ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන ඔත්තුකාරියක සමග තිබූ අනියම් සම්බන්ධතාවක් නිසා ඇමෙරිකාවේ Nvidia CEO දැඩි අර්බුදයක
- Author, නේතන් විලියම්ස්
- Author, සෝ ක්ලෙයින්මන්
- Role, තාක්ෂණ සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඇමෙරිකානු තාක්ෂණික දැවැන්තයෙකු වන Nvidiaහි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං චීන ඔත්තුකාරියක සමග සබඳතාවක් පැවැත්වූ බවට වාර්තා වීමෙන් පසු ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ලෝකයේ ඉහළ ම වටිනාකමක් ඇති සමාගමක් වන Nvidia, සමාගමේ රහස් හෝ ජාතික ආරක්ෂාව අවදානමට ලක්වූ බව විශ්වාස කිරීමට තම අධ්යක්ෂ මණ්ඩලයට කිසිදු හේතුවක් නොමැති බව පැවසූ අතර, ප්‍රධාන විධායක නිලධාරියා එය අඛණ්ඩව මෙහෙයවීමට කැපවී සිටින බව පැවසීය.
ජෙන්සන් හුවාං තම බිරිඳට "විශ්වාසවන්ත නොවූ" බව පිළිගත් අතර ඇයට සහ ඔවුන්ගේ දරුවන්ට ඇති වූ සිත් රිදවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ ය.
නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව, ජෙන්සන් හුවාං සමග සමීප සබඳතාවක් පැවැත්වූ චීන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං, චීනයට ඔත්තු සපයන්නියක බව ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීහු විශ්වාස කරති.
ජෙන්සන් හුවාං පැවසුවේ, තමන් කළ දේ සම්බන්ධයෙන් "සම්පූර්ණ වගකීම" භාර ගන්නා බවත්, Nvidiaහි සේවකයින්ට, අධ්යක්ෂ මණ්ඩලයට සහ කොටස් හිමියන්ට ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවත් ය.
Nvidia යනු ලොව විශාලතම සමාගම්වලින් එකක් වන අතර නැගී එන AI තාක්ෂණයන් සඳහා දෘඪාංග සැකසීමේ කේන්ද්‍රීය සමාගමක් ලෙස සැලකේ. ජෙන්සන් හුවාං වසර 30කට වැඩි කාලයක් එම සමාගම භාරව කටයුතු කර ඇත.
ඔහු මෙසේ පැවසීය: "මම මගේ බිරිඳට ද්‍රෝහි වුණා. මගේ ක්‍රියාවන් නිසා ඇයගේ සහ අපේ දරුවන්ගේ සිත් රිදුණා. මම කළ දේට කිසි ම නිදහසට කරුණක් නැහැ. මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා."
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "ප්රවෘත්ති වාර්තාවල මතු කර ඇති ජාතික ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්, Nvidia අධ්යක්ෂ මණ්ඩලය ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මම විමර්ශනයට සම්පූර්ණයෙන් ම සහයෝගය දෙනවා."
"මම අපේ රටට සහ අපේ සමාගමට ආදරෙ යි. මම Nvidia ආරක්ෂා කිරීමට සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට සහය වීමට කැපවී සිටිනවා. ඇමෙරිකානුවෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා."
Nvidia සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙන ම ප්‍රකාශයක සඳහන් වූයේ, "සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං විදේශීය බුද්ධි ප්රයත්නයක ඉලක්කයක් වී ඇති බවට මෑතකදී වාර්තා වූ තොරතුරු සැලකිල්ලට ගනිමින්" පරීක්ෂණයක් ආරම්භ කරන බව ය.
එය තවදුරටත් මෙසේ පැවසීය: "අධ්යක්ෂ මණ්ඩලය එක්සත් ජනපදයේ ජාතික සහ ආර්ථික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර, එම ආරක්ෂාව Nvidia සමාගමට මෙන් ම එහි කොටස් හිමියන්ගේ අවශ්‍යතා සඳහා අතිශයින් වැදගත් වේ."
"ජාතික ආරක්ෂාව හෝ Nvidia සමාගමේ රහස් අවදානමට ලක්වූ බවට විශ්වාස කිරීමට මණ්ඩලයට කිසිදු හේතුවක් නොමැති වුව ද, අධ්යක්ෂ මණ්ඩලය සිදු කරන විමර්ශනය මගින් ලබා ගත හැකි සියලු තොරතුරු පරීක්ෂා කරනු ඇත."
විමර්ශනය පිළිබඳ පුවත පළවූ දා සිට තමන් Nvidia ප්‍රධානියා සමග කතා නොකළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
"ඔහු හොඳ පුද්ගලයෙක් කියලා මම දන්නවා, ඒත් මොකක් වෙයි ද කියල අපට කියන්න බැහැ," ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ, "අපේ රට වෙනුවෙන් ඔහු පුදුමාකාර කාර්යයක් කළ," බව ය.
ඇලිස් හුවාං චීනය වෙනුවෙන් ඔත්තු බලන බවට චෝදනා කරමින් පසුගිය වසරේ ට්‍රම්ප්ට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව ඔක්තෝබර් අගදී නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ය.
වාර්තාකරුවන් ඉරිදා (නොවැ: 08) ඔහුගෙන් එවකට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියා නොකිරීම පිළිබඳව දැන් පසුතැවෙනවා දැයි විමසූ විට, ට්‍රම්ප් මෙසේ ප්‍රතිචාර දැක්වීය: "නැහැ, මම එහෙම හිතන්නේ නැහැ. ඔහු ගෞරවණීය පුද්ගලයෙක් කියලා මම හිතනවා."
Nvidia සමාගමේ ප්‍රධානියා ඉලක්ක කරගෙන ඔත්තු බැලීමේ මෙහෙයුමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා චීනය මීට පෙර ද ප්‍රතික්ෂේප කර ඇති අතර, එම චෝදනා "පදනම් විරහිත උපකල්පන" ලෙස හඳුන්වා ඇත.
ජෙන්සන් හුවාං අවස්ථා කිහිපයකදී ම Nvidia බංකොලොත්භාවයෙන් මුදා ගත් අතර, ලෝකයේ සෙසු රටවල් එසේ කිරීමට බොහෝ කලකට පෙර ඔහු AI සම්බන්ධ ආයෝජන ආරම්භ කළේ ය.
මුලින් ක්‍රීඩා සඳහා නිර්මාණය කරන ලද Nvidia චිප්, AI සංවර්ධනය සඳහා හොඳ ම උපාංග නිෂ්පාදනය කිරීමට ඔහු ගත් තීරණය දැන් බොහෝ සෙයින් සාර්ථක වී ඇති අතර සමාගමේ වටිනාකම ට්‍රිලියන ගණනක් වේ.
වැඩට ම අතිශයින් කැපවුණු පුද්ගලයෙකු, පරිපූර්ණත්වය සඳහා ප්‍රසිද්ධ අයෙකු සහ තම කාර්ය මණ්ඩලයෙන් ඉතා ඉහළ ප්රමිතීන් අපේක්ෂා කරන නායකයෙකු වන ඔහුට මෙය විශාල පසුබෑමක් වී තිබේ.
ඇලිස් හුවාං, ජෙන්සන් හුවාං අතර කිසිදු ඥාති සම්බන්ධතාවක් නොමැති අතර, ඇය සිංගප්පූරුව පදනම් කර ගත් දත්ත මධ්‍යස්ථාන සමාගමක් වන මෙගාස්පීඩ් (Megaspeed) සමග සම්බන්ධ වී සිටී.
සමාගම පසුගිය මාසයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, එහි වත්මන් නායකත්වය චෝදනා බැරෑරුම් ලෙස සලකන බවත් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බාහිර නීති උපදේශකයින් පත් කර ඇති බවත් ය.
Nvidia යනු AI යටිතල පහසුකම්වල කේන්ද්‍රීය නිෂ්පාදකයෙකු වන අතර, OpenAI සහ Meta ඇතුළු ප්රමුඛ පෙළේ AI ආකෘති සංවර්ධකයින්ට චිප්ස් සපයයි.
එම මයික්‍රොචිප් නිෂ්පාදකයාගේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.5ක් පමණ වන අතර, එය මෙතෙක් පැවති වැඩි ම වටිනාකමක් සහිත සමාගම්වලින් එකකි.
නිව්යෝර්ක් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද නම් නොකළ මූලාශ්‍රවලට අනුව, ඇමෙරිකානු බුද්ධි අංශ ඇලිස් හුවාං නිරීක්ෂණය කරමින් සිටි අතර, ඇය චීන රජය වෙනුවෙන් ක්‍රියා කරන බවට නිගමනය කළහ.
ඇලිස් හුවාං සහ ඇමෙරිකානු පුරවැසියෙකු අතර සන්නිවේදනයන් නිරීක්ෂණයෙන් හෙළිවූ අතර, පසුව ඔහු "වෙස්මුහුණු ඉවත් කිරීම" ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් හරහා ජෙන්සන් හුවාං ලෙස හඳුනා ගන්නා ලදී.
හුවාං ලෙසද හඳුන්වන ඇලිස් හුවාං චීනයට ලබා දුන් බවට පැවසෙන තොරතුරු මොනවා ද?, ඒවා කොතරම් වැදගත් ද? යන්න හෝ ඇය බුද්ධි තොරතුරු රැස් කිරීම ආරම්භ කළේ කවදා දැයි තවමත් පැහැදිලි නැත.
අදහස් දැක්වීම සඳහා පුවත්පත කළ ඉල්ලීමට ඇලිස් හුවාං ප්‍රතිචාර දැක්වූයේ නැත.
පසුගිය සතියේ, වාර්තා වූ එම සම්බන්ධතාවය පිළිබඳව කරුණු විමසීම සඳහා පෙනී සිටින ලෙස ඉල්ලා කොංග්රස් සාමාජිකයන් පිරිසක් ජෙන්සන් හුවාං වෙත ලිපියක් යොමු කළහ.
රිපබ්ලිකන් පක්ෂයට අයත් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු සභාපතිවරුන් තිදෙනෙක්, ඇලිස් හුවාං සමග ඔහුට ඇතැයි වාර්තා වී ඇති සම්බන්ධතාව සැලකිල්ලට ගනිමින්, තමන් ඉදිරියේ පෙනී සිට Nvidia සමාගමේ "විදේශීය ප්‍රතිවාදීන්ගේ ඔත්තු බැලීම්වලට එරෙහි ආරක්ෂක ප්‍රොටෝකෝල" පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ඉල්ලා සිටියහ.
"මෑත වාර්තා මගින්, සංවේදී ඇමෙරිකානු තාක්ෂණය සහ තොරතුරු වෙත චීන රජයට ප්‍රවේශය ලැබීම සම්බන්ධයෙන් සැලකිය යුතු ජාතික ආරක්ෂක ගැටලු මතු කරයි," යැයි ඔවුහු සඳහන් කළහ.
"චීනය ඇමෙරිකාවේ අතිනවීන තාක්ෂණයට ඇතුළු වී ඒ වෙත ප්‍රවේශය ලබාගැනීමේ ගැටලුව, මෙම කොංග්රස් සැසිවාරය තුළ අපගේ කමිටු තුන සිදුකරන විමර්ශන කටයුතුවල මූලික අවධානයක් වී තිබේ," යැයි එම ලිපියේ සඳහන් විය.
Nvidia සමාගමේ කෘත්‍රිම බුද්ධි (AI) චිප්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තාක්ෂණික තරගකාරීත්වයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වී ඇත. එහි උසස් නිෂ්පාදන අලෙවි කළ හැකි රටවල් සම්බන්ධයෙන් වොෂින්ටනය මීට පෙරද සීමා පැනවූයේ ඒ හේතුවෙනි.
Nvidia සමාගමේ දෙවන වඩාත් ම දියුණු අර්ධ සන්නායකය වන H200, චීනයේ තාක්ෂණ කර්මාන්තයට එක්සත් ජනපදයට වඩා වාසියක් ලබා දෙනු ඇතැයි යන කණස්සල්ල හේතුවෙන් වොෂින්ටනය විසින් මීට පෙර සීමා කර තිබිණි.
ජනවාරි මාසයේදී, ට්‍රම්ප් පරිපාලනය නිශ්චිත කොන්දේසි යටතේ Nvidia සමාගමට තම H200 චිප් චීන ගනුදෙනුකරුවන්ට අලෙවි කිරීමට අවසර දෙන බව නිවේදනය කළේ ය.