝධතා කණ්ඩායම් වෙත රහසිගතව ඇතුළු වී තොරතුරු සෙවූ විශේෂ උද්ඝෝෂණ බළකායේ රහසිගත නිලධාරියෙකු ලෙස සේවය කළේ ය.

පසුගිය දශකය පුරා එහි ක්‍රියාකාරකම් පිළිබඳව 'අන්ඩර්කවර් පොලිසින් ඉන්ක්වයරි' (UCPI) හෙවත් රහසිගත පොලිස් මෙහෙයුම් පිළිබඳ විමර්ශන කොමිසම මගින් පුළුල් ලෙස පරීක්ෂණ පවත්වා ඇත.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් සේවයේ කොමසාරිස් සර් මාර්ක් රෝලි ප්‍රකාශ කර ඇත්තේ, "ඇන්ඩෲ කෝල්ස් ජෙසිකා සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව පොලිස් බලධාරීන් පිළිගෙන ඇති අතර, ඔහු මේ පිළිබඳව විමර්ශන කොමිසම හමුවේ සත්‍යය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් බලවත් කණගාටුවට පත්වන" බවයි.

තම සගයන්ට ද මෙවැනි ලිංගික සබඳතා පවත්වන ලෙස උපදෙස් දීමට උත්සහ කළ බවට ද කෝල්ස්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, තමන් කිසියම් රැවටීමකට හෝ කුමන්ත්‍රණයකට ලක්වූ වින්දිතයෙකු බව අවධාරණය කරයි.

"ඒක පළිගැනීමක්, වෙන කිසි ම දෙයක් නෑ, නිකන් ම නිකන් පළිගැනීමක් විතරයි," ඔහු පවසයි.

නිවසෙහි විසිත්ත කාමරයේ පුටුවක වාඩි වී සිටින ඇන්ඩෲ කෝල්ස්ගේ හිස සහ උරහිස් පමණක් දැක්වෙන රූපයකි. කණ්ණාඩි, කමිසයක් සහ නිල් ජැකට්ටුවක් පැළඳ සිටින ඔහුගේ හිස තට්ටය පෑදී ඇති අතර කොණ්ඩය පැසී ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ඩෲ කෝල්ස් පීටර්බරෝ නගර සභාවේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සේවය කර ඇත
A head and shoulders photo of Kemi Badenoch who stands on the left wearing thick-rimmed glasses, beside Andrew Coles in a green turtle neck jumper.
ඡායාරූප ශීර්ෂ වැකිය, ටෝරි පක්ෂ නායිකා කෙමී බේඩනොක් සමග මෙහි සිටින ඇන්ඩෲ කෝල්ස්, හිටපු මන්ත්‍රීවරයෙකු සහ පීටර්බරෝ කොන්සර්වේටිව් සංගමයේ සභාපතිවරයා වේ

බීබීසීය සමග පමණක් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කෝල්ස් ප්‍රකාශ කරන්නේ, දක්ෂ රහසිගත පොලිස් නිලධාරියෙකු සතු විය යුතු ගුණාංග වන්නේ ඔරොත්තු දීමේ හැකියාව, නිර්භීතකම සහ අනුකම්පා විරහිතභාවය බවයි.

රැවටීම සඳහා වූ සුවිශේෂී කුසලතාවක් ද?

"මමත් හිතන්නේ ඒක එහෙම තමයි," ඔහු පවසයි. "නමුත් මම මගේ සැබෑ පෞරුෂයෙන් එතරම් වෙනස් විදිහකට හැසිරුණේ නැහැ."

කෝල්ස්ගේ වත්මන් ජීවිතය ඔහුගේ අතීත රහසිගත ජීවිතයට වඩා හාත්පසින් ම වෙනස් ය; ඔහු පවසන පරිදි එදා අන් අයගේ විශ්වාසය දිනා ගැනීමට සහ තම රහසිගත අනන්‍යතාව රැක ගැනීමට ඔහුට ඇතැම් අවස්ථාවලදී නීතිය පවා කඩ කිරීමට සිදුව තිබිණි.

"මම මත්ද්‍රව්‍ය, ඒ කියන්නේ ගංජා පාවිච්චි කළා. ඒක කරන්න ම වෙන දෙයක් වෙලා තිබුණේ — මොකද කණ්ඩායමේ අය අතරේ අපේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න ඒක කරන්න ම සිද්ධ වුණා," ඔහු පවසයි.

"මට ලෙමන් ජූස් දාන ප්ලාස්ටික් බෝතලයක් දුන්නා, ඒකේ තිබුණේ ඇසිඩ් කියලා තමයි කිව්වේ. මම ඒක අරන් මස් කඩේක වීදුරු ජනේලෙකට විද්දා."

"කුකුළු ෆාම් එකක් වටලන්න ගිය ගමනටත් මම හවුල් වුණා. ඒ වෙලාවේ කුකුල්ලු ටිකක් හොරකම් කරලා, ඒ වගේ ම එතන දේපළවලටත් හානි කළා."

නිල් ගෙතුම් ජම්පරයක්, රවුම් කණ්ණාඩි සහ කළු බීනි තොප්පියක් පැළඳ, රැවුලක් වවා සිටින ඇන්ඩෲ කෝල්ස්ගේ රූපයකි. අනන්‍යතාවය රැකගැනීම වෙනුවෙන් ඉදිරිපස සිටින කාන්තාවගේ මුහුණ බොඳ කර තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සත්ව විමුක්ති පෙරමුණට රහසිගතව ඇතුළු වීම සඳහා කෝල්ස් 1990 දශකයේ මුල් කාලයේදී සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස වෙස්වලාගෙන කටයුතු කළේ ය

එවකට මෙට්‍රොපොලිටන් පොලිසියේ කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ කෝල්ස් මෙම රහසිගත සේවයට තෝරාගන්නා විටත්, SDS (විශේෂ උද්ඝෝෂණ බළකාය) ආරම්භ කර වසර 20කට වඩා වැඩි කාලයක් ගතවී තිබිණි.

මියගිය දරුවෙකුගේ නමක් වූ 'ඇන්ඩි ඩේවි' යන්න තම ව්‍යාජ නාමය ලෙස භාවිත කළ ඔහු, අන්තවාදී ඍජු ක්‍රියාකාරී කණ්ඩායමක් වූ 'ඇනිමල් ලිබරේෂන් ෆ්‍රන්ට්' සමග සබඳතා ගොඩනගා ගැනීමට පටන් ගත්තේ ය.

"මේ වැඩේ හැමෝටම කරන්න පුළුවන් ජාතියේ එකක් නෙවෙයි තමයි. හැබැයි මම හරි ම භයානක මිනිස්සුන්ගෙන් සමාජයේ කොටසක් බේරගත්තා. මම මගේ රාජකාරිය උපරිමයෙන් ම කළා කියලා මම හිතනවා," ඔහු පවසයි.

An image showing Andrew Coles and Jessica with their backs to the camera. Both are wearing boots and trousers. They are standing in a farmer's field along with some 20 or so other activists and two police officers wearing motorcycle helmets.
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝල්ස් සහ ජෙසිකා (පෙරබිමෙහි, වම්පස) එකට සිටිනු දැක්වෙන එක ම ඡායාරූපයේ දැක්වෙන්නේ, 1992 වසරේදී ඔවුන් 'බ්‍රික්ස්ටන් හන්ට් සැබොටියර්ස්' සංවිධානය සමග සිටි අයුරුයි.

1991 වසරේදී ජෙසිකා පළමු වරට ඩේවි මුණගැසිණි.

ඇය අවුරුදු 19ක අහිංසක තරුණියක වූ බව ඇය සිහිපත් කරයි. නැගෙනහිර ලන්ඩනයේ පොදු නිවාස පෙළක ජීවත්වෙමින් සිටි ඇය වික්‍රමාන්විත අත්දැකීම් සොයමින් සිටියා ය.

දැනට 54 වන වියේ පසුවන ජෙසිකා, ඩේවිව සිහිපත් කරන්නේ වෑන් රථයක් පදවාගෙන ආ, තරමක් අමුතු, වයසින් මුහුකුරා ගිය මිනිසෙකු ලෙස ය; එම වෑන් රථය තිබීම හේතුවෙන් ඇයගේ සමීපතම සමාන අදහස් ඇති ක්‍රියාකාරීන්ගේ කණ්ඩායම තුළ ඔහු කෙරෙහි ඇති වූ කැමැත්ත තවදුරටත් වැඩි විය.

"හොඳට ම රෑ වෙලා එයා ගෙදරට ආවම එයාව පන්නගන්න අපිට ලේසි වුණේ නැහැ," ඇය පවසයි.

"ඊට පස්සේ එක දවසක් රෑක, කිසි ම ලෑස්තියක් නැතුව එයා එකපාරට ම මාව කිස් කරන්න හැදුවා. ඒ වෙලාවේ ඒ තත්ත්වයෙන් මග ඇරලා බේරෙන්න තරම් මට හයියක් තිබුණේ නැහැ. අන්තිමට එයා තමයි මගේ පළවෙනි නියම පෙම්වතා වුණේ."

නමුත් ජෙසිකා සිතා සිටි පරිදි ඔහුගේ වයස අවුරුදු 24ක් නොවීය. ඔහු එවකට 32 වැනි වියේ පසු වූ, විවාහකයෙකු මෙන් ම දරුවන් ද සිටි අයෙකි.

ඔහු කටයුතු කඩාකප්පල් කරන සගයෙකු ද නොවීය. ගිනි තැබීම් සහ බෝම්බ හෙළීමේ වැරදි සම්බන්ධයෙන් සාමාජිකයින් කිහිප දෙනෙකු වරදකරුවන් වූ පසු ඔහු රහසිගතව සත්ව විමුක්ති පෙරමුණ පිළිබඳ අපරාධ පරීක්ෂණයක කොටසක් ලෙස බුද්ධි තොරතුරු රැස් කරමින් සිටියේ ය.

බිත්තර දමන කිරිල්ලියන් (කෙණෙස්සන්) රඳවා සිටින ගොවිපොළක් ඇතුළත ලබාගත් කළු-සුදු ඡායාරූපයකි. එහි මැද පිහිටි ලෑලි/කම්බි පියස්ස (slatted floor) මත පුද්ගලයන් දෙදෙනෙකු සිටගෙන සිටින අතර, ඉන් එක් අයෙකු ඉදිරියට නැමී සිටී. අනෙක් පුද්ගලයා වන ජෙසිකා, මුහුණ ආවරණය වන පරිදි හිස් වැස්මක් (balaclava) පැළඳ, කුකුළෙකු තම ළයට තද කරගෙන සිටින්නීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 1992 ජූනි මස සරේහි එල්ස්ටෙඩ්හි හුක්ලි ෆාම් වැටලීම අතරතුර ඇන්ඩෲ කෝල්ස් විසින් ලබාගන්නා ලද ජෙසිකාගේ (වමේ) ඡායාරූපයකි

''එයා මාව රැවැට්ටුවා,'' ඇය පවසයි. "ඔහු සතියකට කිහිපවතාවක් මගේ ඇඳේ නිදාගත්තා, ඇත්තට ම ඔහු කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

"ඒක දූෂණයක් ලෙස විස්තර කරන්න අපහසුයි, නමුත් මා සමග ලිංගිකව එක්වීම මගේ කැමැත්තට එරෙහිව සිදුවන බව ඔහු දැනගෙන හිටියා."

"එක් අවස්ථාවකදී තමන් ජෙසිකා සමග එක ම ඇඳක් බෙදාගත් බව කෝල්ස් පිළිගෙන ඇති නමුත්, ඔවුන් අතර කිසිදු ආකාරයක ලිංගික සබඳතාවක් සිදු නොවූ බව ඔහු පවසයි."

"ඇගේ කතාව ඇත්ත නෙමෙයි, සම්පූර්ණයෙන් ම බොරු," ඔහු අවධාරණය කරයි. කෙසේ වෙතත්, ඔහුට එරෙහිව ඇති සාක්ෂිවල බරපතළකම පිළිබඳව විමසූ විට ඔහු පිළිගන්නේ, "ඒවා බිඳ හෙළීම ඉතා අසීරුයි," යනුවෙනි.

Jessica is kneeling down behind some sun loungers stroking a black dog behind a wire fence. She is wearing blue jeans and a white jumper. The profile is blurred out.
ඡායාරූප ශීර්ෂ වැකිය, 1993දී ජෙසිකා ප්‍රංශයේ සිටි ඇගේ සමීපතම මිතුරියට ලිපියක් ලිව්වා ය

එම සාක්ෂියට 1993දී ප්‍රංශයේ නැවතී සිටි ජෙසිකා ඇගේ හොඳ ම මිතුරියට සිය අත් අකුරුවලින් ලියූ ලිපි දෙකක් ඇතුළත් වේ.

පළමුවැන්නෙහි ඇය මෙසේ සඳහන් කරයි : "ඒක ඇත්තට ම අමුතුයි, හැබැයි මම තාමත් ඇන්ඩි එක්ක සම්බන්ධතාවක් පවත්වනවා..."

දෙවැනි ලිපියේ ඇය මෙසේ සඳහන් කර තිබිණි: "[ඇන්ඩි] යෝජනා කළා අපි වෙනත් පුද්ගලයන් සමග සබඳතා පවත්වමු කියලා. මොකද, මම තවත් අවුරුද්දක් මෙහි රැඳී සිටීමට තීරණය කළොත්... ඔහුට ප්‍රමාණවත් තරම් ලිංගික සබඳතා නොලැබෙන නිසා."

A composite image showing extracts of two letters. The first is written in a large, slightly messy hand. The second is written in a neat, joined up cursive.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙසිකා වෙනස් අත්අකුරු ශෛලීන් දෙකකින් ලියන ලද ලිපි දෙකක් මගින්, ඇන්ඩෲ කෝල්ස් සමග ඇයට තිබූ සබඳතාව පිළිබඳව ඉඟි පළ කෙරේ

මෙම ලිපිවල මූලාරම්භය පිළිබඳව කෝල්ස් සතුව න්‍යායක් තිබේ.

"ඉතින්, පළවෙනි ලියුම සමහර විට ඒ දවස්වල ම ලියපු එකක් වෙන්න පුළුවන්. හැබැයි දෙවැනි ලියුම, ඒකේ තියෙන කතාව නම් පට්ටපල් බොරු"

"මම හිතන්නේ ඒක ඊට ගොඩක් කාලෙකට පස්සේ ලියලා, සාක්ෂි ගොනුවට දාපු එකක්," ඔහු පවසයි.

"ඒකේ තියෙන අත්අකුරු එයාගේ මුල් ලියුමේ තිබුණ අත්අකුරු වගේ නෙමෙයි, කිසි ම සමානකමක් නැහැ. මොකද එයාගේ මුල් ලියුමේ තිබුණේ හරියට පොඩි ළමයෙක් කුරුටු ගාලා වගේ ලියපු අකුරු ජාතියක්."

"දෙවැනි එක ලස්සන, බැඳුණු, ඇල, වැල් අකුරු.''

ජෙසිකා එම කාල පරිච්ඡේදයේ තවත් ලිපි බීබීසීයට පෙන්වා ඇති අතර ඒවා සැලකිව යුතු ලෙස වෙනස් අත් අකුරුවලින් ලියා ඇත.

"මම හිමින් ලියනවා නම්, මට ඒක පිළිවෙළට ලියන්න පුළුවන්, නමුත් මම ඉක්මනට ලියනවා නම් හරි මම තරහින් නම් හරි, ඒක සම්පූර්ණයෙන් ම වෙනස්,'' ඇය පවසයි.

"ඒ ලියුම් ඇත්තට ම අපහසුතාවක් ඇති කරනවා, මම මොනවා හරි හැදුවා නම්, ඒකේ ඔය වගේ වේදනාකාරී භයානක දේවල් තියෙන්නේ නෑ."

අධිකරණ ලේඛන පරීක්ෂක කේට් බාර් බීබීසීයට ජෙසිකාගේ අත් අකුරු "වෙනස් බව පෙනුණා" සහ ඇය ලිපි දෙක ම එක ම වේලාවක ලියා තිබීමේ හැකියාවක් තිබුණු බව පැවසුවා ය.

Andrew Coles, wearing a dark suit and tie, holds a Bible in his right hand and is presented with the oath on a piece of paper by the court usher
ඡායාරූප ශීර්ෂ වැකිය, විමර්ශනයේදී සත්‍යය පැවසීම උදෙසා කෝල්ස් බයිබලයක් මත අත තබා දිවුරා සිටියේ ය

2015 වසරේදී තෙරේසා මේ විසින් ආරම්භ කරන ලද රහසිගත පොලිස් මෙහෙයුම් පිළිබඳ විමර්ශන කොමිසම (UCPI) මගින්, පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන් රවටා ලිංගික සබඳතා පැවැත්වීම, ඝාතනයට ලක්වූ නව යොවුන් වියේ පසු වූ ස්ටීවන් ලෝරන්ස්ගේ පවුලේ අය පිළිබඳව ඔත්තු බැලීම, මියගිය දරුවන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කිරීම සහ කිසිදු සාධාරණ හේතුවකින් තොරව විවිධ කණ්ඩායම් තුළට රහසින් ඇතුළු වීම වැනි චෝදනා පිළිබඳව විමර්ශනය කරනු ලබයි.

2024දී සාක්ෂි ලබා දීමේදී, කෝල්ස් ඔහුගේ බුද්ධි වාර්තාවලට කාන්තා ක්‍රියාකාරීනියන්ගේ "සොඳුරු පෙනුම" පිළිබඳ සඳහන් කිරීම් පිළිබඳව ප්‍රශ්න කිරීමට ලක්විය.

"ඔබ ඇසුරු කළ කාන්තාවන්ගේ ලිංගික ආකර්ෂණීයත්වය ඔබේ මතකයේ තිබුණ ද?" ඔහු ප්‍රශ්න කිරීමට ලක්විය.

"නැහැ, මට නෙවෙයි," කෝල්ස් පිළිතුරු දුන්නේය, "නමුත් එය නිසැකව ම... සැලකිය යුතු කරුණක් විය."

A rear side profile of Andrew Coles head. He has a short beard and is wearing round-rimmed spectacles. His long hair is tied back in a ponytail.
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝල්ස් විසින් තම රහසිගත සේවා කාලය තුළදී ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත සෙසු නිලධාරීන් උදෙසා මාර්ගෝපදේශන අත්පොතක් රචනා කරන ලදී

අනතුරුව කෝල්ස්ගෙන් විවිධ සාක්ෂිකරුවන්ගේ වාර්තා පිළිබඳව ප්‍රශ්න කළේ ය. ජෙසිකා පිළිබඳ නොදැන සිටි ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඔහු "ලිංගිකව හිංසා කරන්නෙකු", "අප්‍රසන්න" සහ "සල්ලාලයෙකු" ලෙස විස්තර කළහ.

ඇතැමුන් චෝදනා කළේ, ඔහු කාන්තාවන් පසුපස හඹා ගොස් අනවශ්‍ය ලිංගික හමුවීම් සෙවූ බවයි.

තිදෙනෙකු පැවසුවේ ඔහු තම වෑන් රථයේ ජෙසිකා සමග සමීපව හැසිරෙන බව හෝ ඔහුගේ යට ඇඳුමෙන් පමණක් සැරසී ඇගේ නිදන කාමරයෙන් එළියට එන අයුරු දැක ඇති බවයි.

කෝල්ස් පවසන්නේ ඔවුන්ගේ කතා "සම්පූර්ණයෙන් ම ගොතන ලද ඒවා" බවයි.

"ඔවුන්ට මගෙන් පළිගැනීමට අවශ්‍ය වීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි," ඔහු තවදුරටත් පවසයි.

A head and shoulders image of Reverend Richard Coles who is wearing spectacles and a black suit with a clerical collar. He is standing in front of a backdrop with the Strictly Come Dancing logo and glitterballs.
ඡායාරූප ශීර්ෂ වැකිය, පූජක රිචඩ් කෝල්ස් සිය ස්වයං චරිතාපදාන ග්‍රන්ථය මගින්, ඔහුගේ සහෝදරයා රහසිගත මෙහෙයුම්වල නිරත වූ පොලිස් නිලධාරියෙකු බව හෙළිදරව් කළේ ය

කෝල්ස්ගේ සැබෑ අනන්‍යතාව ඔහුගේ ප්‍රසිද්ධ සහෝදරයා විසින් අනපේක්ෂිත ලෙස හෙළිදරව් කරනු ලැබූ අතර, ඔහු 2014 වසරේදී ලියන ලද තම ස්වයං චරිතාපදානයෙහි මෙසේ සඳහන් කර තිබිණි: "මගේ වැඩිමහල් සහෝදරයා ඇන්ඩි ඔහු සමග ඔහුගේ ම නාට්‍යයක් ගෙනාවා."

"එයා ස්පෙෂල් බ්‍රාන්ච් එකට බැඳිලා, රහසිගතව ද්විත්ව ජීවිතයක් ගත කරමින් හිටියේ. බිරිඳයි පොඩි දුවයි එයා එනකන් මග බලාගෙන ඉද්දි, එයා මොකක් හරි භයානක සංවිධානයක ඔත්තු බලන්න ඒක ඇතුළට ම රිංගලයි හිටියේ."

කෝල්ස් යනු, ඇන්ඩි ඩේව් හෝ HN2 නියෝජිතයා බව 2018 වසරේදී රහසිගත පොලිස් මෙහෙයුම් පිළිබඳ විමර්ශනයේදී තහවුරු විය.

තම සහෝදරයා එම වදන් ලිවීම පිළිබඳව ඔහු කනගාටු වෙනවා ද?

"එයා ඒ දේවල් නොලිව්වා නම් මීට වඩා ලේසි වෙන්න තිබුණා. හැබැයි මගේ හිතේ කිසි ම තරහක් නැහැ. එයා මගේ සහෝදරයා, මං එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා මට ඕක ප්‍රශ්නයක් නෙවෙයි," කෝල්ස් පවසයි.

එම අනාවරණය වඩාත් දැඩි ලෙස බලපෑවේ එවකට ව්‍යාපාරයක් සහ කලාගාරයක් ආරම්භ කිරීමේ නිරතව සිටි ජෙසිකාට ය.

"මගේ මුළු ලෝකය ම එකපාරට ම කඩාගෙන වැටුණා වගේ දැනුණා," ඇය පවසයි.

"ඒගොල්ලෝ මේ වගේ පුද්ගලයෙක්ව නිර්මාණය කරලා, මගේ ජීවිතය ඇතුළට විතරක් නෙවෙයි මගේ ඇඳ ළඟට ම එවුවා. ඒක මගේ ආත්මයට ම කරපු ලොකු හිංසාවක්. හරියට රජය විසින් මාව දූෂණය කළා වගේ හැඟීමක් මට දැනුණේ."

"එයා මගේ අම්මා තාත්තා, මගේ යාළුවෝ හැමෝම ගැන හොරෙන් ඔත්තු බලලා තියෙනවා. හැබැයි ඒ මොකට ද? මං කළේ සත්තු දඩයම් කරන එක නතර කරන්න උත්සහ කරපු එක විතරයි. මට කිසි ම අපරාධ වාර්තාවක්වත් නැහැ... ඒත් මේ ඔෆිසර්ලා හැමෝම එකතු වෙලා ඔත්තු බලලා තියෙන්නේ කුකුල්ලුන්ව බේරගන්න හදපු සාමාන්‍ය මිනිස්සු ගැන."

Jessica is wearing a grey cap, with a scarf pulled over her nose, obscuring the lower part of her face. The exposed part of her face is blurred. She is wearing a red and white checked shirt. She is holding a guinea pig in her left hand and feeding it some lettuce from her right.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙසිකා දැන් ගිනිපිග් සතුන් රැකබලා ගනියි

2012 වසරේදී මෙට්රොපොලිටන් පොලිස් සේවයෙන් ඉවත් වූ පසු, කෝල්ස් පීටර්බරෝ නගර සභාවේ සේවය කළ අතර කේම්බ්‍රිජ්ෂයර්හි නියෝජ්‍ය පොලිස් සහ අපරාධ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.

නමුත් ඔහුගේ වෙස් මුහුණ ගැලවී ගිය පසු විරෝධය නොනැවතිණි.

ජෙසිකා සහ ඇගේ හිතවතුන් ඔහුට එරෙහිව ව්‍යාපාරයක් සංවිධානය කළ අතර, එහිදී ඔවුන් ඔහුව කාන්තාවන් අපයෝජනය කරන්නෙකු ලෙස ලේබල් කරමින් නගර සභා රැස්වීම්වලදී විරෝධතාවල නිරත වූහ.

"ඒගොල්ලෝ නගර සභාවේ නායකයාවත් හම්බවෙලා තියෙනවා. මං සම්බන්ධ වෙලා ඉන්න පුණ්‍යායතනවලට ලියුම් යවලා තියෙනවා 'මේ මනුස්සයව විශ්වාස කරන්න එපා' කියලා. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ මට විරුද්ධව පත්‍රිකා පවා මුද්‍රණය කරලා බෙදුවා," කෝල්ස් පවසයි.

"මේක ඇත්තට ම මගඇරගන්න බැරි තරම් පීඩනයක්. ඒ විතරක් නෙවෙයි, තවත් ප්‍රචණ්ඩත්වයක් හෝ ප්‍රහාරයක් එල්ල වෙයි කියන බය හැමතිස්සෙම හිතේ තියෙනවා."

පීටර්බරෝ කොන්සර්වේටිව් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ කෝල්ස්ට 2024 වසරේදී ඔහුගේ නගර සභා මන්ත්‍රී ධූරය අහිමි වූ අතර, ඉන්පසු නැවත තේරී පත්වීම සඳහා දෙවතාවක් ම තරග කළ ද ඉන් ජය ගැනීමට ඔහු අසමත් විය.

එයාට ආයෙත් කවදාවත් බලයක් තියෙන තනතුරක් ලැබෙන්න හොඳ නැහැ. මං එයා එක්ක සම්බන්ධයක් පවත්වපු කාලෙත් එයා හිටියේ බලවත් තැනක. ඒත් එයා ඒ බලයෙන් කළේ කරන්න පුළුවන් නරක ම විදිහට එක අපයෝජනය කරපු එක විතරයි," ජෙසිකා පවසයි

ඇය මේ දේවල් කරන්නේ පෞද්ගලික පලිගැනීමේ චේතනාවකින් ද?

"නැහැ, මං මේක කරන්නේ මිනිස්සු මේ ගැන දැනගන්න ඕන නිසයි. අනික එයා තවත් කාටවත් ම මේ වගේ දෙයක් කරනවා දකින්න මං කැමති නැහැ."

It is nighttime and Jessica is wearing a cap and a red scarf across her face. She is standing on the pavement holding a bunch of leaflets.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2024දී පීටර්බරෝ නගර ශාලාවෙන් පිටත පත්‍රිකා බෙදමින් සිටි ජෙසිකාගේ ඡායාරූපයක් මෙහි දැක්වේ

2019 වසරේදී පීටර්බරෝහි පිහිටි නිවාස සංකීර්ණයකදී කෝල්ස්, ජෙසිකා ඉදිරියට පැමිණ ඇයට මුහුණ දුන්නේ ය.

"මං හැරිලා බලද්දි එයා මගෙයි මගේ යාළුවගෙයි ඉස්සරහට ම ඇවිත්... හරියට ම කිව්වොත් අඩි 10ක් විතර ඈතින් ඉඳන් කැමරාව මගේ මූණට ම අල්ලගෙන අපිව වීඩියෝ කරනවා. එහෙම කරලා 'උඹලා දැන් හිරේ තමයි යන්න වෙන්නේ' කියලා එයා කිව්වා," ඇය පවසයි.

"අවුරුදු 30කට පස්සේ එයා මගේ ළඟට ම ආපු පළවෙනි වතාව ඒක. මට ඒ වෙලාවේ ඕන වුණේ කොහොම හරි එතනින් පැනලා යන්න විතරයි."

ඔහු පුද්ගලයෙකුගේ අතින් "පත්‍රිකා කිහිපයක් උදුරා ගත්" බව කෝල්ස් පිළිගනී.

"මං බය වුණේ ඒගොල්ලෝ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කරන්න හිතාගෙන මේ වගේ පත්‍රිකා බෙදයි කියලයි," ඔහු පවසයි.

"ඊට පස්සේ ඒගොල්ලෝ මං හොරකම් කළා කියලයි, තුවාල කළා කියලයි චෝදනා කළා. ඒ වෙලාවේ පොලිසියෙන් මේ ගැන විමර්ශනයක් කළත්, ඒකෙන් කිසි ම දෙයක් වුණේ නැහැ."

කෝල්ස් සහ ජෙසිකා අතර පැවති බව කියන සබඳතාව පිළිබඳව 2017 වසරේදී මෙට්‍රෝපොලිටන් පොලිසිය විසින් විමර්ශනයක් පවත්වන ලදී.

අපරාධ චෝදනා එල්ල නොවූ නමුත් ඔහු ඒ වනවිටත් බළකායෙන් ඉවත්ව නොතිබුණේ නම් ඔහුට බරපතළ විෂමාචාර නඩු විභාගයකට මුහුණ දීමට සිදුවන බව ඔහුට දැනුම් දුන්නේය.

රහසිගත ඔත්තුකරුවන් විසින් කාන්තාවන් 60කට වඩා වැඩි පිරිසක් රවටා ලිංගික සබඳතා පවත්වා ඇතැයි, 'Police Spies Out of Lives' යන ක්‍රියාකාරී කණ්ඩායම පවසයි.

නිල වශයෙන් සමාව අයැදීමක් සිදු කර ඇති අතර, පවුම් මිලියන ගණනක වන්දි මුදලින් කොටසක් ද ඔවුන්ට හිමි වී තිබේ.

මෙම නිලධාරීන්ගෙන් සමහරෙකුට මාර්ගෝපදේශ ලබා දී තිබුණේ 1995 වසරේදී කෝල්ස් විසින් රචනා කරන ලද 'ට්‍රේඩ්ක්‍රාෆ්ට් මැනුවල්' නමැති විශේෂ අත්පොත මගිනි."

"'ලිංගික සබඳතා' කියන මාතෘකාව යටතේ එයා ලියලා තියෙන්නේ, 'ක්‍රියාකාරිකයෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා ඇරෙන්න වෙන කිසි ම ක්‍රමයක් නැත්නම්, ඒක ඉතා ම කෙටි, ඉක්මනින් ම බිඳිලා යන විනාශකාරී සම්බන්ධයක් කරගන්න උත්සහ කරන්න' කියලයි."

A picture of Coles in a beanie hat is projected on to the central tower of the High Court building alongside a strip of blue and white police tape with "Andy 'Davey' Coles" written on it.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2020දී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත කණ්ඩායමක් විසින් කෝල්ස් සහ අනෙකුත් රහස් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ලන්ඩනයේ මහාධිකරණ පවුර මතට ප්‍රක්ෂේපණය කර ප්‍රදර්ශනය කරන ලදී

කෝල්ස්, නිලධාරීන්ව ඔවුන් ඔත්තු බැලූ පුද්ගලයින් සමග ලිංගිකව හැසිරීමට දිරිමත් කළා ද?

"නැහැ, මම කතා කළේ සම්බන්ධතා ගැනයි; යම් අයෙකු ඔබ කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් සහ එය මිත්‍රත්වයකට වඩා වැඩි දෙයක් බවට පත් වෙනවා නම්, ඒක බිඳ දැමීමට ඔබට දෙයක් කරන්න පුළුවන්," ඔහු පවසයි.

එහෙත් එම කොටස "ලිංගික සබඳතා" යනුවෙන් නම් කර ඇත.

"මම දන්නවා, ඒක දැක්කම මට පුදුම හිතුනා, මොකද මම හිතන්නේ නැහැ මම ඒක ලිව්වා කියලා," ඔහු තවදුරටත් පවසයි.

එසේ වුවද, කෝල්ස්ගෙන් උපදෙස් සහ මගපෙන්වීම් ලැබූ නිලධාරීන් පසුව ක්‍රියාකාරිනියන් සමග දිගුකාලීන ලිංගික සබඳතා පවත්වා ඇත. මේ පිළිබඳව තමාට ද යම් වගකීමක් ඇතැයි ඔහුට හැඟෙන්නේ ද?

"මං ඒගොල්ලන්ව පාලනය කරන තැනක හිටියා නම්, ඒකේ සම්පූර්ණ වගකීම මට ගන්න තිබුණා. හැබැයි මං කළේ ඒගොල්ලන්ට ඒ දේවල් ගැන මූලික අවබෝධයක් දීපු එක විතරයි," ඔහු පවසයි.

Jessica is wearing a white shirt and cap and is walking through the large security gates in front of the Houses of Parliament flanked by two police officers.
ඡායාරූප ශීර්ෂ වැකිය, රහස් නියෝජිතයන් මෙහෙයුම්වල නිරතව සිටියදී ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කරන පනත් කෙටුම්පතක් කියැවීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා, පසුගිය ජූලි මාසයේදී ජෙසිකා සාමි මණ්ඩලය වෙත කැඳවා තිබිණි

රහසිගත මෙහෙයුම්වල නිරත නිලධාරීන්ට රාජකාරියේ යෙදී සිටින කාලය තුළ ලිංගික සබඳතා පැවැත්වීම නීති විරෝධී කරනු ලබන පනත් කෙටුම්පතක් කියවීමේ අවස්ථාව සඳහා, ජූලි මාසයේදී ජෙසිකාට බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී.

දැන් එංගලන්තයේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන සහ ප්‍රචාරක කටයුතුවල නිරත නොවන විට ගිනිපිග් සතුන් රැක බලාගන්නා ජෙසිකා, කෝල්ස් සමග පැවැති ඇගේ සම්බන්ධතාව ඇයට සැමවිට ම බලපානු ඇතැයි පවසයි.

"මට හැගෙන්නේ ඒක මගේ අවංකභාවයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසයි. මම දිගට ම සටන් කරන්න ඕනේ. ඔබ දන්නවා අපි හැමෝම එහෙම කරනවා, මොකද ඒක වෙන කාටවත් සිදු නොවිය යුතු නිසා."

කෝල්ස්ගේ සිතට කවදා හෝ ජෙසිකා පැමිණෙනවා ද?

"මං දැන් එයා ගැන හිතන්නේ නැහැ. ඒක මගේ ජීවිතේ ගොඩක් ඈත අතීතයට අයිති දෙයක්. අද වෙනකොට ඒකේ කිසි ම අදාළත්වයක් නැහැ," ඔහු පවසයි.

රහසිගත පොලිස් මෙහෙයුම් පිළිබඳ විමර්ශනය සැලසුම් කළ කාලසටහනට වඩා වසර ගණනාවක් පසුපසින් සිටින අතර, එය අවසන් වන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

ලබන වසරේදී, එහි ධූරයෙන් ඉවත්ව යන සභාපති ශ්‍රීමත් ජෝන් මිටින්ග් විසින් කෝල්ස් හෝ ජෙසිකා යන දෙදෙනාගෙන් සත්‍ය පවසන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.