IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?

    • Author, කුමුදු ජයවර්ධන
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය.

වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත ය.

එවකට රට මුහුණ පා සිටි උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ප්‍රදානය කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකමක් ලබා ගත් 17 වන අවස්ථාව එය විය.

ඩොලර් බිලියන 3ක විස්තීරණ ණය පහසුකම ලබා ගත්තේ ඇයි?

2018 වසරේ සිට අත්විඳීමට සිදුවූ දේශපාලන හා සමාජීය අවිනිශ්චිතතා සහ කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල විය. 'රාජ්‍ය මූල්‍ය අංශයේ දුර්වලතා, අධිතක්සේරු වූ ශ්‍රී ලංකා රුපියල හා සංචිත බිඳ වැටීම් ඇතුළු බාහිර අංශයේ පීඩන, මහ බැංකුව මගින් අයවැය මූල්‍යනය කිරීම් ඇතුළු පාලන දුර්වලතා සහ ණය තිරසර නොවීම ආදී ගැටලු රාශියක් එක වර පැන නැගීම මගින් සංකීර්ණ අවදානම් තත්ත්වයක් නිර්මාණය වී තිබුණු,' බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන් පරිදි, 'සමස්තයක් ලෙස ඉහළ මට්ටමක පැවති පොළී අනුපාත ව්‍යුහය හා ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම බැංකු පද්ධතියේ වත්කම් හා වගකීම් තත්ත්වයට ද ඍජුව ම බලපෑම් කළ අතර මූල්‍ය පාරිභෝගිකයන්ට ද අපහසුතා ඇති කළේ ය. ණය වර්ගීකරණ ආයතන මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය වර්ගීකරණ පහළ හෙළීම නිසා රජයට මෙන් ම බැංකු පද්ධතියට ද විදේශ මූල්‍ය පහසුකම් සඳහා තිබූ ප්‍රවේශයන් සීමා විය.'

ඒ අනුව, 2022 වසරේදී ආර්ථිකය 7.3%කින් සංකෝචනය වීම, උද්ධමනය 70%ක අගයකට ළඟා වීම, ශ්‍රී ලංකා රුපියල කෙටි කාලයක් තුළ සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම, භාවිත කළ හැකි විදේශ සංචිත අවම මට්ටමකට පත්වීම සහ විදේශ ණය සේවාකරණය සම්බන්ධ අභියෝග සමග පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ හේතුවෙන්, ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පැවති අතර, ඉන්ධන සහ ගෑස් ඇතුළු ඇතැම් භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල දින ගණන් ගත කළහ.

මෙම තත්ත්වය මත ඒ වන විට ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට එරෙහිව අරගලයක් ඇති වූ අතර, ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදුවිය.

පසුව පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පසු ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය 2023 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීරණ ණය පහසුකමක් ලබා ගත්තේ, රට මුහුණ දී සිටි ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් සොයා ගැනීමේ අරමුණිනි.

ණය පහසුකම ලබා දීමේ ප්‍රධාන අරමුණු මොනවා ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව, මාස 48ක් (වසර 4ක්) පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් පහත අරමුණු සපුරා ගැනීමට අපේක්ෂා කෙරිණි.

  • සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ඇති කිරීම: රජයේ ආදායම් වැඩි කර ගැනීමට, අයවැය පරතරය අඩු කිරීමට සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර නැවත ණය ගෙවීමේ හැකියාව ගොඩනැංවීමට මෙමගින් සහයක් ලැබිණි.
  • මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම: අධික ලෙස ඉහළ ගොස් තිබූ උද්ධමනය පාලනය කිරීමටත්, බැංකු හා මූල්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වා ස්ථාවරව පවත්වා ගැනීමටත් මෙම වැඩසටහන උපකාර විය.
  • විදේශ විනිමය සංචිත යළි ගොඩනැංවීම: ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳාම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම මින් අරමුණු කෙරිණි.
  • අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම: ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු සංශෝධන නිසා පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ දිළිඳු ජනතාවට ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා සහන සැලසීම මෙහි ප්‍රධාන කොන්දේසියකි.
  • යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණය පිටුදැකීම: රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය වැඩි කිරීමට සහ දූෂණ අවදානම් අවම කිරීම සඳහා නව නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට මින් බල කෙරේ.
  • ආර්ථික වර්ධනයට හිතකර ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම: පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට බාධා වන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම මෙමගින් සිදුවේ.

මෙම ණය පහසුකම හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රධාන වාසි කිහිපයක් තිබේ.

  • ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගැනීම: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීම නිසා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය සහ ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසිණි.
  • අයවැය සහය: මෙම ණය මුදල කොටස් වශයෙන් (වරින්වර සිදු කරන සමාලෝචනවල ප්‍රගතිය මත) මහා භාණ්ඩාගාරය වෙත ඍජු අයවැය සහයක් ලෙස ද භාවිත කෙරිණි.

ඩොලර් බිලියන 3ක ණය මුදල වාරික වශයෙන් ලැබුණු හැටි

1 වන වාරිකය: 2023 මාර්තු මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ප්‍රදානය කරන ලදී.

2 වන වාරිකය: 2023 දෙසැම්බර් මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් ප්‍රදානය කෙරිණි.

3 වන වාරිකය: 2024 ජූනි මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් පිරිනමන ලදී.

4 වන වාරිකය: 2025 පෙබරවාරි මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක් ප්‍රදානය කළේ ය.

5 වන වාරිකය: 2025 ජූලි මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් ප්‍රදානය කරන ලදී.

6 සහ 7 වන වාරික: 2026 මැයි මාසයේදී 6 සහ 7 වන වාරික එකවර ලැබුණු අතර, එහිදී ප්‍රදානය කරන ලද ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 695කි.

8 වන වාරිකය: අවසන් වාරිකය ලෙස 2027 මාර්තු මාසයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ය. 2027 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීම සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු, මීළඟ වාරිකය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අතර, එය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විස්තීරණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ යනු ඇත.

විස්තීරණ ණය පහසුකමේ ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව ජනපතිගේ අදහස

විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්ක යම් ප්‍රමාණයකින් සාර්ථක වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඔහු ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා සහභාගි වෙමිනි.

එහිදී, පැවති සංවාදයකදී සංවාදය මෙහෙයවූ පුද්ගලයා "අලුත් IMF වැඩසටහනක්, එහෙමත් නැත්නම් 18 වන වැඩසටහනක් කිරීම ගැන ඔබ තුමාගේ අදහස කුමක් ද?" යනුවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

"අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීරණ ණය වැඩසටහනේ අවුරුදු 4 ඉලක්කය වුණේ, අපේ ස්ථාවරභාවය ළඟා කර ගන්න එක. මං හිතන්නෙ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළඟා කරගෙන තියෙනව සෑම අතින් ම. දැන් අපේ ඊළඟ සැලසුම වෙන්නෙ මේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් කොහොම ද අපි වර්ධනය අත්පත් කර ගන්නේ? ඉතින් මම හිතන්නෙ වර්ධනය සඳහා අලුත් එකඟතාවකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති යි."

මේ අතර, දැනට ක්‍රියාත්මක වන IMF විස්තීරණ ණය පහසුකම ඇතුළත් වැඩසටහනෙන් පසු 18 වන වැඩසටහන කෙබඳු විය යුතු ද? යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවසීය.

IMF විස්තීරණ ණය පහසුකම 18 වන වරට ලබා ගැනීම සම්බන්ධයෙන් "මුළුමනින් ම අත්හරිනවා කියන තැනකුත් නෑ. යායුතු ම යි කියල එකකුත් නෑ," යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

"නමුත්, ඊළඟ ප්‍රෝග්‍රෑම් එක මොන වගේ වෙන්න ඕන ද කියන එක තමයි, අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. දැනට මුදල් අමාත්‍යංශයේ මහ බැංකු අධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම, අපේ ආර්ථිකය පිළිබඳ යම් අවබෝධයක් තියෙන කණ්ඩායමක් සාකච්ඡාවක නිරත වෙමින් තිබෙනවා, මොන වගේ ප්‍රෝග්‍රෑම් එකකට ද අපි යන්න ඕනෙ කියලා තීරණය වෙන්නෙ ඒක මත තමයි. නමුත්, තව මාස 6ක පමණ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. නමුත්, අපි මුළුමනින් ම අත්හරිනවා කියන තැනකුත් නෑ. යායුතු ම යි කියල එකකුත් නෑ. නමුත් තව ම විවෘත තැනක අපි ඉන්නවා. අපට තියෙනව, ආර්ථිකය මොන මොන විදිහට චලනය වේවි ද? බාහිර කම්පනය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වේවි ද? ඒකට මුහුණ දෙන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් ද? කියන සාධකය ගැන තමයි අපි පුරෝකතනය කරල අපි එවැනි වැඩසටහනක් ගැන කල්පනා කරන්නෙ."

ඉදිරි අභියෝග මොනවා ද?

ශ්‍රී ලංකා ආර්ථිකයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනයක් සිදු කර තිබේ.

1. බාහිර ආර්ථික කම්පන සහ භූ-දේශපාලනික අවදානම්

මැදපෙරදිග යුද ගැටුම් සහ ඉන්ධන මිල: මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ආනයන වියදම් ඉහළ නැංවීමටත් උද්ධමනයටත් දැඩි බලපෑමක් එල්ල කරයි. මීට අමතරව, එමගින් සංචාරක පැමිණීම් සහ විදේශ ප්‍රේෂණවලට අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතී.

කාලගුණික විපර්යාස සහ ස්වභාවික විපත්: දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමේ වියදම් දැරීමට සිදුවීම සහ ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සහ විදුලි උත්පාදනයට සිදුවන බලපෑම් ආර්ථිකයට අභියෝගයකි.

ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව: ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ පවතින අවිනිශ්චිතතාවයන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සහ ගෙවුම් ශේෂයට අවදානම් ඇති කරයි.

2. රාජ්‍ය මූල්‍ය විනය සහ ආදායම් ඉලක්ක සපුරා ගැනීම

2027 අයවැය සහ රාජ්‍ය ආදායම: හත් වන සමාලෝචනය සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නම්, වැඩසටහනේ ඉලක්කවලට අනුකූල 2027 අයවැයක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. බදු පරිපාලනය ශක්තිමත් කරමින් රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම ප්‍රධාන අභියෝගයකි.

පිරිවැය නිරූපිත මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම: ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මිල සූත්‍ර (Cost-recovery pricing) දේශපාලනික හා සමාජීය පීඩන මධ්‍යයේ වුව ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

ප්‍රාග්ධන වියදම් කළමනාකරණය: ආර්ථික වර්ධනයට සහය වීම සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් නිසි පරිදි සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම තවත් අභියෝගයකි.

3. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය ආපසු ගෙවීමේ හැකියාව

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම: විදේශීය ණය හිමියන් සමග වන මූල්‍ය සහතික කිරීම් සමාලෝචනය (Financing assurances review) සම්පූර්ණ කිරීම සහ ඉතිරි ද්විපාර්ශ්වික හා වාණිජ ණය ගිවිසුම් අවසන් කිරීම ඉතා වැදගත් වේ.

2028 සිට ණය ආපසු ගෙවීමට සූදානම් වීම: ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණය ආපසු ගෙවීම 2028 වසරේ සිට ආරම්භ වන බැවින්, ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත සහ රාජ්‍ය ආදායම් ගොඩනගා ගැනීම දිගුකාලීන අභියෝගයකි.

4. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ පාලන තන්ත්‍රය

දූෂණ විරෝධී සහ පාලන ප්‍රතිසංස්කරණ: IMF වැඩසටහන යටතේ හඳුන්වා දුන් දූෂණ විරෝධී නීති සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් නිසි ලෙස බලාත්මක කිරීම සහ ඒවායේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගතකරණය: පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාලනය විධිමත් කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙන යාම අභියෝගාත්මක වී ඇත.

උද්ධමනය පාලනය කිරීම: ආහාර සහ බලශක්ති මිල ගණන්වල උච්චාවචනයන් මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව හමුවේ ඇති ප්‍රධාන වගකීමකි.

5. IMF වැඩසටහනෙන් පසු ඉදිරි ගමන

නව වැඩසටහනක් පිළිබඳ තීරණය: වත්මන් විස්තීරණ ණය පහසුකම 2027 දී අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකාව තවත් IMF වැඩසටහනකට යොමු වන්නේ ද නැතහොත් ස්වාධීනව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ ද යන්න පිළිබඳව තීරණාත්මක ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට රජයට සිදුවේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම: ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගන්නා අතර ම, සමාජයේ අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරමින් (Social safety nets) තිරසර හා ඉහළ ආර්ථික වර්ධනයක් කරා ළඟා වීම ප්‍රධානතම ඉදිරි අභියෝගය යි.

තවත් IMF වැඩසටහනකට යා යුතු ද?

2027 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා (නොවැ: 12) IMF වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඔහු එහිදී සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ගිවිසුමකට එළඹීමට අවශ්‍ය ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ය.

නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට යොමු වීම සුදුසු ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහගෙන් විමසීමක් කළේ ය.

ඔහු අවධාරණය කළේ, අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනකට ගිවිසුම් ගත වීම සුදුසු බව ය.

"දැන් ලෙඩාට ටිකක් සනීපයි කියල ටිකට් කපාගෙන ගෙදර යන්න හොඳ නෑ. මොක ද තාම ලෙඩේට මුල් වුණ රෝග නිධානය තියෙනවා. නිට්ටාවට සුව වෙලා නෑ. නිට්ටාවට සුව නොවී ටිකට් කපාගෙන ගියොත් ටික කාලයකින් ආයෙත් ලෙඩේ ඉස්මතු වෙලා හොඳ කරන්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්," මහාචාර්යවරයා අනතුර පැහැදිලි කළේ එසේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ හෝ මැද පෙරදිග අර්බුද වැනි ගෝලීය අර්බුද හමුවේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නම් ජාත්‍යන්තර අරමුදලේ සහය ලබා ගත යුතු බව ය.

"මෙතන තවත් වැදගත්කමක් තියෙනවා. දූෂණ විරෝධී පනත, වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම වගේ හොඳ දේවල් ගොඩක් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම නිස යි. ඒ නිසා මූල්‍ය විනය පවත්වා ගන්න, ඒක ඉතා ම වැදගත්. මම කියන්නෙ තව එක වැඩසටහනකට ගිහින් ආර්ථික ස්ථාවර කරගෙන ඒකෙන් අයින් වෙන එක හොඳ යි. එතකොට තමයි අපි ගැන ජාත්‍යන්තරය විශ්වාසය ඇති වෙන්නේ."

"2023 වසරේ මේ විස්තීරණ ණය ලබා ගත්ත එකෙන් රටේ ආර්ථිකය යළිත් ගොඩනැගුණ ආකාරය අපි හැමෝම දැකපු දෙයක්. ඒ නිසා ඒ වැඩසටහනෙන් රටට හානියක් වෙලා නෑ," ඔහු වැඩිදුරටත් පැවසීය.