ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Microsoft සමාගමේ Outlook සහ Teams සේවා බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් ද?
- Author, ඇඩම් ගෝල්ඩ්ස්මිත්, ජෙසිකා ලෑම්බ්, ඔස්මන්ඩ් චියා
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
දස දහස් ගණනක පරිශීලකයින්ට බලපා ඇති බවට වාර්තා වන, ගෝලීය බිඳ වැටීම යථාතත්ත්වයට පත් කර ගැනීමට Microsoft සමාගම දැඩි උත්සහයක නිරතව සිටී.
මයික්‍රොසොෆ්ට් සමාගමේ Teams, Outlook සහ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයක් වන Copilot ඇතුළු සේවාවන් "සම්බන්ධතා ගැටලු" (connectivity problems) හේතුවෙන් බලපෑමට ලක්ව ඇත.
සේවා යථාතත්ත්වයට පත් කිරීම සඳහා දරන උත්සාහයන් තුළින් "ධනාත්මක ප්‍රතිඵල" ලැබෙමින් පවතින බවත්, ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් එම සමාගම X සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ යාවත්කාලීන කිරීම් මාලාවක සඳහන් කර ඇත.
සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන Downdetector වෙබ් අඩවියට අනුව, බ්‍රහස්පතින්දා GMT වේලාවෙන් පස්වරු 6.00 පමණ වන විට Outlook සේවාව සම්බන්ධ ගැටලු පිළිබඳ ගෝලීය වාර්තා සංඛ්‍යාව 140,000කට ආසන්න වී තිබේ. මෙම සේවා බිඳවැටීමට සයිබර් ප්‍රහාරයක් හේතු වූ බවට කිසිදු ඉඟියක් නොමැති බවට බීබීසීය වෙත වාර්තා වේ.
ව්‍යාපාරික ආයතන අතර ජනප්‍රිය මාර්ගගත සේවාවක් වන Microsoft 365හි කොටසක් වන වැඩසටහන්වලට මෙම බිඳවැටීම බලපා ඇත. Outlook, Teams සහ OneDrive වැනි කාර්යාලයීය මෙවලම් භාවිත කිරීමට මෙම සේවාව මගින් පහසුකම් සලසයි.
ජාත්‍යන්තර ආයතන සඳහා ලොව පුරා සිටින සිය සගයන් සමග සම්බන්ධ වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම වේදිකාව බහුලව භාවිත කෙරේ.
මෙම ගැටලු හේතුවෙන් ඇතැම් ලිපිගොනු සහ දින දර්ශන යෙදුම්වල තොරතුරු නැරඹීමට පරිශීලකයින්ට නොහැකි විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
එමෙන් ම, සමාගමේ කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Copilot ද නිසි පරිදි ක්‍රියා නොකිරීමට ඉඩ ඇති බව එම සමාගම සඳහන් කරයි.
පණිවිඩ හුවමාරු කිරීමේ (Messaging) සහ මාර්ගගත රැස්වීම් (online meetings) පැවැත්වීමේ සේවා බොහෝදුරට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ද සමාගම තවදුරටත් සඳහන් කළේ ය.
සර්වර්ස් කිහිපයක් "අනපේක්ෂිත ලෙස අක්‍රිය වීම" හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පැවසීය. එමගින් ඉතිරිව තිබූ පද්ධති මත අමතර පීඩනයක් ඇති වූ බව ද සමාගම සඳහන් කළේ ය.
"සේවා හැකි ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීමට අප කටයුතු කරන අතරතුර, අපගේ පාරිභෝගිකයන් දැක්වූ ඉවසීම අපි අගය කරමු," යැයි මයික්‍රොසොෆ්ට් ප්‍රකාශකයෙක් පැවසීය.
පසුව සමාගම අනතුරු ඇඟවූයේ, යථා තත්ත්වයට පත් කර තිබූ ඇතැම් සේවාවන් "නැවතත් ක්‍රියා විරහිත විය හැකි" බවත්, "ඕනෑ ම කලාපයක" සිටින පාරිභෝගිකයින්ට මෙයින් බලපෑම් එල්ල විය හැකි බවත් ය.
ඇමෙරිකාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු ලොව පුරා රටවල පරිශීලකයින් මෙම සේවා බිඳවැටීම හේතුවෙන් ගැටලුවලට මුහුණ දුන් බව වාර්තා කර තිබේ.
කෘත්‍රිම බුද්ධි සමාගම්වලටත් බලපෑම්
මයික්‍රොසොෆ්ට් සමාගමේ පද්ධති සමග කටයුතු කරන කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ ප්රමුඛ සමාගම් වන Anthropic සහ OpenAI ඇතුළු වෙනත් සමාගම්වලට ද මෙම සේවා බිඳවැටීම බලපා තිබේ.
ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම පැවසුවේ, මයික්‍රොසොෆ්ට් සේවාවන් සමග ඇති සම්බන්ධතාවලට බලපාන ගැටලුවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ය. එම ගැටලුව හේතුවෙන් ඇතැම් මෙවලම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවන බව ද එම සමාගම සඳහන් කළේ ය.
පසුගිය මාසයේදී ද මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් Azure ක්ලවුඩ් වේදිකාවේ සේවා බිඳවැටීමක් වාර්තා විය. එමගින් තාක්ෂණික දැවැන්තයාගේ ඵලදායිතා මෙවලම් (productivity tools) සමූහයට මෙන් ම ලොව පුරා සමාගම්වලට ද බලපෑම් එල්ල විය.
විදුලි ට්‍රක් රථ නිෂ්පාදන සමාගමක් වන Workhorse Group සමාගම, සිය තෙවන කාර්තුවේ ප්‍රතිඵල නොවැම්බර් 12 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද, එය නොවැම්බර් 16 වන දා දක්වා කල් දැමීමට පියවර ගෙන තිබේ. ඊට හේතුව ලෙස එම සමාගම දක්වා ඇත්තේ මයික්‍රොසොෆ්ට් ගෝලීය සේවා බිඳවැටීම හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතුවලට බාධා එල්ල වීම ය.