ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ මිසයිල කඳවුරු අසල දැවැන්ත ඉදිකිරීම් - චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන දේ
- Author, ෂයාන් සර්දාරිසාදේ,බෙනඩික්ට් ගාර්මන් සහ මැට් මර්ෆි- බීබීසී වෙරිෆයි
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
නව චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණ අනුව, ඉරානය සිය ප්‍රධාන මිසයිල කඳවුරු දෙකක් ආසන්නයේ සැලකිය යුතු මට්ටමේ නව ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර, පසුගිය මාස කිහිපය තුළ අමෙරිකානු සහ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලට ලක්වූ හමුදා කඳවුරු කිහිපයක් අලුත්වැඩියා කරමින් සිටින බවද පෙනී යයි.
බ්‍රිතාන්‍ය බුද්ධි විශ්ලේෂණ සමාගමක් වන MAIAR හි විශ්ලේෂකයින් බීබීසී වෙරිෆයි වෙත පවසා ඇත්තේ, නොවැම්බර් මාසයේදී ගත් චන්ද්‍රිකා ඡායාරූපවල ටෙහෙරානය ආසන්න කරාජ් නගරයේ ගර්ම්දරේ හමුදා කඳවුරේ සහ උතුරු ඉරානයේ පිහිටි ෂාහ්රූඩ් කඳවුරේ කැණීම් සහ නව ගොඩනැගිලි ඉදිකිරීම්වල සාක්ෂි දක්නට ලැබෙන බවයි.
ඉරානයේ මිසයිල සංකීර්ණ සහ ගුවන් හමුදා කඳවුරු ඇතුළු තවත් හමුදා ස්ථාන 12ක පමණ ප්‍රහාරවලින් පසු අලුත්වැඩියා කටයුතු සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ලකුණු පෙන්නුම් කරයි.
ඉරාක දේශසීමාව ආසන්නයේ බටහිර ඉරානයේ පිහිටි කර්මන්ෂා මිසයිල කඳවුරේ විනාශ වූ ගොඩනැගිලිවලද නව වහල ඉදිකර තිබේ.
මේ අතර, ඉරාන අගනුවරට නැගෙනහිරින් පිහිටි පාර්චින් හමුදා සංකීර්ණයේ හානි වූ ගොඩනැගිලි සහ සුන්බුන් ඉවත් කර තිබේ. ගුවන් ප්‍රහාර මාලාවකට ලක්වුවද, එම සංකීර්ණය අවස්ථා කිහිපයකදීම යළි ප්‍රතිසංස්කරණය කර ඇත.
ඉරානය පිළිබඳව විශේෂයෙන් කටයුතු කළ හිටපු CIA විශ්ලේෂක ජිම් ලැම්සන් පැවසුවේ, ෂාහ්රූඩ් ආසන්නයේ සිදුකරන කැණීම් මිසයිල නිෂ්පාදනය සමඟ සම්බන්ධ විය හැකි බවයි. ඔහු පෙන්වා දුන්නේ, ෂාහ්රූඩ් ගුවන් හමුදා කඳවුර පසුගිය වසර කිහිපය තුළ කිහිප වරක් ඉලක්ක බවට පත්ව ඇති බැවින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය තම නිෂ්පාදන පහසුකම් භූගතව ස්ථාපිත කිරීමේ උත්සාහයක නිරත විය හැකි බවයි.
ඉරානය "තවදුරටත් එල්ල විය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යටිතල පහසුකම් භූගතව ස්ථාපිත කිරීමේ රටාවක්" අනුගමනය කරන බව MAIAR විශ්ලේෂකයෙකු පෙන්වා දුන්නේය. ආරක්ෂක විශ්ලේෂකයෙකු සහ අයර්ලන්ත හමුදාවේ හිටපු ප්‍රධානියා වන මාර්ක් මෙලට් ප්‍රකාශ කළේ, මෙලෙස භූගත පහසුකම් ඉදිකිරීම මගින් "බාහිර නිරීක්ෂකයින්ට එම පහසුකම්වල විෂය පථය සහ ක්‍රියාකාරී තත්ත්වය තක්සේරු කිරීම වඩාත් අපහසු වීම" වැනි අමතර වාසියක් ද ලැබෙන බවයි.
මෙම සතියේ පැවති මධ්‍යවාර මැතිවරණයෙන් පසු අමෙරිකාව ඉරානයට එරෙහි ප්‍රහාර යළි ආරම්භ කළ හැකි බවට පසුගිය සති කිහිපය තුළ මත පළ වී තිබුණි. කෙසේ වෙතත්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් බදාදා සඳහන් කළේ, ඉරාන යුද්ධය ජනප්‍රිය නොවීම රිපබ්ලිකන් පක්ෂයේ දුර්වල මැතිවරණ ප්‍රතිඵලවලට හේතු වූ බවත්, එය සෙනෙට් බලය "වසර හයක් සඳහා අහිමි වීමට" පවා හේතු විය හැකි බවත්ය.
විශ්ලේෂකයින්ට අනුව, අමෙරිකානු-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වීමෙන් පසු දැඩි ලෙස හානි සිදුවූ රට පුරා පිහිටි කඳවුරු රැසක අලුත්වැඩියා කිරීමේ කටයුතු ඉරාන හමුදා විසින් සිදුකරමින් සිටියි.
විශ්ලේෂකයින් පවසන්නේ චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ පාර්චින් හමුදා සංකීර්ණයේ තලේගාන් 2 පහසුකමේ සැලකිය යුතු ඉදිකිරීම් අවසන් වී ඇති බවත්, හානියට පත් ගොඩනැගිලි සමතලා කර ඇති බවත්, භූගත බංකරයකට එල්ල වූ ප්‍රහාරවලින් පසු එය ප්‍රතිසංස්කරණය කර කොන්ක්‍රීට් වලින් ශක්තිමත් කර ඇති බවත්ය.
කරාජ් සහ ෂාහ්රූඩ් යන ස්ථානවල සැලකිය යුතු මට්ටමේ කැණීම් සිදු කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යයි. කරාජ් හි චන්ද්‍රිකා ඡායාරූපවල වාහන කිහිපයක් දක්නට ලැබුණු අතර, ඒ ආසන්නයේ පිහිටි ගුවන් කඳවුරේ ද වැඩිදියුණු කිරීම් සිදු කර ඇති බව පෙනේ.
ඉරානයේ කඳවුරු ආශ්‍රිතව මෑතකදී සිදුවූ වර්ධනයන් පිළිබඳව පුළුල් ලෙස සොයා බැලීම් සිදු කර ඇති විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (FPRI) පර්යේෂණ විශ්ලේෂක සෑම් ලෙයාර් පවසන පරිදි, කරාජ් ප්‍රදේශයෙන් ලබාගත් රූපවලින් "භූගත පහසුකමක් සඳහා වන නව දොරටුවක්" පෙන්නුම් කරන බව පෙනේ.
බුද්ධි විශ්ලේෂණ සමාගමක් වන Janes හි විශ්ලේෂක ෂෝන් ඔ'කොනර් පවසන්නේ, මෙම ඉදිකිරීම් විදේශීය බුද්ධි අංශ රැවැට්ටීමේ ව්‍යාපෘතියක කොටසක් විය නොහැකි බවයි. "එවැනි ව්‍යාපෘතියක් අධික වියදම් සහිත වන අතර ප්‍රායෝගික ප්‍රතිලාභය අවම විය හැකියි," ඔහු පැවසීය.
මෙම වර්ධනයන් සිදුවන්නේ, අමෙරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදා බලය දැඩි ලෙස දුර්වල වී ඇති බවට ධවල මන්දිරය නැවත නැවතත් අවධාරණය කරමින් සිටින පසුබිමකය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඉරාන හමුදාව "සම්පූර්ණයෙන්ම අසංවිධානාත්මක තත්ත්වයක පවතින බව" ප්‍රකාශ කළේය.
පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු මීට පෙර කියා සිටියේ, ඉරානයේ ඩ්‍රෝන, බැලිස්ටික් මිසයිල සහ නාවික කර්මාන්ත පදනමේ සියයට 90ක් පමණ විනාශ කර ඇති අතර, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව දැඩි ලෙස අඩාල කර ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් "ඉරානයේ ඩ්‍රෝන යානා, බැලස්ටික් මිසයිල සහ නාවික කඳවුරු 90%ක් දක්වා ප්‍රමාණයක් විනාශ කර" ඇති බවත්, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට එරටට ඇති හැකියාව "සැලකිය යුතු ලෙස දුර්වල කර" ඇති බවත් පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු මීට පෙර ප්‍රකාශ කළේය.
එහෙත්, ඉරානය කියා සිටින්නේ තමන් සතුව තවමත් විශාල මිසයිල සංචිත පවතින බවයි. මෙම සතියේ රාජ්‍ය රූපවාහිනිය විකාශය කළ දර්ශනවලින් දකුණු ඉරානයේ භූගත පහසුකමක පිවිසුමක් අසල මිසයිල රැසක් පෙන්වනු ලැබූ අතර, අගෝස්තු මාසයේදී ද දකුණුදිග නගරයක් වන බන්ඩාර් අබ්බාස් වෙත ආසන්න භූගත උමඟකින් කොර්ඩාඩ් ගුවන් ආරක්ෂක මිසයිල එල්ල කෙරෙන ආකාරය දැක්වෙන දර්ශන විකාශය කර තිබිණි.
MAIAR විශ්ලේෂකයින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ, කොම් නගරය ආසන්නයේ සහ ෆෝඩෝ භූගත යුරේනියම් පිරිපහදු සංකීර්ණය අසල උමං පිවිසුම් වටා නව ඉදිකිරීම් සහ කැණීම් කටයුතු දක්නට ලැබෙන බවයි.
'උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය'(CSIS) ආයතනයේ ජාත්‍යන්තර ආරක්ෂක වැඩසටහනට අනුබද්ධ හමුදා විශ්ලේෂකයෙකු වන මාර්ක් කැන්සියන් පවසන පරිදි, හමුදා පහසුකම් සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් පෙන්නුම් කෙරෙන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කළ හැකි තවත් ප්‍රහාර සඳහා ටෙහෙරානය සූදානම් වෙමින් සිටින බවයි.
"මේකේ අරමුණ වෙන්නේ අනාගත ප්‍රහාරවලට එරෙහිව වඩා හොඳින් මුහුණ දෙන එකයි. ඒ වගේම ආර්ථිකය යළි නඟා සිටුවීමට වඩා හමුදාමය හැකියාවන් ගොඩනැගීමට ප්‍රමුඛතාව ලබා දීලා තියෙනවා කියලා මේකෙන් පෙන්නුම් කරනවා." ඔහු පැවසීය.