රඛිත රාජපක්ෂගේ දේපළ තහනම් කිරීම: අධිකරණයේදී හෙළි කළ කරුණු මොනවා ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනමට ලක් කළ නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන ඉදිරි මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කරමින් කොළඹ මහාධිකරණය අද (නොවැ: 05) නියෝගයක් නිකුත් කළේ ය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක විසිනි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරියක අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන "හරක් කටා" හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්නගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම සහ ඔහු ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීමට කටයුතු කිරීම සඳහා ඩුබායිහිදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් ආරම්භ කළ බව ය.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සැකකාර රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන තුනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ බවත් ඇය පැවසුවා ය.

ඒ අනුව, සැකකරුට එරෙහිව 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ විමර්ශන පැවැත්වීම සඳහා ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව ද ඇය සඳහන් කළා ය.

එම කරුණු මත අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව අදාළ බැංකු ගිණුම් සහ වාහන තහනමට ලක් කිරීමට අල්ලස් කොමිසම පසුගිය ඔක්තෝබර් 29 වන දා කටයුතු කළ බව ද ඇය අධිකරණයට දැනුම් දුන්නා ය.

ඒ අනුව දූෂණ විරෝධී පනතේ සහ අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතේ ප්‍රතිපාදන අනුව, තහනමට ලක් කර ඇති මෙම දේපළ මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එම අවස්ථාවේදී නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, බැංකු ගිණුම් සහ වාහන රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් ඒවා අපරාධයකින් උත්පාදිත දේපළ බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව ය.

කෙසේ වෙතත්, එවැනි සාක්ෂි කිසිවක් මේ අවස්ථාවේදී අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. තව ද, තහනමට ලක් කර ඇති බැංකු ගිණුම් අදාළ අපරාධය සිදුවීමට පෙර විවෘත කරන ලද ගිණුම් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතේ 75 වන වගන්තිය අනුව මෙවැනි අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කිරීමේ බලය අධිකරණයට පවතින බව ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බාධාවක් නොමැති බව ය. ඒ අනුව අදාළ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කරමින් නියෝගයක් නිකුත් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

අමතරව, අදාළ බැංකු ගිණුම් සහ දේපළ සම්බන්ධයෙන් සංරක්ෂණ නියෝග නිකුත් කරන ලෙස, එම ගිණුම් පවත්වාගෙන යන බැංකුවලට සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දෙන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.