ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙළෙඳපොළේ උපත් පාලන පෙති හිඟයට හේතුව කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්රී ලංකාවේ වර්තමානයේ භාවිත වන උපත් පාලන ක්රමවේද අතුරින් බොහෝ කාන්තාවෝ උපත් පාලන පෙති භාවිත කිරීම සිදු කරති.
එලෙස උපත් පාලන පෙති ලබා ගැනීමට ශ්රී ලංකාවේ ප්රධාන ක්රම දෙකක් පවතී.
අදාළ කාන්තාව ජීවත් වන ප්රදේශයේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය හරහා මෙම පෙති ලබා ගැනීමේ හැකියාව පවතින අතර, එසේත් නොමැති නම් ඖෂධ අලෙවි සැලකින් මිලදී ගැනීමට හැකි ය.
විවිධ සන්නාම කිහිපයකින් ඖෂධ අලෙවිසැල් මගින් මෙම පෙති මිලට ගැනීමේ හැකියාව ද පවතී.
කෙසේ වුවත් මාසයකට වැඩි කාලයක් පුරාවට වෙළඳපොළේ මෙම උපත් පාලන පෙති හිඟයක් ඇති වී තිබූ අතර, උපත් පාලනය සඳහා පමණක් නොව මෙම පෙති වෙනත් ලෙඩ රෝග සඳහා ද භාවිත කරන බැවින් ඒවා දිනපතා භාවිතයට ගන්නා කාන්තාවන් හට ඒවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබිණි.
මාසයකට අධික කාලයක් පැවති හිඟය
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ මෙම ඖෂධ භාවිත කරන කාන්තාවන් කිහිප දෙනෙකු ම ප්රකාශ කළේ පසු ගිය මාසවල වෙළඳපොලේ එම ඖෂධ මිලට ගැනීමට සෙවූ නමුත් සොයා ගැනීමට නොහැකි වූ බව යි.
විශේෂයෙන් ම, වෙළඳපොළේ ඇති අවම මිලක් සහිත නිෂ්පාදනයක් වන ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් බෙදාහරිනු ලබන "මිතුරි" නිෂ්පාදනය සැලකිය යුතු කාලයක් වෙළඳපොළේ සොයා ගැනීමට නොහැකි වූ බව එක් කාන්තාවක් පැවසුවා ය.
"මට තියෙන රෝගයක් සඳහා මම මේ පෙති දවස ගානේ ගන්නවා. ගිය මාසේ ගන්න ගියා ම ෆාමසියේ තිබුණේ නෑ. ඊට පස්සේ මම ගොඩක් තැන්වල බැලුවා. ඊට පස්සේ එක තැනක තිබිලා හම්බුණ නිසා කාඩ් 2ක් ම ගත්තා," ඇය පැවසුවා ය.
තවත් කාන්තාවක් පැවසුවේ ඇය භාවිත කළ Diane 35 යන නිෂ්පාදනය ද මේ ආකාරයෙන් ම ඇයට සොයා ගැනීමට නොහැකි වූ බව යි.
බීබීසී සිංහල විසින් මේ සම්බන්ධයෙන් හිඟයක් පවතින්නේදැයි පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් කිහිප දෙනෙක්ගෙන් ම විමසන ලද අතර ඔවුන් පැවසුවේ ඔවුන්ගේ ඔවුන් සතුව ඖෂධ තිබූ බවත්, වෙළඳපොළේ හිඟයක් පවැති බැවින් සාමාන්යයෙන් ඔවුන්ගෙන් උපත් පාලන පෙති ලබා නොගන්නා කාන්තාවන් ද මෙම මාස කිහිපය තුළ ඔවුන්ගෙන් එම ඖෂධ ලබා ගත් බව ය.
'මිතුරි' හිඟයට හේතුව
මෙලෙස වෙළඳපොළේ "මිතුරි" යන නිෂ්පාදනය හිඟ වීමට හේතු විමසා බැලීම සඳහා බීබීසී සිංහල, ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අලෙවි අංශය සම්බන්ධ කරගත් අතර, එහි ප්රකාශයෙකු බීබීසී සිංහල වෙත ප්රකාශ කළේ ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධවල මිල වෙනස් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් හේතුවෙන් ඖෂධ ආනයනය සඳහා අවශ්ය බලපත්රය ලබා ගැනීම සඳහා කාලයක් ගත වීම එම හිඟයට හේතු වූ බව ය.
"හිඟ වුනේ ඇත්තටම ඒ අපිට ලංකාවට මෙඩිසින් එකක් ගේන්න යනකොට ඉම්පෝර්ට් ලයිසන් එකක් ගන්න තියෙනවා. ඒ ඉම්පෝට් ලයිසන් එක තියෙන්නේ මිල බේස් කරලා. ඉතින් ඒ මිල වෙනස් කරන එකත් එක්ක ටික දවසක් ගියා. ඉම්පෝට් ලයිසන් එකක් ගත්තට පස්සේ දැන් අපි ස්ටොක් ගෙන්නුවේ ලංකාවට," එම ප්රකාශකයා පැවසුවේ ය.
"NMRA එකේ මිල නියාමනයක් තියෙනවා... ඒ මිල නියාමනය එක අනුව අපිට ප්රයිස් ඇජස්ට් කරන්න වුණා. ඒ කියන්නේ අපිට විතරක් නෙමෙයි, මම හිතන්නේ කම්පැනි ඔක්කොටම ඒක කරන්න වුණා," ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
මේ නිසා මාසයක පමණ කාලයක් වෙළඳපොළේ ඖෂධය හිඟව පැවති බවත්, මේ වන විට දිවයිනේ සියලු ප්රදේශවල ඖෂධහල් සඳහා බෙදාහැරීම ආරම්භ කර ඇති බවත් එම ප්රකාශකයා පෙන්වා දුන්නේ ය.
'අපේ ස්ටොක් අඩු වුණේ නෑ'
මේ සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල විසින් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි සම්බන්ධ කරගන්නා ලද අතර, ඔහු පැවසුවේ රජය සතුව ඇති තොගවලට මෙයින් බලපෑමක් සිදුව නොමැති බව ය.
"මේකෙන් අපේ ස්ටොක් අඩු වීමක් සිදු වුණේ නෑ. අපට ස්ටොක් තිබුණා. ෆාමසිවල තමයි මේ ප්රශ්නේ ඇති වෙලා තිබුණේ."ඔහු පැවසුවේ ය.
කෙසේවෙතත් මේ වන විට මෙම උපත් පාලන පෙතිවල මිල ගණන් වෙනස් වී ඇති බව ඖෂධහල් කිහිපයකින් සිදු කළ විමසීමකදී දැනගත හැකි විය.
"මිතුරි" නිෂ්පාදනය මීට පෙර රු. 230.00කට අලෙවි වූ අතර, මේ වන විට එහි මිල රු. 130.00කි.
මෙමගින් එහි මිල රු. 100.00කින් අඩු වී තිබේ.
මෙලෙස අනෙකුත් උපත් පාලන පෙති වර්ගවල ද මිල ගණන් අඩු වී තිබෙන බව අප සමග අදහස් දැක්වූ ශ්රී ලංකාවේ ඖෂධහල් ජාලයක සේවය කරන ඖෂධවේදියෙක් කියා සිටියේ ය.
"අපේ ෆාමසි චේන් එකේ ම 'මිතුරි' නැති වුණා. බින්දුව වුණා. දැන් නම් ඇවිල්ලා තියෙනවා. දැන් ඔක්කොම පෙති වර්ගවල ගණන් අඩු වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ."
කෙසේවෙතත් කොළඹින් පිටත දිස්ත්රික්කවල පවතින ඖෂධහල්වලින් ද මෙම ඖෂධ මේ වන විට මිලදී ගැනීමට ප්රමාණවත් තොග තිබෙන්නේදැයි බීබීසී සිංහල විසින් දිස්ත්රික්ක කිහිපයක ඖෂධහල්වලින් විමසීමක් සිදු කරන ලද අතර, කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව වැනි දිස්ත්රික්කවල ඇතැම් ඖෂධහල් ප්රකාශ කළේ ඔවුන්ට තවමත් "මිතුරි" උපත් පාලන පෙති ලැබී නොමැති බව යි.