'Transit visa' ප්රතික්ෂේප වීමෙන් කුක් දුපතේ සිරවී සිටින ශ්රී ලාංකික කත : 'මට පණපිටින් එන්නේ දෙන්නේ නැත්නම් බොඩි එක හරි ලංකාවට එවයි කියලා අක්කා කියනවා'

ඡායාරූප මූලාශ්රය, Provided
- Author, දිනුක් හේවාවිතාරණ, බීබීසී සිංහල සහ අයේෂා පෙරේරා, ආසියානූ ඩිජිටල් සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 11
"ඊයේ පෙරේදා දවසක අක්කා කතා කරද්දී කිව්වා මට පණපිටින් ඉද්දි එන්න දෙන්නේ නැත්තේ, මගේ බොඩි එක හරි එවයිනේ කියලා මම මළොත් කියලා. ඒ වගේ දෙයක් කර ගන්න තැනට එයා ඇවිල්ලා තියෙන්නේ."
මීට වසර නවයකට පෙර විදේශගත වූ 50 හැවිරිදි රුචිරා රණසිංහ මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපතේ රැඳී සිටින්නේ ඇය මුහුණ දී ඇති වීසා ගැටලුවක් හේතුවෙන් බව ඇයගේ සහෝදරයා වන සමීර රණසිංහ පැවසීය.
දැඩි මානසික පීඩනයකින් කුක් දූපතේ රැඳී සිටින රුචිරා බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කුමන කොන්දේසියක් යටතේ හෝ තමන් නැවත ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගෙන තමන්ට සහය වන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
හොංකොං සිට නවසීලන්තය බලා ගිය ගමන
පිළියන්දල, බෝකුන්දර ප්රදේශයේ පදිංචිකාරියක වන 50 හැවිරිදි වියේ පසුවන රුචිරා රණසිංහ විවාහක කාන්තාවකි. මත්ද්රව්යවලට ඇබ්බැහි වී සිටි ඇයගේ ස්වාමිපුරුෂයා වසර හතකට පෙර මියගොස් ඇති අතර, තමන්ට එක් පුතෙකු සිටින බව ඇය බීබීසී සිංහල සමඟ අදහස් දක්වමින් කියා සිටියාය.
රුචිරාගේ සහෝදරයා වන සමීර රණසිංහ බීබීසී වෙත කියා සිටියේ සිය සහෝදරිය ඒ වනවිට දැඩි ආර්ථික ගැටලු රැසකට මැදිව සිටි බවයි.
කලක් පවත්වාගෙන ගිය ඇඟලුම් ව්යාපාරය කඩා වැටීමෙන් පසු ඇති වූ දැඩි ආර්ථික ගැටලුවලට විසඳුම් සොයා රුචිරා 2018 වසරේදී හොංකොංහි සාත්තු සේවිකාවක ලෙස සේවය කිරීමට විදේශගත වී තිබිණි.
ඉන් අනතුරුව, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ඇය සංචාරක වීසා මත නවසීලන්තයට පැමිණ තිබුණාය.
"මම පොඩි ගාර්මන්ට් බිස්නස් එකක් කරගෙන ගියා. පස්සේ ඇති වුණ ආර්ථික ප්රශ්නත් එක්ක ඒක වහන්න සිද්ධ වුණා. ඒ නිසා ණය ටිකක් තිබුණා.
"පස්සේ මම 2018 අවුරුද්දේදී හොංකොංවලට ආවා සාත්තු සේවිකාවක් විදිහට වැඩ කරන්න. මම ගෙවල්වල වැඩ කළා. වයසක අයව බලාගත්තා.
"ඔහොම වැඩ කරගෙන ඉන්නකොට තමයි නවසීලන්තයට යන්න උත්සාහ කළේ. මගේ ඥාති සහෝදරයෙක් නවසීලන්තයේ ඉන්නවා. එයාට එහෙ පුරවැසිභාවය තියෙනවා. මම එයාට කිව්වා මට එහෙ එන්න ඕන කියලා. පස්සේ එයා මට විසිට් වීසා එකක් අරන් දුන්නා. මම 2022 දෙසැම්බර් 7 වැනිදා හොංකොංවලින් පිටත් වුණා," ඇය කියා සිටියාය.
'නීතිඥයාගේ උපදෙස් මතයි කුක් දූපතට ගියේ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නවසීලන්තයේ තව දුරටත් රැඳී සිටීම සඳහා අවශ්ය වීසා බලපත්රයක් ලබා ගැනීමට තමන් එහිදී හමුවූ නීතිඥවරයෙකුගේ සහාය ඉල්ලා සිටි බව රුචිරා රණසිංහ පැවසුවාය.
"මට විසිට් වීසා එක තිබුණේ මාස දෙකක කාලයකට. ඒ කාලේ නත්තල් නිසා වීසා එකක් හදාගන්නවත් විදිහක් තිබුණේ නැහැ.
"ඊට පස්සේ මම ලෝයර් කෙනෙක්ව හම්බවෙලා වීසා එකක් ගන්න අවශ්යයි කියලා කිව්වා. පස්සේ ඒ ලෝයර් තමයි කිව්වේ, මට රෙෆියුජි වීසා (සරණාගත වීසා) එකක් ඇප්ලයි කරලා ඕපන් වර්කින් වීසා එකක් අරන් දෙන්නම් කියලා.
පස්සේ මට 2023 මාර්තු මාසයේ ඉඳලා 2024 මාර්තු මාසය වෙනකම් අවුරුද්දක කාලයකට ඕපන් වීසා එකක් ලැබුණා. පස්සේ මම රෙස්ටුරන්ට් එකක මාස නවයක කාලයක් වැඩ කරගෙන හිටියා.
ඊට පස්සේ ලෝයර් කිව්වා, මම වැඩ කරන රෙස්ටුරන්ට් එකෙන් දිගටම වැඩ කරන්න දෙනවා නම් මට වර්කින් වීසා එකක් අරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කැමැත්ත ප්රකාශ කළාම ලෝයර් ඒකට කටයුතු කළා.
පස්සේ මම වර්කින් වීසා එකකට ඇප්ලයි කළාම ඒක රිජෙක්ට් කරලා තිබුණා. ඒ ගැන හොයලා බැලුවම ලෝයර් මට කිව්වා, මම දාලා තිබුණ වීසා එකත් එක්ක මට තවත් වීසා එකක් දෙන්න බැහැ, ඒ නිසා මට රටින් පිටවෙන්න ඕන කියලා.
"රටින් පිටවෙලා වර්කින් වීසා එකකට ඇප්ලයි කරලා ආපහු එන්න කියලා. ඊට පස්සෙයි මම නවසීලන්තයට ආසන්නව තියෙන කුක් දූපතට සති තුනක වීසා එකක් අරගෙන ගියේ. මම එහෙම එනකොටත් මගේ නවසීලන්ත වීසා එකේ කාලය ඉතුරු වෙලා තිබුණා" ඇය කියා සිටියාය.
"මම 2023 නොවැම්බර් 8 වැනිදා කුක් දූපතට ආවා. පස්සේ මම ආපහු වීසා ඉල්ලුම් කළත් ඒකත් රිජෙක්ට් වුණා. ඒ වගේ අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් නවසීලන්තයෙන් වීසා එක රිජෙක්ට් කළා.පස්සේ හොයලා බලද්දී තමයි දැනගත්තේ, මට ලැබිලා තිබුණ වීසා එක අනුව නවසීලන්තයෙන් පිටවුණාට පස්සේ මට ආපහු එහෙට එන්න බැහැ කියලා.මට දීලා තිබිලා තියෙන්නේ රෙෆියුජි ඕපන් වර්කින් වීසා එකක්. පස්සේ මට ලෝයර් කිව්වා, එයා මට කුක් අයිලන්ඩ් එකට යන්න කිව්වේ එහෙ අය කිව්ව නිසා කියලා."
"පස්සේ එයා නැවත උත්සාහ කරනවා කියලා කිව්වා. ලෝයර් අවස්ථා කිහිපයකදීම වීසා ගන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් මාස හයක් හතක් පමණ කාලයක් ගත වුණා."

ඡායාරූප මූලාශ්රය, Getty Images
ශ්රී ලංකාවේ සිට කිලෝමීටර් 13,400ක් පමණ දුරින් පිහිටි කුක් දූපත්හි සිට බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ ඇය කියා සිටියේ, මේ වන විට වසර තුනකට අධික කාලයක් එහි හෝටලයක සේවකයන් නවාතැන් ගන්නා ස්ථානයක තමන් වෙත නවාතැන් පහසුකම් ලබා දී ඇති බවයි.
"මම කුක් දූපතට ආවම සති තුනක් නතර වෙලා හිටියේ මේ නෝනට අයිති හෝටලයේ. පස්සේ මට වීසා ලැබුණේ නැති නිසා මම මගේ ප්රශ්නය ගැන එයාලට කිව්වා. පස්සේ ඒ අය මට උදව් කරන්නම් කියලා කිව්වා.
"ඒත් කාලයක් ගිහිල්ලා මට නවසීලන්තයට ආපහු යන්න විදිහක් නැති නිසා හෝටලය අයිති නෝනා එයාලගේ සේවකයන්ට වෙන් කරලා තියෙන ක්වාටර්ස් එකේම මටත් කාමරයක් වෙන් කරලා දුන්නා. මෙහෙ ඉන්න මිනිස්සු හරිම හොඳයි. මට කන්න කෑම ටික පවා ලැබෙන්නේ එයාලගෙන්. ඒ වගේම මෙහෙ ඉන්ටර්නෙට්වලට ලොකු ගාණක් යනවා. මම මේ කෝල් එක පවා ගන්නේ මේ හෝටලයේ වැඩ කරන අය මට දෙන හොට්ස්පොට්වලින්."
ඇය මේ වන විට මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එලෙස විස්තර කළාය.
මේ අතර, නවසීලන්තයේ ආගමන විගමන නීතිඥවරයෙකු වන ඇලස්ටෙයාර් මැක්ක්ලයිමොන්ට් බීබීසී වෙත අදහස් දක්වමින් රුචිරා රණසිංහගේ වීසා ඉල්ලීම් ප්රතික්ෂේප වීමට හේතු වූ කරුණු පිළිබඳව මෙලෙස පැහැදිලි කළේය.
"නවසීලන්තයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවක රැකවරණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කළාට පස්සේ ඒ ගැන සලකා බැලීමක් සිදු කරනවා. සාමාන්යයෙන් ඒ ක්රියාවලියට වසර දෙකක් වගේ කාලයක් ගත වෙනවා. රැකවරණ ඉල්ලීම සලකා බලන කාලය තුළදී ඔවුන්ට විවෘත වැඩ බලපත්රයක් (Open Work Visa) ලබා දෙනවා."
"එහෙම රැකවරණ ඉල්ලීම සලකා බලන තෙක් රැඳී සිටීමට වැඩ බලපත්රයක් ලැබුණාට පස්සේ වෙනත් ආකාරයක වීසා බලපත්රයක් සඳහා අයදුම් කිරීම ඔවුන්ට තහනම් වෙනවා."
"ඒ වගේම ඇය කළ දෙවැනි වැරැද්ද වුණේ රට හැර ගිය එකයි. ඇගේ පළමු වීසා අයදුම්පත ප්රතික්ෂේප වුණේ නීතියට අනුව එය ප්රතික්ෂේප කළ යුතු වූ නිසයි," ඔහු පැවසීය.
'ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි'
තම වීසා ඉල්ලීම සාර්ථක නොවූ පසු, ඒ වෙනුවෙන් කටයුතු කළ නීතිඥවරයා තමන්ට නැවත ශ්රී ලංකාවට යන ලෙස පැවසූ බව රුචිර කියා සිටියාය.
"පස්සේ ලෝයර් මට කතා කරලා කිව්වා, එයා අවස්ථා ගොඩකදී උත්සාහ කළා, ඒත් වීසා එක ගන්න විදිහක් නැති නිසා මට ආපහු ලංකාවට යන්න කියලා. එයා පිළිගත්තා එයාගේ අතින් වැරැද්දක් වුණා කියලා."
"පස්සේ කුක් අයිලන්ඩ්වල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිහින් මම කිව්වා, වීසා එකේ ප්රශ්නයක් නිසා මට ආපහු ලංකාවට යන්න අවශ්යයි කියලා. පස්සේ ඒ අය කිව්වා, කිසිම ප්රශ්නයක් නැහැ, යන්න කියලා."
"මගේ වීසා වැඩේ ගැන බැලුවේ නවසීලන්තයේ ඉන්න ලංකාවේ ලෝයර් කෙනෙක්. එයා මගෙන් මුලින් වීසා වැඩවලට නවසීලන්ත ඩොලර් 10,000ක් අරගත්තා. ඊට පස්සේ එක එක වැඩවලට කියලා නවසීලන්ත ඩොලර් 3,000ක්, 2,000ක් වගේ අවස්ථා කිහිපයකදීම අරගත්තා," ඇය තමන්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීම විස්තර කරමින් පැවසුවාය.
මෙම සිදුවීමේදී අදාළ නීතිඥවරයා සම්පූර්ණයෙන්ම වැරදිකරු බවට පෙනී යන බව නවසීලන්තයේ ආගමන විගමන නීතිඥවරයෙකු වන ඇලස්ටෙයාර් මැක්ක්ලයිමොන්ට් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
"මේ සියල්ල සිදුවෙලා තියෙන්නේ ඇය වෙනුවෙන් මෙම අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයාගේ ක්රියාකලාපය නිසයි. ඔහුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග අරගෙන සිරගත කළ යුතුයි. ඔහු ඇයව වංචාවකට ලක් කර තිබෙනවා."
"ඇත්තටම මේ ගැටලුවට විසඳුම කුමක්ද කියලා මට පැහැදිලි නැහැ."
"බොහෝ ආගමන නීතිඥයන් මෙවැනි රැකවරණ අයදුම්පත් ඉදිරිපත් කර මුදල් උපයනවා. නමුත් ඒවාට දිගුකාලීන බලපෑම් තිබෙනවා. බොහෝ විට මේ අයදුම්පත් ප්රතික්ෂේප වෙනවා. ඒ වගේම වෙනත් වීසා සඳහා අයදුම් කරන්නත් ඉතා අපහසු වෙනවා."
"මේක වංචාවක්. මේ කාන්තාව ඒ වංචාවේ ගොදුරක්. මේ නීතිඥයා ගැන ඇය රජයට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුයි," ඔහු පැවසීය.
'ලංකාවට එන්න Transit visa දෙන්නේ නැහැ'
කෙසේ නමුත් ශ්රී ලංකාවට පැමිණීමට තීරණය කළ රුචිරාට මුහුණ දීමට සිදුවූයේ ඇය කිසිවිටෙකත් අපේක්ෂා නොකළ තත්ත්වයකටය.
"මම එයාර් නවසීලන්තයෙන් ලංකාවට යන්න ටිකට් එකක් ගත්තා. මම ගුවන්තොටුපොළට ගිහින් ගුවන් යානයට නගින්න ගියාම එතැනදී මට කිව්වා, මට නවසීලන්තයෙන් සංක්රමණ වීසා එකක් ගන්න ඕන කියලා.
පස්සේ මම ආපහු හෝටලයට ඇවිල්ලා නවසීලන්තයෙන් වීසා එකක් ඇප්ලයි කළා. සති දෙකකට පස්සේ මට දැනුම් දුන්නා වීසා එක රිජෙක්ට් කළා කියලා. ඒකට හේතුව හැටියට ඔවුන් කියලා තිබුණේ මගේ වීසා ඉල්ලුම්පත් අවස්ථා කිහිපයකදීම ප්රතික්ෂේප වෙලා තිබ්බ එක."
"පස්සේ කුක් අයිලන්ඩ් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලියුමක් යැව්වා මගේ තත්ත්වය ගැන කියලා. ඊට පස්සේ මම ආපහු සංක්රමණ වීසා එකක් ඇප්ලයි කළා. ඒ පාර මගේ වීසා අයදුම්පතට උත්තරයක් විදිහට එයාලා ලියුමක් එවලා තිබුණා, ඇයි මම වෙනත් රටකට ගිහින් ලංකාවට යන්න උත්සාහ කරන්නේ නැත්තේ කියලා."
"තහිටි (Tahiti) නැත්නම් හවායි හරහා යන්න හැදුවත් ඒ රටවල්වලට ශ්රී ලංකාවේ පාස්පෝට්වලට සංක්රමණ වීසා ගන්න කුක් දූපත්වල කාර්යාල නැහැ. වෙලිංටන් නැත්නම් ඕක්ලන්ඩ්වලට ගිහින් ඇඟිලි සලකුණු දෙන්න ඕන. මට නවසීලන්තයට ඇතුළට යන්න දුන්නේ නැති නිසා ඒ අවස්ථාවත් අහිමි වුණා."
"පස්සේ කුක් අයිලන්ඩ් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලියුමක් යැව්වා. මම ගැන විශ්වාසයක් නැත්නම් එයාලගේ රටේ ආගමන විගමන නිලධාරියෙක් එවන්නම්, මම ශ්රී ලංකාවේ ගුවන් යානයට නගිනකම් ඉන්න කියලා."
"ඒත් අපි යවපු ලියුම්වලට තවමත් උත්තරයක් ලැබුණේ නැහැ. මම බෝට්ටුවකින් හරි, නැවකින් හරි, වෙන රටකට ගිහින් එතැනින් හරි ලංකාවට එන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිම දෙයක් මේ වෙනකම් හරි ගියේ නැහැ," ඇය පැවසුවාය.
රුචිරා රණසිංහ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බීබීසීය නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළේය.
ඊට ප්රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂිකා ජනීන් පාර්සන්ස් කියා සිටියේ, රුචිරා සැබෑ ලෙසම එරට හරහා සංක්රමණය වීමට උත්සාහ කරන බවට සෑහීමකට පත්විය නොහැකි කරුණු මත අදාළ අයදුම්පත් ප්රතික්ෂේප කර ඇති බවය.
"රුචිරා රණසිංහ විසින් නවසීලන්ත සංක්රමණ වීසා සඳහා අයදුම්පත් කිහිපයක් ඉදිරිපත් කර තිබූ බව තහවුරු කළ හැකියි."
"එහෙත්, ඇය නවසීලන්තය හරහා සැබෑ ලෙසම සංක්රමණය වීමට අදහස් කරන බවට බලධාරීන් සෑහීමකට පත් නොවූ බැවින් එම අයදුම්පත් ප්රතික්ෂේප කර තිබෙනවා."
"පුද්ගලිකත්වයට අදාළ හේතු මත මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නිකුත් කළ නොහැකියි," නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂිකාව පැවසුවාය.
නවසීලන්තය හරහා ශ්රී ලංකාවට යාමට නොහැකි වූ පසුබිමක ඇය ඔස්ට්රේලියාව හරහා ශ්රී ලංකාවට යාමට ද උත්සාහ කර තිබුණි.
"පස්සේ මම කුක් අයිලන්ඩ්වල ඉන්න ආගමන විගමන එකේ අයට මේක කිව්වා. ඒ අය මට කිව්වා ඔස්ට්රේලියාව හරහා ලංකාවට යන්න උත්සාහ කරන්න කියලා."
"පස්සේ මම ටිකට් එකක් දාගෙන එහෙම යන්න උත්සාහ කළත් එහෙනුත් සංක්රමණ වීසා දුන්නේ නැති නිසා මට එහෙමත් ලංකාවට යන්න බැරි වුණා," ඇය සඳහන් කළාය.
බීබීසීය කළ විමසීමකට ප්රතිචාර දක්වමින් ඔස්ට්රේලියානු අභ්යන්තර කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔස්ට්රේලියාවට ඇතුළුවීම සඳහා වීසා අයදුම් කරන සියලු විදේශිකයන්ගේ අයදුම්පත් එරට සංක්රමණ නීතිවල දක්වා ඇති නෛතික අවශ්යතා අනුව තනි තනිව සලකා බලන බවය.
"ඔස්ට්රේලියාවට ගමන් කිරීමට, ඇතුළු වීමට හෝ එහි රැඳී සිටීමට අපේක්ෂා කරන සියලු විදේශිකයන් 1958 සංක්රමණ පනත (Migration Act 1958) සහ 1994 සංක්රමණ රෙගුලාසි (Migration Regulations 1994) මගින් නියම කර ඇති අවශ්යතා සපුරාලිය යුතුය."
එමෙන්ම, අවශ්ය වන අවස්ථාවලදී සෑම අයදුම්කරුවෙකුම සෞඛ්ය, චරිත සහ ආරක්ෂක පරීක්ෂණවලට භාජනය වී ඒවා සාර්ථකව සම්පූර්ණ කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රුචිරා රණසිංහට නැවත ශ්රී ලංකාවට පැමිණීම සඳහා නවසීලන්තය සහ ඔස්ට්රේලියාව විසින් සංක්රමණ වීසා (Transit Visa) ලබා නොදීම පිළිබඳව නවසීලන්ත ආගමන විගමන නීතිඥ ඇලස්ටෙයාර් මැක්ක්ලයිමොන්ට් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, රුචිරා නවසීලන්තයෙන් රැකවරණ (Asylum) ඉල්ලීමක් කර තිබීම හේතුවෙන්, ඇය තම රට හරහා සංක්රමණය වීමට අවසර ලබාදීමෙන් මතුවිය හැකි අවදානම භාර ගැනීමට කිසිදු රටක් කැමැත්තක් නොදක්වන බවයි.
"ඇය දැනටමත් ශ්රී ලංකාවට ආපසු යාමට අවශ්ය නැති බව ප්රකාශ කර තිබෙනවා. ඒ නිසා ඇයට නැවත එම රටවලට වීසා ලබා ගැනීම ඉතා අපහසුයි.
ඔස්ට්රේලියාව සහ නවසීලන්තය ආගමන තොරතුරු එකිනෙකා සමඟ හුවමාරු කරගන්නවා. ඒ නිසා ඇයට එම රටවල් හරහා සංක්රමණය වීමට ඉඩ ලබා දීමේ අවදානම භාර ගැනීමට ඔවුන් කැමති නැහැ. ප්රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ජෛව දත්ත (Biometrics) ලබාගැනීමට ඉඩ තිබෙනවා. ඒ හරහා ඇය කුක් දූපත්වල සිටින්නේ ඇයි, වීසා අවශ්ය වන්නේ ඇයි යන්න සොයා බැලිය හැකියි. එවිට ඇය රැකවරණ ඉල්ලීමක් කර ඇති බව ඔවුන්ට දැන ගැනීමට ඉඩ තිබෙනවා. ඇත්තටම මේ ගැටලුවට විසඳුම කුමක්දැයි මට පැහැදිලි නැහැ. අවසානයේදී ඇයට යම් රටක් හරහා සංක්රමණය වීමට සිදුවෙනවා. නමුත් එවැනි අවදානමක් ගැනීමට කිසිදු රටක් කැමති වෙන්නේ නැහැ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්රය, Provided
'කොහොම හරි ලංකාවට ගෙන්වා ගන්න කියලයි ඉල්ලන්නේ'
"2023 නොවැම්බර් 8 වැනිදා ඉඳලා මම ලංකාවට යන්න හැම විදිහකින්ම උත්සාහ කරනවා. මගේ අම්මත් දැන් ගොඩක් අසනීපෙන් ඉන්නේ. මමත් අසනීපෙන් ඉන්නේ. මට මේ වෙලා තියෙන තත්ත්වයත් එක්ක මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ. දැන් මට දියවැඩියාවත් තියෙනවා. මගේ පුතාගේ වෙඩින් එක නොවැම්බර් මාසයේදී තියෙනවා. ගිය අවුරුද්දේ පුතාගේ වෙඩින් එක තියන්න තිබුණේ. මේ ප්රශ්නය නිසා වෙඩින් එක කල් දැම්මා. පුතාට අම්මත් නැතිවුණොත් කවුරුත් නෑනේ. මාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න. එච්චරයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ." ඇය බීබීසී සිංහල වෙත කියා සිටියාය.
රුචිරා රණසිංහ පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් බීබීසීය විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයෙන් ද විමසීමක් කළේය.
ඊට ප්රතිචාර දක්වමින් එහි අධ්යක්ෂ ජනරාල් තෙෂාන්ත කුමාරසිරි කියා සිටියේ, ඇය නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගනිමින් සිටින බවය.
"රුචිරා රණසිංහගේ පවුලේ ඥාතීන් ද විදේශ කටයුතු අමාත්යාංශයේ නිලධාරීන් හමුවුණා. දැනට කුක් දූපතේ සිටින රුචිරා රණසිංහ නැවත ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්යාංශය අවශ්ය සියලු ක්රියාමාර්ග ගනිමින් තිබෙනවා. නවසීලන්තයේ වෙලිංටන්හි පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වගේම නවසීලන්ත බලධාරීන් සමඟත් විදේශ කටයුතු අමාත්යාංශය සමීපව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම IOM සංවිධානයත් මෙම කටයුත්තේදී විදේශ කටයුතු අමාත්යාංශයට සහාය ලබා දෙනවා. මේ කටයුත්තේදී රුචිරා රණසිංහගේ පෞද්ගලිකත්වය සම්බන්ධ කරුණු සලකා බලා, ඉදිරියේදී මාධ්ය වෙත වැඩිදුර තොරතුරු ලබාදීමට කටයුතු කරනවා," ඔහු පැවසීය.
කෙසේ නමුත් වසර 3කට ආසන්න කාලයක් පුරා දැඩි පරිශ්රමයකින් පසුව පවා සිය රට බලා යෑමට නොහැකිව දැඩි ඉච්ජා භංගත්වයට පත්ව සිටින රචිරාට දැන් සිදුව ඇත්තේ ඕක්ලන්ඩ් නගරයේ සිට පැය හතරක පමණ දුරින් පිහිටි, පුළුල් වැලි සහිත වෙරළ තීරයන්ගෙන් සහ ගිනිකඳු ආශ්රිත රළු කඳු මුදුන්වලින් සමන්විත දූපත් සමූහයක එහි සිටින එකම ශ්රී ලාංකිකයා ලෙස අකමැත්තෙන් වුවද එහි රැඳී සිටීමටයි.
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ රුචිරා රණසිංහගේ සහෝදරයා වන සමීර රණසිංහ කියා සිටියේ, සිය සහෝදරිය නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්ය වියදම් දැරීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා රජය මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
"අක්කා ලංකාවට ගෙන්වා ගන්න අපි වියදම් දරන්න සූදානම්. අපි ඉල්ලන්නේ රජය මේකට මැදිහත් වෙලා අක්කව ලංකාවට ගෙන්වා ගන්න අවශ්ය මැදිහත්වීම කරලා දෙන්න කියලා විතරයි."
"එයා මානසිකවත් ශාරීරිකවත් ගොඩක් දුර්වල වෙලා ඉන්නේ," ඔහු පැවසීය.
රුචිරාගේ පුතා ද මේ වන විට නවසීලන්තයේ වෙසෙන අතර තම මවට ශ්රී ලංකාව බලා යෑමට ඉඩ සලසන ලෙස ඉල්ලා ඔහු විසින් නීතිඥවරයෙකු මාර්ගයෙන් එරට රජයට ඉල්ලීමක් ද කර ඇති බව සමීර රණසිංහ කියා සිටියා.
"අක්කගේ පුතත් වැඩ කරන්නේ නවසීලන්තයේ. එයා නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් නවසීලන්තයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ඒ රටේ රජයට ඉල්ලීමක් කරලා තියෙනවා අම්මට නවසීලන්තය හරහා ට්රාන්සිට් වෙන්න දෙන්න කියලා ලංකාවට. එයා ඒ වෙනුවෙන් හිරේ වුණත් ඉන්නම් කියලා අම්මා කිසිම කරදරයක් නැතිව ලංකාවට යනකම්. මොකක් හරි ප්රශ්නයක් වුණොත් ඒයාගේ වීසා එක වුනත් කැන්සල් කරන්න කියලා ඒ ලියුමෙන් දැනුම් දීලා තියෙනවා. ඒත් මේ කිසිම දෙයකට තවම උත්තරයක් නැහැ."
ඔබට සහයක් අවශ්ය ද?
මානසික සෞඛ්ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්රී ලංකාවේ ආයතන:
ශ්රී ලංකා සුමිත්රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909


































