ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාවන්තිස්සගේ මරණයේ සුලමුල හෙළි කර ගැනීමට ගන්නා පියවර ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
කාවන්තිස්ස දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ එම සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවී අඩවි ආරක්ෂකවරයාට නොවැම්බර් 19 වන දා, අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, කාවන්තිස්ස දළ ඇතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බී 63322/2026 අංක දරන නඩුව බෙස්ට් විෂන් ෆවුන්ඩේෂන් (Best Vision Foundation) වෙනුවෙන් නීතිඥ රෝහිත රාජකරණා මෝසමක් මගින් නොවැම්බර් 05 යළි කැඳවා කළ කරුණු දක්වීමක් සැලකිල්ට ගනිමිනි.
ඒ අනුව, අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ, කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වෙමින් පවතින බවයි. ඔහු කියා සිටියේ, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ස්වාධීනව විධිමත්භාවයකින් යුක්තව හා උපරිම විද්‍යාත්මක සාධාරණත්වයකින් යුක්තව සිදු කිරීම මගින් ඇතාගේ මරණයට සැබෑ වගකිව යුත්තන් කවුරුන් ද? යන්න අනාවරණ කර ගැනීමට හැකි බවයි.
'ගල්ගමුවේ අහිංසක ගොවීන් මස් වැද්දන් කිරීම පදනම් විරහිතයි'
ගල්ගමුව ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාව "මස් වැද්දන්" නොවන බවත් කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ගොවි ජනතාවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් මෙම අහිංසක ගොවි ජනතාව රජයෙන් වන්දියක් ලබා ගැනීමකින් තොරව තම ඉඩකඩම් "අලි කොරිඩෝවට" පරිත්‍යාග කර ඇති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.
පිට පළාත්වලින් පැමිණෙන ව්‍යාපාරිකයින් සහ දේශපාලනඥයින්ගේ හිතවතුන් අක්කර පනහ - සියය වට කරගෙන විදුලි වැටවල් ඉදිකර අලි ගමන් මාර්ග අවහිර කර අති බව ද සඳහන් කළ නීතිඥ රෝහිත රාජකරුණා එවැනි පසුබිමක් තුළ කාවන්තිස්ස ඝාතනය සම්බන්ධයෙන් ගල්ගමුවේ ගොවි ජනතාව හංවඩු ගැසීම තුළින් අලි මිනිස් සහජීවනයට බාධා ගෙන දී ඇති බවත් පෙන්වා දුන්නේය.
කාවන්තිස්ස ඇතාගේ මරණයට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම ද නිවැරදි නොවන බවත් කැපවීමෙන් රාජකරි කරන නිලධාරීන් සිටින බවත් කී නීතිඥවරයා කාවන්තිස ඇතා මරණයට පත්වීමේ සිද්ධියේදී වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිය වගකීම් පැහැර ඇති බවට සමාජය තුළ සැකයක් පවතින බවත් කියා සිටියේ ය.
ප්‍රතිකාර කරන මුවාවෙන් ඇතා වීඩියෝ කර ඇති බවට චෝදනාවක්
කාවන්තිස්ස ඇතාගේ මරණයට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම ද නිවැරදි නොවන බවත් කැපවීමෙන් රාජකරි කරන නිලධාරීන් සිටින බවත් කී නීතිඥවරයා කාවන්තිස ඇතා මරණයට පත්වීමේ සිද්ධියේදී වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිය වගකීම් පැහැර ඇති බවට සමාජය තුළ සැකයක් පවතින බවත් කියා සිටියේය.
කාවන්තිස්ස ඇතා මරණයට පත්වීමේ සිද්ධියට වනජීවි දෙපාර්තමේන්තුවේ සමස්ත පශූ වෛද්‍යවරුන් නිකරුනේ චෝදනාවන්ට ලක්විය යුතු නැති බවත් සඳහන් කළ නීතිඥවරයා, වගකීමෙන් කැපවීමෙන් හා සත්ව කරුණාවෙන් රාජකාරි කරන පශූ වෛද්‍යවරුන් රැසක් සිටින බවත් සඳහන් කළේ ය. මේ අතරතුර, කාවන්තිස්ස ඇතා "කුලප්පු කරමින්" ප්‍රතිකාර කරන මුවාවෙන් ඇතා වීඩියෝ කළ පශූ වෛද්‍යවරුන් ද සිටින බවත් පවසා සිටි නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේ ය.
ජාත්‍යන්තර පශු වෛද්‍ය මණ්ඩලයක මතය අධිකරණයට කැඳවන්නැයි ඉල්ලීමක්
මෙකී සියලු චෝදනාවන්ට සැබෑ වගකිව යුත්තන් සොයා ගැනීමට කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව විදේශීය ස්වාධීන විශේෂඥ පශූ වෛද්‍ය කණ්ඩායමකට යොමු කර විශේෂඥ මතය සමග වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වනජීවී නිලධාරීන්ට නියෝග කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර, වනජීවී ජායාරූප ශිල්පී පැතුම් බණ්ඩාර වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේ, කාවන්තිස්ස ඇතාගේ ශරීර කොටස් මේ වන විට වැඩිදුර පරක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යවා ඇති බවයි.
එකී විමර්ශන වාර්තාව විශේෂඥ පශූ වෛද්‍ය මණ්ඩලයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයිද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය. නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සැළකිල්ලට ගත් ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නීතිඥවරුන් එල්ල කරන චෝදනා සහ ගෙන හැර දැක්වූ කරුණු සහ අධිකරණයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොවැම්බර් 19 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කාවන්තිස්ස ඇතා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළ නඩුවේ පැමිණිළ්ල වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවී අඩවි ආරක්ෂකට නියෝග කරනු ලැබීය.
මේ අතර, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 11 වන දා මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත ය.