ඩේසි ෆොරස්ට් තවත් නඩුවකින් නිදහස් කෙරේ; නිදහස් කිරීමට බලපෑ හේතු මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමග චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

එමෙන් ම විත්තිකාර යෝෂිත රාජපක්ෂ අදාළ චෝදනාවලට නිවැරදිකරු බවත් සිය නීතිඥවරයා මාර්ගයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

අධිකරණයේදී සිදුවුණු දේ

මෙම නඩුකරය අද (නොවැ: 03) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, " ස්වාමීනි‍, මෙම නඩුකරයට සමාන තවත් නඩුවක් මෙම අධිකරණයේ අංක 08 අධිකරණයේ විභාග වෙනවා. එම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවකදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නුගේගොඩ දිසා අධිකරණයේ පැවති දේපළ නඩුවකදී මෙම විත්තිකාරියට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බව තීන්දු කරමින් ඇයගේ දේපළ කළමනාකරණය කිරීම සඳහා කළමනාකරුවෙකු පත්කරන ලෙස එම අධිකරණය විසින් නියෝග කර තිබුණා. ඒ අනුව මෙම විත්තිකාරියට මෙම නඩුවට මුහුණ දීම සඳහා සුදුසු මානසික තත්ත්වයක් තිබේ දැයි පරීක්ෂා කර බලා තීරණයක් ගන්නා ලෙසත් ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබුණා. ඒ අනුව මෙම විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් එම පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එම වෛද්‍යවරු සිය වෛද්‍ය වාර්තාව තුළින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම විත්තිකාරියට අධිකරණයට පැමිණීමට හැකියාවක් තිබුණත් නඩුවේදී විත්ති වාචකය ඉදිරිපත් කිරීම සඳහා සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට යි. ඒ අනුව එම විත්තිකාරිය අදාළ නඩුවෙන් මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබුණා. ඒ අනුව කටයුතු කරමින් මෙම නඩුවෙන් ද විත්තිකාරිය මුදාහරින ලෙසත් මා ඉල්ලා සිටිනවා," යනුවෙන් ඉල්ලීමක් කළේ ය.

ඉන් අනතුරුව විත්තිකාර ඩේසි ෆොරස්ට් මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍රය අධිකරණයේ අවසරය මත රජයේ නීතිඥවරයා විසින් සංශෝධනය කරනු ලැබී ය.

ඉන්පසුව එම සංශෝධිත අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවනු ලැබිණි.

එහිදී විතිකාර යෝෂිත රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ, මූලික විරෝධතාවලට යටත්ව එම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කරන බව ය.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත දෙසැම්බර් මස දෙවන දා කැඳවන ලෙසත් නියම කළේ ය.