TIN සහතිකය අනිවාර්ය කිරීම: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අලුත් ම තීරණය කුමක් ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය නොවැම්බර් මස 01 වෙනිදා සිට අනිවාර්ය අවශ්‍යතාවක් බවට ගෙන තිබු තීරණය 2027 අප්‍රේල් මස 01 වෙනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.

TIN සහතිකය අනිවාර්ය කර තිබු ගනුදෙනුවල නිරත පුද්ගලයන් මෙන්ම වෙනත් පුදග්ලයන්ගෙන් ද TIN සහතිකය සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් මුදල් අමාත්‍යංශය අනුමැතිය සහතිව මෙම තීරණය ගත් බව එම දෙපාර්තුමේන්තුව අද (නොවැ. 05 වැනිදා) නිවේදනය කළේය.

මෙම දීර්ඝ කාල සීමාව තුළ දැන්ටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට TIN සහතිකය වඩා පහසු ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රම හඳුන්වාදීමට කටයුතු කරන බව දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන් ම, මෙතෙක් TIN අංකය ලබා ගෙන නොමැති පුද්ගලයන්ට මාර්ගගතව ඊ-සේවාව ඔස්සේ ලියාපදිංචි වී එය ලබා ගන්නා ලෙසත් දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත.

TIN සහතිකය අනිවාර්ය කළ සේවා මොනවා ද?

'2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් කාර්යයන් සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට ඉහත දී දැනුම් දී තිබිණි.

ඒ අනුව, යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබා ගැනීමට TIN සහතිකය අනිවාර්ය කර තිබිණි.

මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමගම කොළඹ පිහිටි දේශිය ආදයම් දෙපාර්තුමේන්තු මුලාස්ථානයේ සහ එම දෙපාර්තුමේන්තුවේ පළාත් බද කාර්යාලවල TIN සහතිකය ලබා ගැනීම සඳහා විශාල ජනතාවක් රැස් වූහ.

තවද, TIN සහතිකය ලබා නොගැනීම හේතුවෙන් මෝටර් වාහන ලියාපදිංචිය අලුත් කර ගැනීමට යාමේ දී මතුව තිබූ අපහසුතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද වාර්තා පළ වී තිබෙනු දැක ගත හැකි විය.

TIN සහතිකය වෙනුවට සේවාවන් දෙකකට දුන් විකල්පය

මෙවැනි පසුබිමක TIN සහතිකය නොමැතිව වුවද නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට පුද්ගලයන්ට අවස්ථාව සලසා ඇති බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව, දැනටමත් TIN අංකයක් ලබාගෙන ඇති නමුත් එම සහතිකය ලබාගෙන නොමැති පුද්ගලයන්ට අදාළ ආයතනය වෙත තම TIN අංකය ඉදිරිපත් කිරීමෙන් එම සේවාවන් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබිණි.

එසේම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට ද තම ජාතික හැඳුනුම්පත් (NIC) අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඉදිරිපත් කරමින් අදාළ සේවාවන් ලබා ගැනීමට හැකියාව ලබා දෙනු ලැබීය.

කෙසේ වෙතත්, TIN අංකය සහ එම සහතිකය ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම හේතුවෙන් TIN සහතිකය අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැමීමට දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව තීරණය කළේය.

TIN සහතිකය අනිවාර්ය කිරීම

2017 අංක 4 දරන දේශීය ආදායම් පනතට එක් කරන ලද 2026 අංක 11 දරන දේශිය ආදායම් (සංශෝධන) පනත හරහා සේවාවන් කිහිපයක් ලබා ගැනීමට TIN සහතිකය අනිවාර්ය කරනු ලැබීය.

එම සංශෝධනය අනුව TIN අංකයක් ලබා ගත් සෑම තැනැත්තෙකු වෙත ම TIN සහතිකයක් නිකුත් කළ යුතු ය.

එම පනත්හි සඳහන්ව තිබුණේ 2026 අප්‍රේල් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යයන් කිහිපයක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කළ යුතු බව ය.

'2026 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මකවන පරිදි, 102 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති තැනැත්තෙකු විසින් (පහත වගුවේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති එක් එක් කාර්යය සඳහා) TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය විය යුතු අතර, ඒ තැනැත්තා ඒ අවශ්‍යතාවට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගැනීම ඒ වගුවේ II වන තීරයේ අනුරූප සටහනේ නිශ්චිතව දක්වා ඇති අදාළ නිලධරියාගේ වගකීම විය යුතු ය."

2026 අංක 11 දරන දේශිය ආදායම් (සංශෝධන) පනත ජුනි මාසයේ දී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර ජූලි 03 වෙනිදා සිට එම පනත බලාත්මක විය.