ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2018දී පන්දුව පළුදු කිරීම: 'උස්මාන් කවාජාගේ ප්‍රකාශය 'සම්පූර්ණයෙන් ම විකාරයක්' - පැට් කමින්ස්
- Author, ස්ටීවන් ෂෙමිල්ට්
- Role, ක්‍රිකට් වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, වැලි කඩදාසියකින් පන්දුව පළුදු කිරීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු කණ්ඩායම් සගයෙකු වන උස්මාන් කවාජාගේ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්, ඒවා "100% වැරදි" සහ "සම්පූර්ණයෙන් ම විකාර" ලෙස හඳුන්වයි.
2018 වසරේදී, කේප්ටවුන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී වැලි කඩදාසි භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණයකට ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දඬුවම් ලැබූහ.
කවාජා මේ සතියේ ඔහුගේ ස්වයං චරිතාපදානය ප්‍රකාශයට පත් කළ අතර, ඔහු සඳහන් කර ඇත්තේ, කමින්ස් ඇතුළු මුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ම වැලි කඩදාසි සිද්ධිය ගැන දැන සිටි බවත්, සියලු දෙනා එහි වගකීම භාර ගත යුතුව තිබූ බවත් ය.
නමුත් සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් හමුවේ විනාඩි 68ක් පුරා කළ කතාවකදී, කමින්ස් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය: “අපි හැමෝම දැනගෙන හිටියා කියලා ඔහු කියනකොට, ඔහු අදහස් කළේ වැලි කඩදාසි අරගෙන පිටියට යනවා කියලා අපි දැනගෙන හිටියා කියන එක නම්, ඔහු 100%ක් වැරදි යි.
"පසුගිය අවුරුදු අට පුරා ම මම ඒක නොකඩවා කිව්වා. ඒක වෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ."
"එයා කියනවා මම සහ අනිත් අය වැලි කඩදාසිවලින් පන්දුව පළුදු කිරීමේ කුමන්ත්රණයේ නිර්මාතෘවරුන් කියලා. ඒක සම්පූර්ණයෙන් විකාර කතාවක්."
ජනවාරි මාසයේදී කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන තෙක් කමින්ස් සහ කවාජා එක්ව ටෙස්ට් තරග 56ක් ක්‍රීඩා කළහ.
2011 වසරේදී කමින්ස් ටෙස්ට් වරම් ලබන විට කවාජා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි අතර, මෙම දෙදෙනා කලක් නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ එකට ක්‍රීඩා කළහ.
"උස්මාන් මිතුරෙක්, නමුත් මිතුරන් එකිනෙකාගේ ජීවිත හා කීර්ති නාමයන් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ," කමින්ස් පැවසීය.
"ඔහුගේ පොතේ ඔහු මගේ ජීවිතය සහ තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත - සහ, මම හිතන්නේ, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව - හෑල්ලුවට ලක් කරල තියෙනවා."
"ඔහුගේ කතාව කියන්න මම 100%ක් සහය දෙනවා, ඔහුට එය කළ හැකි යැයි හැඟෙන එක ගැන මම සතුටු වෙනවා, නමුත් අපි කියන සහ කරන දේවල් සඳහා අපි වගකිව යුතු යි."
ඔහු විසින් ම සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී, කමින්ස් සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙන බවට පොරොන්දු වෙමින් කතාව ආරම්භ කළේ ය. ඔහු පැවසුවේ: "අදින් පසු මට මේ ගැන නැවත කතා කිරීමට අවශ්‍ය නැහැ," යනුවෙනි.
කමින්ස් පුළුල් පරාසයක මාතෘකා ආමන්ත්‍රණය කළේ ය. ඒ අතර, පහත දැක්වෙන අදහස් පළ කෙරිණි.
- කවාජාගේ ඇතැම් ප්‍රකාශ අපහාසාත්මක බව පැවසීය, නමුත් ඔහු නීතිමය පියවර ගැනීමට අදහස් නොකරන බව සඳහන් කළේ ය.
- පොත ප්‍රකාශයට පත් කළ දා සිට ඔහු කවාජා සහ ස්මිත් සමග සම්බන්ධතා පවත්වා ඇත, නමුත් වෝනර් සමග සම්බන්ධ වී නැත.
- ස්මිත් සහ වෝනර්ට වසරක තහනමක් සහ බැන්ක්‍රොෆ්ට්ට මාස නවයක තහනමක් පැනවීම "බරපතළ" දඬුවමක් බව ඔහුගේ විශ්වාසය යි.
- 2017-18 එංගලන්තයට එරෙහි අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළ බව ඔහුට මතක නැත.
- ඔහු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් හමුවී ඇති අතර, ඔහු මුල් විමර්ශනයේ ලිපිගොනු සමාලෝචනය කර ඇත.
- ඇඳුම් පැළඳුම් කාමරයේ වැලි කඩදාසි තිබුණේ මන්දැයි පැහැදිලි කිරීම සහ එය ඇතැම්විට පන්දු යවන්නන් පුහුණුවීම්වලදී රිවර්ස් ස්විං වෙන පන්දුවක් පුහුණුවීම් සඳහා භාවිත කළ බව.
කවාජාගේ චෝදනා හේතුවෙන්, වැලි කඩදාසි කුමන්ත්‍රණය, වංචාව පිළිබඳ විමර්ශනය, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය සහ ඊට සම්බන්ධ වූවන්ගේ කීර්ති නාමය පිළිබඳ විවාදය නැවත ආරම්භ කර තිබේ.
මෙම පුවත දෙස ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවල දැඩි අවධානය යොමු වූ අතර ක්‍රිකට් ලෝකය පුරා සිරස්තලවලට හේතු විය.
2018 දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔස්ට්‍රේලියානු සංචිතයේ සිටි ඩේවිඩ් වෝනර් සහ වේග පන්දු යවන්නෙකු වූ චැඩ් සේයර්ස්, කවාජාට සහය පළ කර ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ චෝදනා එවකට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පුහුණුකරු සහ ලේමන්ගේ සහායකයෙකු වූ හිටපු එංගලන්ත පිතිකරු ග්‍රේම් හික් ප්‍රතික්ෂේප කර ඇත. එම සංචාරයේ නිරත වූ තවත් පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් ද කවාජාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ.
කවාජා, කමින්ස් සහ ඔහුගේ සෙසු පන්දු යවන්නන් වන ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඩ් සහ නේතන් ලයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම සිව්දෙනා කේප්ටවුන්හි පැවති තරගයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රහාරාත්මක පන්දු යවන බලඇණිය වූ අතර වසර අටකට පසුවත් පළමු තේරීමේ පන්දු යවන්නන් ලෙස පවතී.
2021 වසරේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඇතුළුව, කුමන්ත්‍රණය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති බවට මෙම සිව්දෙනා සැමවිට ම සඳහන් කර ඇත.
- Sabr - නමැති ඔහුගේ පොතෙන් කවාජා චෝදනා කරන්නේ, ඔස්ට්‍රේලියාවට පන්දුව දෝලනය කරන ලෙස පුහුණුකරුවෙකු උපදෙස් දුන් බවත්, පසුව බැන්ක්‍රොෆ්ට් එම වංචා කිරීමට දිරිමත් කළ බවත් ය.
කේප්ටවුන්හි ඇති වූ මතභේදයට මුළු කණ්ඩායම ම වගකීම භාර ගන්නා ලෙස තමා ඉල්ලා සිටි නමුත් නම් නොකළ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කවාජා පැවසීය.
කණ්ඩායම වගකීම බෙදා ගත යුතු බවට හෝ එය ප්‍රතික්ෂේප කළ බවට කිසිදු යෝජනාවක් තමාට මතක නැති බව කමින්ස් පැවසීය.
මුළු කණ්ඩායම ම පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණයකට සහය දුන් බවට වන අදහස සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය: "නීති විරෝධී ක්‍රම භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් තිබුණෙ නෑ. මිනිසුන් උපකල්පනය කරනවා යම් ආකාරයක විශාල සැලැස්මක් තිබෙන්නට ඇති බවට."
"ඒක එහෙම නෙවෙයි. කිසි ම සැලැස්මක් තිබුණෙ නැහැ. කණ්ඩායම් රැස්වීමක් තිබුණෙ නැහැ. මේක තමයි වෙන්න ඕන දේ කියලා කිසි ම පන්දු යවන්නෙක් කිව්වේ නැහැ."
"උස්මාන් මේ චෝදනා කරන්නේ කිසි ම පැහැදිලි කරුණක් ඇතුව නෙවෙයි."
නිව්ලන්ඩ්ස්හි පැවති ටෙස්ට් තරගය අතරතුර විවේකාගරයේ බැන්ක්‍රොෆ්ට් අසල වාඩි වී සිටිය ද, විමර්ශනයේ කොටසක් ලෙස තමා සම්මුඛ පරීක්ෂණයට නොකැඳවූ බව කවාජා ඔහුගේ පොතේ විස්තර කර ඇත.
කවාජා සහ වෝනර් යන දෙදෙනා ම පෙර පැවැත්වූ විමර්ශනය විවේචනය කර ඇති අතර, ග්‍රීන්බර්ග් පවසා ඇත්තේ, එය නැවත විවෘත නොකරන බව ය.
තමා ග්‍රීන්බර්ග් හමුවූ බව කමින්ස් තහවුරු කළ අතර, ඔවුන් අතර පැවති "රහස්‍යභාවය" කඩ කිරීමට තමා අකමැති බව ඔහු පැවසුව ද, කවාජාගේ පොත නිකුත් වීමෙන් පසු ග්‍රීන්බර්ග් විසින් වැලිකඩදාසි සිද්ධියට අදාළ ලිපිගොනු සමාලෝචනය කර ඇති බවත්, එම විමර්ශනයේ සඳහන් කරුණු පරස්පර නොවන බව ඔහු නිරීක්ෂණය කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේ ය.
කමින්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 77කට ක්‍රීඩා කර ඇති අතර 2021 සිට නායකයා ලෙස කටයුතු කර ඇත. දේශීය ෂෙෆීල්ඩ් පළිහ තරගයකදී ක්‍රීඩකයෙකු බෝතල් මූඩියක් රැගෙන පිටියට පැමිණි අවස්ථාව පිළිබඳව සිහිපත් කරමින් ඔහු පැවසුවේ, තම වෘත්තීය ජීවිතය තුළ පන්දුව පළුදු කිරීමේ එක් අවස්ථාවක් පමණක් දැක ඇති බව ය.
කෙසේ වෙතත්, පන්දු යවන්නන්ට යම් ආකාරයකින් පුහුණු වීමට අවශ්‍ය නම් හෝ පිතිකරුවන්ට නිශ්චිත තත්ත්වයක පන්දුවකට මුහුණ දීමට අවශ්‍ය නම්, පුහුණු සැසිවලදී ඇතැම්විට පන්දුවේ හැඩය වෙනස් කළ හැකි බව ඔහු පිළිගත්තේ ය.
එවැනි තත්ත්වයන් යටතේ පුහුණුවීම සඳහා භාවිත කරන පන්දු වැලි කඩදාසි හෝ පිහියක් භාවිතයෙන් සීරීමට ලක්වීම අසාමාන්‍ය දෙයක් නොවන බව කමින්ස් පැවසීය.
පන්දු යවන්නෙකු ලෙස කේප්ටවුන්හිදී පන්දුව විකෘති කර ඇති බවට තමන් සැක කළ බව 33 හැවිරිදි කමින්ස්ට පැවසූ විට, පන්දු යවන්නන් බොහෝවිට පන්දුව වියළිව තබා ගැනීමට සහ එය රිවර්ස් ස්විං කළ හැකි තත්ත්වයක තබා ගැනීමට හැකි තරම් අඩුවෙන් ස්පර්ශ කරන බව ඔහු විස්තර කළේ ය.
වැලි කඩදාසි වංචාව සිදුවන විට කමින්ස්ගේ වයස අවුරුදු 24ක් වූ අතර ඔහු ඔහුගේ 13 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියේ ය. ඒ යුගයේ පන්දුව පළුදු කිරීමේ සංස්කෘතියක් පැවතියේ ද යන්න පිළිබඳව විමසූ විට, කමින්ස් පැවසුවේ ඒ කාලයේ තමා දුටු දේවල් වංචාවක් විය හැකි බව දැන් තමාට වැටහෙන බව ය.
කවාජා ඔහුගේ වෘත්තීය ජීවිතය අවසානයේ, අතරමැදි වසර අට තුළ කතා කිරීමට වඩා දැන් කතා කිරීමට තෝරා ගත්තේ මන්දැයි විමසූ විට, කමින්ස් පැවසුවේ මෙම කතාව කවාජාට "බරක්" විය හැකි බව ය.
වසර අටකට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සංස්කෘතිය ගැන කතා කරමින් කමින්ස් මෙසේ පැවසීය: “අපි විනිසුරුවරුන්ට, ප්‍රතිවාදී කණ්ඩායමට කතා කළ ආකාරය ගැන මම කැමති වුණේ නැහැ. තරුණයෙක් විදිහට මට නොගැලපෙන සමහර අවස්ථාවලදී මගේ යම් අහංකාරකමක් සහ යම් වැරැද්දක් තිබුණා කියලා මම හිතනවා.
"දැන් මම නායකයා, ඒක එහෙම නොවන බවට වග බලා ගැනීමට මම බොහෝ කාලයක් ගත කළා."
සිකුරාදා ආරම්භ වූ එංගලන්තයට එරෙහි ඔස්ට්‍රේලියාවේ එක්දින තරගාවලිය සඳහා විශ්ලේෂකයෙකු ලෙස සේවය කරන ෆොක්ස් ක්‍රිකට් පිළිබඳ කමින්ස්ගේ ප්රවෘත්ති සාකච්ඡාව ගැන කතා කරමින් වෝනර් මෙසේ පැවසීය: “මම ඉන්නෙ උස්මාන්ගෙ පැත්තේ. ඒක ඇත්ත. නායකයා (කමින්ස්) උසීව පාවල දුන්නා."
"අපිට හැම දා ම ප්‍රතිවිපාක එක්ක ජීවත් වෙන්න වෙනවා. මට හිතෙන්නේ ඒක අසාර්ථක පරීක්ෂණයක් කියලා. ඒක දැන් ඉවර කරන්න. මේක නවත්තන්නේ නෑ."
"සත්‍යය හෙළි වන තුරු මම [දේවල්] පිළිගන්නේ නැහැ."
විශ්ලේෂණය - කමින්ස් එක ප්‍රශ්නයක්වත් මග හැරියේ නැත.
කවාජාගේ පොතේ, සම්මුඛ සාකච්ඡාවල සහ සමාජ මාධ්‍යවල ඔහු කළ ප්‍රකාශයන්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණි තුවාල නැවත අලුත් කර ඇති අතර, මතභේදයකට මග පෑදී ඇති සටන් රේඛා ඇඳ ඇත.
පසුගිය දින කිහිපය තුළ, කවුරුන් කුමක් දන්නේ ද සහ අතරමැදි වසර අට තුළ සත්‍යය වසන් කර තිබේ ද යන්න පිළිබඳව නිරන්තරයෙන් ප්‍රශ්න අසනු ලැබ ඇත.
නායකත්වය පෙන්වීම සඳහා ඉදිරියට එන ලෙස ඔහුට බල කර ඇත. සිඩ්නිහි ගෘහස්ථ ක්‍රිකට් මධ්‍යස්ථානයකදී, කමින්ස් එසේ කළේ ය.
පසුගිය දින කිහිපය තුළ මාධ්‍ය හමුවේ පෙනී සිටි මෙම අපකීර්තියට සම්බන්ධ අනෙකුත් අය - ලේමන්, ස්ටාර්ක් සහ මිචෙල් මාෂ් - කමින්ස් මෙන් නොව, ඍජු ප්‍රශ්නවලට නොපැහැදිලි පිළිතුරු ලබා දෙමින් තමන්ව ම පාහේ වරදට හසු කරගෙන ඇත.
රැස්ව සිටි මාධ්‍යවේදීන් විශාල පිරිසක් විසින් එල්ල කරන ලද කිසිදු ප්‍රශ්නයක් වත්මන් නායකයා මග හැර ගියේ නැත. ඔහු එසේ කළේ මාධ්‍ය කළමනාකරුවෙකුගේ කිසිදු මැදිහත්වීමකින් තොරව ය.
වඩාත් ම කැපී පෙනෙන කරුණ වූයේ, කලක් සිය කණ්ඩායමේ සගයෙකු සහ මිතුරෙකු වූ කවාජා වෙත ඔහු එල්ල කළ විවේචනය යි. කවාජා සිදු කළ ප්‍රකාශ ඉතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම හරහා, කමින්ස් විශ්වාසදායක සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටියේ ය.
ප්රශ්නය වන්නේ, කටකතා සහ අනුමාන අවසන් කිරීමට මෙය ප්‍රමාණවත් වේ ද යන්න යි. කවාජා තවත් අදහසක් දක්වනු නිසැක ය. තවමත් තමාගේ ම පොතක් නිකුත් කර නොමැති වෝනර් ද එසේ ම ය.
කමින්ස්ට නිෂේධාත්මක බව ඔප්පු කළ නොහැකි බැවින්, ඔහු වැලි කඩදාසි කුමන්ත්‍රණයට සම්බන්ධ නොවූ බව ලෝකයට ඒත්තු ගැන්වීමේදී ඔහුගේ වචන පමණක් භාවිත කළ හැකි ය.
මේ අවස්ථාවේදී, කමින්ස් සිත් ඇදගන්නා සුළු විය. එහෙත්, ඔහු නැවත කිසි දිනෙක වැලි කඩදාසි ගැන කතා කිරීමට කැමති නැති බව පවසන විට, ඉන් ඇඟවෙන්නේ එවැන්නක් පිළිබඳව කතා කිරීමට ඉඩ නොලැබේවා යි ඔහු හිතින් ප්‍රාර්ථනා කරන බව ය.
'මෙම මතභේදය අවසන් කිරීම කමින්ස්ගේ අධිෂ්ඨානය යි'
රූපවාහිනී කැමරා විශාල සංඛ්‍යාවකට සහ ඊට කිහිප ගුණයකින් වැඩි වාර්තාකරුවන් පිරිසකට මුහුණ දෙමින්, කමින්ස් පැයකට වැඩි කාලයක් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ, "වැලි කඩදාසි වංචාව" නමින් හැඳින්වෙන මතභේදය අවසන් කිරීමේ අපේක්ෂාවෙනි.
ඔහු ඉතා ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කළ අතර, තමාගෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලැබෙන බවට සහතික කර ගැනීම සඳහා නිතර ම මදක් නතර වී කල්පනා කළේ ය. එක් අවස්ථාවකදී, සාකච්ඡාව අවසන් කිරීමට උත්සහ කළ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිලධාරියෙකු පවා ඔහු අතින් අණ කර ඉවතට යැවීමට කටයුතු කළේ ය.
කවාජා විවේචනය කිරීමේදී කමින්ස් ප්‍රවේශම්සහගත වූ අතර, මාධ්‍යවේදීන්ගෙන් එල්ල වූ ප්‍රශ්න හමුවේ, ඔහු අවංක විය - කවාජාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමට දැඩි වචන භාවිත කළ අතර කවාජා තමාව මෙම තත්ත්වයට පත් කිරීම ගැන කෝපයට පත්වූ බව පිළිගත්තේ ය.
ඔහුගේ නිවසින් පිටත රැඳී සිටි කැමරා කණ්ඩායම් දෙස බලන විට ඔහු තුළ විනෝදය සහ නොසන්සුන්තාව මිශ්‍ර වූ ආකාරය ගැන කතා කළේ ය.
ඔහුගේ නායකත්වයට තර්ජනයක් එල්ල විය හැකි බවට වූ මාධ්‍යවේදීන්ගේ අනුමාන කිරීම් ඔහු ප්‍රතික්ෂේප කළේ ය. කවාජා සමග ඔහුගේ වසර ගණනාවක් පුරා පැවති මිත්‍රත්වය පසුගිය සතියේ සිදුවීම් සමග සංසන්දනය කිරීමට අරගල කරන බව ඔහු පිළිගත්තේ ය: "පසුගිය දින කිහිපය තුළ මම පොරබදමින් සිටි දෙයක්... මිතුරන් එකිනෙකාගේ ජීවිත හා කීර්ති නාමයන් සමග අනියම් සෙල්ලම් කරන්නෙ නෑ."
නමුත් ෂෙෆීල්ඩ් පළිහ තරගය සහ පර්ත්හි ආරම්භ වීමට නියමිත එක්දින තරගය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ වැලි කඩදාසි වංචාව තවමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් වීම ගැන තමා ඇදහිය නොහැකි තරම් කලකිරීමට පත්ව සිටින බව ය.
"අවුරුදු අටක් ගත වෙලා. අපි ඉදිරියට යනවා. ඒ නිසා යම් අවස්ථාවකදී සීමා රේඛාවක් ඇඳගන්න වෙනවා."