නාමල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් එක ම මහේස්ත්රාත් ඉදිරියේ අද කැඳවූ හැටි

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
Airbus ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් එහි සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (ඔක්: 28) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය.
මෙම නඩුකරය අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබී ය.
ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි, මෙම නඩුකරය ඔබතුමාගේ අධිකරණය හමුවේ කැඳවන අන්තිම දවස අද යි. මම පසුගිය වතාවේ ඔබතුමාගේ අධිකරණයට දැනුම් දුන්නා, මෙම නඩුකරය ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලීම පැමිණිල්ල විසින් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත්. ඒ අනුව මෙම නඩුකරය කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර අවසන්. ඒ තුළ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඉදිරිපත් කර තිබෙනවා. සාක්ෂිකරුවන් සංඛ්යාව 59ක්. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්රහයේ 195 වන වගන්තිය යටතේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරි පියවර ගත යුතු යි. එම වගන්තිය ප්රකාරව මෙම නඩුවේ විත්තිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ක්රියා කළ යුතු යි. ඒ නිසා සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ, ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත යි. ඒ අනුව විත්තිකරුවන්ට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නොතීසි නිකුත් කරන තෙක් මෙම සැකකරු රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එය තමයි ව්යවස්ථාදායකයේ අරමුණ. ඒ අනුව කටයුතු කිරීම මිස ඔබතුමාට වෙනත් විකල්පයක් නැහැ," යනුවෙන් කියා සිටියේ ය.
ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි, පැමිණිල්ලේ නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයාගේ ස්ථාවරයට මා එකඟ වෙනවා. මෙම සැකකරුට එරෙහිව මේ වන විට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බව දැනුම් දෙනු ලැබුවා. එම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනටමත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. එමනිසා මෙම නඩුකරය කවදා කැඳවයි ද කියලා අපට කියන්න බැහැ. පැමිණිල්ලේ නියෝජ්ය සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළා මෙම නඩුකරයේ කටයුතු අද මෙම අධිකරණයේ අවසන් වන බව. ඒ නිසා ඔබතුමාට තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට අවශ්ය කරන නියෝග නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ අනුව තවදුරටත් ඉදිරියට බලපාන නියෝග නිකුත් නොකරන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් පැවසීය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා, "මෙම සැකකරුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. මෙම නඩුකරයට අදාළව දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්රකාරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක සැකකරුවෙකු නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඞ් භාරයට පත් කළ යුතු යි. එවැනි අවස්ථාවක සැකකරුවෙකුට ඇප ප්රදානය කිරීමට බලය ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක යි. නමුත් මෙම නඩුකරයට අදාළව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙනවා. එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතාව නොපමාව එම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා," යනුවෙන් මහේස්ත්රාත්වරයා නියෝග කර සිටියේ ය.
ඒ අනුව, සැකකරු මේ මස 28 වන දා කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ වාර්තාවක් මේ මස 30 වන දා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය.
එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රඳවා තබා ගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත මහෙස්ත්රාත්වරයා කළ නියෝගයේ සඳහන් විය.
ශ්රී ලංකන් ගුවන් සමාගමට Airbus ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් දා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ක්රිෂ් ගනුදෙනුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීම පිළිබඳව හෙට දින (ඔක්: 28) සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කළේ ය.
නාමල් රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ මෝසමක් අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබී ය.
ඒ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි, මෙම සැකකරුගේ පියා අසූ එක් වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහු අධික විශාද තත්ත්වය නිසා රෝහල්ගත වෙලා නිවසට පැමිණ තිබෙනවා. සැකකරුගේ මවත් බරපතළ හෘද රෝගී තත්ත්වයක පසුවන තැනැත්තියක්. ඇය රෝහල්ගතව සිටිනවා. ඇයට අද පස්වරු හතරට විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම සැකකරු සිටියේ ඔහුගේ මව සහ පියා සමග. තමන්ගේ දෙමාපියන් දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම වැඩිමහල් පුත්රයා ලෙස මෙම සැකකරුට පැවරී තිබෙනවා. මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරුට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපගේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(5) ව්යවස්ථාව ප්රකාරව ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණයකින් වරදකරු කරන තුරු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවෙනවා. අද ඔබතුමාගේ ඉදිරියේ සිටගෙන සිටින සැකකරු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස යි සැලකිය යුත්තේ. යම් පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කළ හැක්කේ, ඔබතුමාට පමණ යි. ඔබතුමා එම බලය වෙනත් අයට උදුරා ගන්න දෙන්න එපා. නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ ඇයි? නීතියට පුද්ගලයෙකුගේ නම, තරාතිරම අදාළ නොවන නිසා තමයි, එසේ කර තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැවොම එක සමාන යි. මේ රජයේ අමාත්යවරයෙකුට අල්ලස් කොමිසමෙන් නඩුවක් ගොනු කළා. එහෙත් එම පුද්ගලයාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේ නෑ. ඔහු උත්සවවල පීත්ත පටි කපනවා. නීතිය සැමට සමානව ක්රියාත්මක විය යුතු යි. භයානක මත්ද්රව්ය නඩුවලදී පවා සානුකම්පිත හේතු මත සැකකරුවන්ට අධිකරණය විසින් ඇප ලබා දෙනවා. ප්රභාකරන් මියගිය පසුව ඔහුගේ මව සහ පියා රජයෙන් රැකබලා ගත්තා. ඒ සානුකම්පිත කරුණු මතයි. අද පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්වීමට පුළුවන්. එම නිසා මෙම සැකකරුගේ මව සහ පියා පත්ව සිටින දැඩි රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගෙන ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මීට වඩා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ ස්වාමීනි. එහෙම කරනව නම් නිර්මාණය කරලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ," යනුවෙන් ප්රකාශ කළ ජනාධිපති නීතීඥ අලි සබ්රි සැකකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි, මෙම මෝසමට අදාළ ලේඛන අල්ලස් කොමිසම වෙත ලැබී නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධ්යයනය කර ලිඛිතව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ස්වාමීනි, අල්ලස් කොමිසම සෑම කෙනෙකුට ම එක ම ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. කිසිදු පුද්ගලයෙකුට විශේෂත්වයක් දක්වා නැහැ," යනුවෙන් සඳහන් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ, මෙම සැකකරුට අදාළ ඇප නියෝගයක් පසුගිය 23 වන දා ප්රකාශයට පත් කළ බවත්, අද දින ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු එදින සුවිශේෂී කරුණු වශයෙන් ඉදිරිපත් නොකළ බව ය.
ඒ අනුව, අද දින ඉදිරිපත් කරන කරුණු මත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණය තීරණය කරන බවත්, ඒ අනුව එම ඇප ඉල්ලීමට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනියට නියෝග කළේ ය.


































