වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියම වෙයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

අර්ජුන මහේන්ද්‍රන්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි 28 වන දා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැ. 2) නියම කළේ ය.

මෙම නඩුකරය ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්‍රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර කළේ ය.

මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව මෙහිදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළහ.

'විත්ති පාර්ශවය අවශ්‍ය ලේඛන ලබා දෙන්න'

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊළග නඩු දිනයට පෙර විත්ති පාර්ශවය වෙත අවශ්‍ය කරන ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියම කළේ ය.

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා 2027 ජනවාරි මස 28 වන දා කැඳවන ලෙස නියම කර සිටියේ ය.

මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන නම් කර තිබේ.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත.