ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SriLankan අලාභය රු. බිලියන 35ක් දක්වා ඉහළට: තවමත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 13 ක්
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව රජය සතු ව්‍යවසාය 53කින් ආයතන 13ක් වසරේ පළමු මාස 06 තුළදී අලාභ වාර්තා කර තිබේ.
කෙසේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51 මගින් 2025 වර්ෂයේ පළමු මාස හය තුළ වූ රුපියල් බිලියන 227.8 ක සමස්ත ලාභයට සාපේක්ෂව 2026 වර්ෂයේ සමාන කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 259.3 ක සමස්ත ලාභයක් වාර්තා කරමින් වර්ධනය වූ කාර්යසාධනයක් වාර්තා කර ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් එළිදක්වා ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ එම වාර්තාවට අනුව අලාභ වාර්තා කළ රජය සතු ප්‍රධාන ව්‍යවසාය මොනවා ද?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම
2026/27 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 35.6 ක බදු ගෙවීමට පෙර අලාභයක් වාර්තා කර ඇති බව එම වාර්තාව සඳහන්කර සිටියි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස 03 තුළදී සමාගම විසින් ඉදිරිපත් කළ විගණනය නොකළ කළමනාකරණ ගිණුම් වලට අනුව එම පරිච්ජේදය තුළ මුළු ආදායම රුපියල් බිලියන 82.8 ක ආදායමක් උපයා ඇති බවත්, එය පෙර මූල්‍ය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ රුපියල් බිලියන 62.6 ක් වූ බවත් සඳහන් වේ.
කෙසේ වෙතත්, ගුවන් සමාගමේ වියදම 2025/26 පළමු මාස 03 තුළ රුපියල් බිලියන 67.8ක් වූ අතර 2026/27 මූල්‍ය වර්ෂයේ සමාන කාලය තුළදී එය රුපියල් බිලියන 95.2 දක්වා ඉහළ ගොස් තිබේ. එය 40.4%ක ඉහළ යෑමකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වියදම් ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ගුවන් යානා ඉන්ධන පිරිවැය ඉහළ යාම හඳුනාගෙන ඇති අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවට අනුව, අදාළ කාලසීමාව තුළ ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඉන්ධන සඳහා දැරූ වියදම රුපියල් බිලියන 41.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.
අදාළ මාස 03ක කාලපරිච්ඡේදය තුළ මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ගුවන් සම්බන්ධතා කෙරෙහි බාධා ඇති වූ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ගුවන් අවකාශ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන ලදී.
විශේෂයෙන්ම මැදපෙරදිග ගමනාන්ත, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලය කෙරෙහි ඇති වැදගත්කම හේතුවෙන්, මෙම බාධා වීම් මගී හා භාණ්ඩ ප්‍රවාහන ආදායම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව පෙන්වා දී තිබේ.
ඒ අනුව විදේශීය විනිමය අනුපාත වෙනස්කම්වලට බලපෑමට පෙර අදාළ කාලපරිච්ජේදය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.5ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත.
විදේශ විනිමය අනුපාතවල සිදුවූ වෙනස්වීම් සමාගමේ මූල්‍ය කාර්යසාධනය කෙරෙහි තවදුරටත් අහිතකර ලෙස බලපා ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව සමාගම් විසින් සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 35.6ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇත.
2025/26 මූල්‍ය වර්ෂයේ සමාන කාලපරිච්ඡේදයේ වාර්තාකර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 12ක් වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා කේටරින් සමාගමේ වර්ධනය වූ රුපියල් බිලියන 3.4ක් ශුද්ධ ආදායම හේතුවෙන් ශ්‍රී ලන්කන් සමාගමේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2ක් දක්වා අඩුවී ඇත.
රජය භාරගත් ශ්‍රී ලන්කන් ණය බර
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව ඉහළ ණය බරකින් යුක්ත බව මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් පෙන්වා දෙයි.
2026 ජූනි මස අවසානය වන විට සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 209.9 ක් වූ අතර, මුළු වගකීම් රුපියල් බිලියන 561.4ක් වේ. ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් රු. බිලියන 351.5 ක ඍණ හිමිකම් ප්‍රාග්ධනයක් වාර්තා කර තිබේ.
සැලකිය යුතු මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන හා නඩත්තු පිරිවැය, විදේශ විනිමය අලාභ සහ මූල්‍ය පිරිවැය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිය මෙහෙයුම් හා මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට එම සමාගමට ඇති හැකියාව තවදුරටත් සීමා වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ගුවන් සේවයේ මූල්‍ය තිරසාරභාවයට බලපාන ප්‍රධාන අභියෝග ලෙස ව්‍යුහාත්මක දුර්වලතා, ද්‍රවශීලතා සීමා, ඉහළ නඩත්තු වියදම් සහ සැලකිය යුතු ණය බැඳීම් ද අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ. මේ අතර රජය ජාතික ගුවන් සේවයට මූල්‍ය ආධාර සැපයීම දිගටම කරගෙන ගොස් තිබේ.
2026 වර්ෂයේ පළමු මාස හය තුළ අදාළ ත්‍රෛපාර්ශවික ගිවිසුම් යටතේ ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් ලබා දී ඇති තෝරාගත් ණය පහසුකම්වල පළමු හා දෙවන වාරික ගෙවීම් සඳහා රජය විසින් මූල්‍ය සහාය ලබා දෙන ලදී.
මීට අමතරව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් ලබාදෙන ලදී. තවද, ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක් රජය විසින් සහතික කරන ලද බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමෙන් අනතුරුව, ප්‍රතිව්‍යූහගත කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 126.5 ක බැඳුම්කර 2026 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ ණය තොගයට ඇතුළත් කර තිබේ.
පාඩු ලබන අනෙකුත් රාජ්‍ය ආයතන මොනවා ද?
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අමතරව තවත් රාජ්‍ය ආයතන 12ක් මෙම වසරේ පළමු මාස 06 තුළදී පාඩු ලබන බවට මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ඒ අතරින් වැඩිම ශුද්ධ අලාභය වාර්තා කර ඇත්තේ සීමාසහිත ලංකා සීනි සමාගමයි. එම අලාභය රුපියල් මිලියන 1,525ක් ලෙස දැක්වේ. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද රුපියල් මිලියන 471ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති අතර, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 185ක් වේ.
එමෙන්ම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182කත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166කත් ශුද්ධ අලාභ වාර්තා කර ඇත.
සීමාසහිත ලංකා සතොස සමාගම රුපියල් මිලියන 89ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 68ක් වේ.
මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව රුපියල් මිලියන 60ක් සහ ස්වාධීන රූපවාහිනී ජාලය රුපියල් මිලියන 37ක් ලෙස ශුද්ධ අලාභ වාර්තා කර තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය ද අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 26ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව එම වාර්තාවේ සඳහන්.වේ.
මේ අතර, අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ ඒකකයක් 2026 මාර්තු මාසයේදී මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති අතර, එම ඒකකය මේ වන විට තෝරාගත් රාජ්‍ය ව්‍යාපාර 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.