ක්රිෂ් ගනුදෙනුව : නාමල්ගේ ඇප ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

ඡායාරූප මූලාශ්රය, Getty Images
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (ඔක්තෝබර් 23) නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර සිටියේ ය.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම සැකකාර නාමල් රාජපක්ෂ ගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්රකාශයට පත් කරමින් ප්රධාන මහේස්ත්රාත්වරයා සඳහන් කළේ,"මෙම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීමට අදාළව පැමිණිලි පාර්ශ්වය සහ විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අධිකරණයේ සැලකිල්ලට භාජනය වුණා. දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක සැකකරුවකුට ඇප ප්රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතුයි. එහෙත්, මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලීමේදී ඒවා සුවිශේෂී කරුණු ලෙස පිළිගැනීමට අධිකරණයට හැකියාවක් නැහැ." ඒ අනුව, සැකකරුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව මහේස්ත්රාත්වරයා සිය නියෝගයෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව, විමර්ශනවල ප්රගතිය අධිකරණයට දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළේ, "ස්වාමීනි, මෙම ක්රිෂ් සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ තවත් තැනැත්තියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇය මෙම නඩුවේ හයවන සැකකාරිය ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව, අදාළ සමාගමේ සේවය කළ සේවකයින් දෙදෙනකු සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටිනවා. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින්, ඔවුන් නොබියව සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා.
තවද, සැකකාර නාමල් රාජපක්ෂට අයත් පාර්ලිමේන්තු ලේඛන කිහිපයක් භාරයට ගෙන ඇති අතර, ඒවා අත්අකුරු පරීක්ෂාවකට යොමු කර තිබෙනවා. මෙම නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් ලෙස නම් කර ඇති ඉන්දීය ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අවශ්ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ඉල්ලා සිටීමට අපේක්ෂා කරනවා." එම නිලධාරිනිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ නඩුව අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි.
එහිදී අල්ලස් කොමිසමේ ඉල්ලීමට විරෝධය පළ කරමින් සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි විවෘත අධිකරණයේදී කරුණු දක්වමින්, "මේ සැකකරුවන් අවුරුද්දක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන්න කියලාද ඔබතුමන්ලා ඉල්ලන්නේ? මේක සම්පූර්ණයෙන්ම දේශපාලන මැදිහත්වීම් සහිත නඩුවක්, ස්වාමීනි," යැයි සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සැකකරුවන් නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.


































