ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බන්ධනාගාරවල වැඩ කරන්න ප්‍රමාණවත් සේවකයන් නැද්ද? පුරප්පාඩු ගැන තොරතුරු රැසක් බීබීසී RTI ඉල්ලීමෙන් හෙළි වෙයි
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මෙම වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් කිහිපයක් සමග බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු විය.
විශේෂයෙන් ම, බන්ධනාගාරවල පවතින තදබදය, රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව සහ බන්ධනාගාරවල සැබෑ ධාරිතාව අතර පවතින පරතරය පිළිබඳව ප්‍රශ්න මතු විය.
එමෙන් ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිළිබඳව ද සාකච්ඡාවක් මතු විය.
මෙම කරුණු සම්බන්ධයෙන් නිල දත්ත ලබා ගැනීම සඳහා බීබීසී සිංහල විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.
ඒ අනුව, දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් පිළිතුරෙන් සේවක පුරප්පාඩු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පුරප්පාඩු පවතින තනතුරු රැසක්
බීබීසී සිංහල විසින් මාස කිහිපයකට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මෙම තොරතුරු ඉල්ලීමට විස්තරාත්මක පිළිතුරක් ලැබී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ සිට කම්කරු පුරප්පාඩු දක්වා පුළුල් ලෙස විහිදී ඇති දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම පිළිතුරේ සඳහන්ව තිබේ.
මෙහි සඳහන්ව ඇති ආකාරයට ඇතැම් තනතුරු සඳහා අවශ්‍ය අය බඳවා ගැනීමේ ක්‍රියාවලීන් දැනට සිදුවෙමින් පවතින අතර, ඇතැම් තනතුරු සඳහා සුදුස්සන් නොමැති බව දක්වා තිබේ.
එමෙන් ම ඇතැම් තනතුරු සඳහා දැනට වැඩබලන නිලධාරීන් පත් කිරීමට කටයුතු කර තිබෙන බව පිළිතුරේ සඳහන් වේ.
බන්ධනාගාර අධිකාරී සහ ජේලර් පුරප්පාඩු
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒවා ඇති පිළිතුරේ සඳහන් වන ආකාරයට බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සහ බන්ධනාගාර නියාමකවරුන්ගේ සැලකියයුතු හිඟයක් පවතියි.
බන්ධනාගාර අධිකාරි (විශේෂ ශ්‍රේණිය) සඳහා පුරප්පාඩු 03ක් පවතින අතර, බන්ධනාගාර අධිකාරී තනතුරු 16ක් සඳහා ද පුරප්පාඩු පවතින බව එහි සඳහන් ය.
එමෙන් ම බන්ධනාගාර අධිකාරී තනතුරේ පූර්ණකාලීනව රාජකාරි ඉටු කිරීම සඳහා නිලධාරීන් 13කට සහ බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) තනතුරේ එක් නිලධාරියකුට ද අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බව පිළිතුරේ සඳහන් වේ.
ලබා දී ඇති තොරතුරුවලට අනුව, තවත් සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා විවෘත ධාරාව යටතේ නිලධාරීන් 10ක් ද සීමිත ධාරාව යටතේ තනතුරු 08ක් සඳහා ද බඳවා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතියි.
සහකාර බන්ධනාගාර අධිකාරී (කාන්තා) තනතුර සඳහා පැවති පුරප්පාඩු සඳහා එක් නිලධාරිනියක තෝරාගෙන ඇති නමුත් ඉතිරි පුරප්පාඩුව සඳහා සුදුසුකම් ලත් නිලධාරිනියන් සිට නැත.
එමෙන් ම ප්‍රධාන ජේලර් (කාන්තා) තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරිනියන් නොමැති බව ද පිළිතුරේ සඳහන් වන නමුත් පුරප්පාඩු සංඛ්‍යාව සඳහන් කර නොමැත.
ප්‍රධාන ජේලර් (පිරිමි) තනතුරේ දැනට පවතින පුරප්පාඩු 11ක් පවතින බවත් ඉදිරියේදී තවත් පුරප්පාඩු 09ක් ඇති වීමට නියමිත බවත් එහි සඳහන් ය.
මේ අතර I පෙළ පුනරුත්ථාපන නිලධාරී (පිරිමි) තනතුර සඳහා පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් එක් එක් නිලධාරියෙකු පත් කර ඇති බවත්, විනය පරීක්ෂණ අවසන් වන තෙක් උසස්වීම් ලබා දීම සඳහා ඉතිරි තනතුරු දෙක "වෙන් කර තබා" ඇති බව තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුරේ සඳහන් විශේෂ කරුණකි.
මීට අමතරව II පෙළ ජේලර් සහ II පෙළ පුනරුත්ථාපන නිලධාරීන් සඳහා පවතින පුරප්පාඩුවලට අදාළ බඳවා ගැනීම් සිදු කිරීම සඳහා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
සැරයන් සහ නියාමක තනතුරු
සැරයන් (පිරිමි/කාන්තා) තනතුරු සඳහා කුසලතාවය මත නිලධාරීන් 225ක් සහ නිලධාරිනියන් 12ක් උසස් කිරීමට අදාළව අයදුම් කිරීම සඳහා කැඳවන ලද අයදුම්පත්‍ර මේ වන විට පරීක්ෂා කරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර නියාමක (පිරිමි/කාන්තා) පුරප්පාඩු 190ක් පවතින අතර, එයින් නිලධාරීන් 131කටත් නිලධාරිනියන් 59කටත් පුරප්පාඩු පවතියි. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් පැවැත් වූ විභාගයකින් සුදුසුකම් ලබා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ද සමත් වූ අයදුම්කරුවන් 156ක් මේ වන විට තෝරාගෙන ඇති බව තොරතුරු ඉල්ලීමේ ලද පිළිතුරේ සඳහන් කර තිබේ.
එහි යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට තවත් පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් ය.
අරක්කැමි, කම්කරු පුරප්පාඩු රැසක්
ඉහත තනතුරුවලට අමතරව අරක්කැමි තනතුරු 72ක් අනුමත කරගැනීම සඳහා මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතියි.
මීට අමතරව පහත තනතුරු සඳහා ද පුරප්පාඩු පවතින අතර, ඇතැම් ඒවායේ බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
- මෝටර් රථ රියදුරු (දෙපාර්තමේන්තු ගත)
- ගිලන් රථ රියදුරු
- ට්‍රැක්ටර් රියදුරු
- මෝටර් කාර්මික
- ත්‍රීවිල් රියදුරු
- මුරකරු
- වතුර පොම්ප ක්‍රියාකරු
- කම්කරු
සෞඛ්‍ය තනතුරුවල පුරප්පාඩු
බන්ධනාගාර තුළ සෞඛ්‍ය කටයුතුවලට අදාළ නිලධාරීන්ගේ ද පුරප්පාඩු පවතින බව මෙම තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුරේ සඳහන්ව තිබේ.
ඒ අනුව පහත සඳහන් තනතුරුවල එලෙස පුරප්පාඩු පවතියි.
- දන්ත වෛද්‍ය නිලධාරී
- විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී
- උපදේශන නිලධාරී
- හෙද නිලධාරී (III, II, I)
- රසායනාගාර කාර්මික විද්‍යාඥ
- ඖෂධ සංයෝජක (III, II, I)
මීට අමතරව, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු කටයුතු වැනි ක්ෂේත්‍ර ගණනාවක ද පුරප්පාඩු බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ පවතියි.