ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය ලෝකයට බලපාන්නේ කෙසේ ද?

මැතිවරණය
Published
කියවීමේ කාලය: මිනිත්තු 7

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙක ම ජය ගනිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලය තුළ කොංග්‍රසයේ පාලන බලය සිය අතට ගෙන තිබේ.

මෙම ප්‍රතිඵලය ඇමෙරිකානු දේශපාලන භූමිකාවේ විශාල වෙනසක් සනිටුහන් කරන අතර, එය ජනාධිපතිවරයා මුහුණ දුන් දැඩි දේශපාලන පසුබෑමක් ලෙස සැලකේ. ඉරානය සමග පැවති යුද්ධය සහ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ අපේක්ෂකයින් පරාජයට පත්වූ බව ට්‍රම්ප් පිළිගෙන තිබේ. ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද, "අපි පැරදුණේ යුද්ධය නිසා," යැයි පවසා ඇත.

යුක්රේනය සහ මැද පෙරදිග යුද්ධවල සිට චීනය සමග වෙළෙඳ සබඳතා ද ඇතුළුව මෙම ප්‍රතිඵල ලෝකයට කුමන ආකාරයේ බලපෑමක් ඇති කළ හැකි ද යන්න පිළිබඳව බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් විමසා බැලීමක් කළහ.

ඉරානය

A police officer monitors traffic as he stands under portraits of Iran's supreme leader, Ayatollah Mojtaba Khamenei

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමේනිගේ ඡායාරූප යට සිටගෙන සිටින පොලිස් නිලධාරියෙක් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පෙබරවාරි මාසයේදී එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් පසු, ඉරානයේ උත්තරීතර නායකයා මහජනයා අතර පෙනී සිට නොමැත

බීබීසී පර්සියානු සේවයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, ගොන්චේ හබීබියාසාද්

ඇමෙරිකානු දේශපාලනයේ සිදුවන වෙනස්කම් මගින් "ඉරානය කෙරෙහි පවතින ඇමෙරිකානු සතුරුකම් වෙනස් වනු ඇතැයි සිතන්නන් "බරපතළ ලෙස මුළාවී" සිටින බව ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසයි.

එමෙන් ම, ඇමෙරිකාව නැවත ඉරානයට ප්‍රහාර එල්ල කළහොත්, "ඊට එරෙහි පළිගැනීම තවත් විශාල පරිමාණයකින් සිදුවනු ඇති" බවට ද ඔහු අනතුරු ඇඟවීය.

2026 පෙබරවාරි 28 වන දා ඇමෙරිකානු-ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගිය තම පියා වූ අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස බලයට පත්වූ මොජ්තබා කමේනි, මාස කිහිපයක සිට ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

ඔහුගේ ඉහත සඳහන් අදහස් ප්‍රකාශ වූයේ, 1979 දී ටෙහෙරානයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අල්ලා ගැනීම සිහිකිරීමේ දිනය වෙනුවෙන් නිකුත් කළ පිටු 6ක ලිඛිත පණිවිඩයකිනි.

ගල්ෆ් කලාපයේ අරාබි රාජ්‍යයන්

Prince Mohammed Bin Salman sitting next to and holding hands with Donald Trump. the two are smiling as they sit in front of a fireplace with golden emblems on it.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ට්‍රම්ප් හමුවූ අවස්ථාවක්
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ෆ්‍රෑන්ක් ගාඩ්නර්, බීබීසී ආරක්ෂක වාර්තාකරු

න්‍යායාත්මකව බලන විට, "ට්‍රම්ප් ව්‍යාපෘතිය" ලැබූ මෙම මැතිවරණ පසුබෑම, වෙනත් කාලයකදී නම් ගල්ෆ් අරාබි රාජ්‍යයන්ට ද පසුබෑමක් ලෙස සැලකීමට ඉඩ තිබිණි.

ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් එම රටවල් බොහොමයක් සමග සමීප පෞද්ගලික සහ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යති.

ඩුබායිහි ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ගොල්ෆ් පිටියක් පිහිටා ඇති අතර, කටාර් රාජ්‍යය ඔහුට ඩොලර් මිලියන 400ක් වටිනා ගුවන් යානයක් තෑගි කර තිබේ. එමෙන් ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ සෞදි අරාබිය එක්ව ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කුෂ්නර්ගේ Affinity Capital සමාගමට ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදුකර ඇත.

2017දී සිය පළමු ජනාධිපති ධූර කාලය ආරම්භ කළ ට්‍රම්ප්ගේ පළමු විදේශ සංචාරය ලෙස තෝරා ගත්තේ, සෞදි අරාබියේ රියාද් නුවර ය.

සෞදි අරාබිය, ට්‍රම්ප්ට පෙර ජනාධිපති වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් සමග පැවතියේ තරමක් අසීරු සබඳතාවකි. 2022 වසරේදී සෞදි ඔටුන්න හිමි කුමරු සමග බයිඩ්න් අසීරුවෙන් සිදුකළ ඒ අතට අත දීම ඔබට මතක ද?

එමෙන් ම, සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් විසින් විෂ වායු භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඔබාමා පාලනය පිළිබඳව ද ගල්ෆ් නායකයින් සැක පහළ කර තිබිණි.

කෙසේ නමුත්, මෙම වසරේ ඉරාන යුද්ධය ට්‍රම්ප් පිළිබඳ ඔවුන්ගේ අදහස් වෙනස් කර තිබේ.

පෙබරවාරි 28 වන දා විශ්ලේෂකයෙකු පවසා ඇත්තේ, "ට්‍රම්ප් ගල්ෆ් කලාපයට ගිනි තැබූ" බව ය. ඉරානය යළි ප්‍රහාර එල්ල කළහොත් එම රටවල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ විය හැකි බවට ද ඔවුන් තුළ තවමත් බියක් පවතී.

People celebrate, some with their arms in the air, as they watch US midterm election results at the Long Center for the Performing Arts.
ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙක්සාස්හි පැවති උත්සවයකදී මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටියදී, ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් අපේක්ෂක ජේම්ස් ටලාරිකෝගේ ආධාරකරුවන් පිරිසක් ප්‍රීති ඝෝෂා නගති

මැතිවරණ ප්‍රතිඵල ඉරානයට බලපාන ආකාරය

රෙබෙකා පීඩර්, බීබීසී වොෂින්ටන් වාර්තාකරු

රිපබ්ලිකන් පක්ෂයේ දැවැන්ත පරාජයට හේතුව ඉරානය සමග පැවති යුද්ධය බව උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි.

මෙම යුද්ධය හේතුවෙන් ඇමෙරිකානුව තුළ ඉන්ධන මිල ඇතුළු බොහෝ අංශවල වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

2024 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ට්‍රම්ප්, පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 2ට අඩු කරන බවට පොරොන්දු විය. නමුත් ඔක්තෝබර් මාසය වන විට සාමාන්‍ය මිල ඩොලර් 4.31 දක්වා ඉහළ ගොස් තිබිණි. එමෙන් ම, තමන් ජනාධිපති ධූරයට නැවත පත්වුවහොත් අලුතෙන් යුද්ධ ඇති නොවන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මැතිවරණයට පෙර දින ඉරාන දූපතකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළ අතර, ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් කියා සිටියේ, එම යුද්ධය ආරම්භ කිරීම ගැන තමන්ට කිසිදු පසුතැවීමක් නොමැති බව ය.

එක්සත් ජනපදය සමග පැවති සාකච්ඡාවලදී ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරුවා මැතිවරණ ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකානු ජනතාව "යුද්ධය ප්‍රතික්ෂේප කර ඇති" බව ය.

කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි පවසා ඇත්තේ, මෙම ප්‍රතිඵල මගින් ඇමෙරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් බලාපොරොත්තු නොවන බව ය.

බීබීසී ඇමෙරිකානු පාර්ශවකරු වන CBS පුවත් සේවය සමග අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, "මම කියන වෙලාවක තමයි මේ ගැටුම අවසන් වෙන්නේ," යනුවෙනි.

චීනය

Chinese President Xi Jinping attends a signing ceremony with Oman's Sultan Haitham bin Tariq at the Great Hall of the People in Beijing
ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ජනාධිපති ෂී, එක්සත් ජනපදය සමග වඩා හොඳ වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අවස්ථාවක් සොයනු ඇත

ලෝරා බිකර්, බීබීසී චීන සේවය

මෙම මැතිවරණ ප්‍රතිඵලය චීනය දකිනු ඇත්තේ, වාසිදායක අවස්ථාවක් ලෙස ය.

බීජිං සහ වොෂිංටනය අතර පවත්නා සබඳතාව මෙම සියවසේ ප්‍රබල බල තරගයක් වන අතර, මේ මාසය අවසානයේදී ට්‍රම්ප් පිළිගැනීමට සූදානම් වන චීන ජනාධිපති ෂී ජින්පිංට මේ මොහොතේ තමන් වඩා ප්‍රබල ස්ථානයක පසුවන බව දැනෙන්නට ඉඩ ඇත.

අඩු මිල චීන භාණ්ඩවලින් ඇමෙරිකානු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් ට්‍රම්ප් චීන ආනයන මත තීරුබදු පැනවීය.

එහෙත්, ෂී ජින්පිං ද ප්‍රතිප්‍රහාර ලෙස විශාල තීරුබදු පැනවීමෙන් එම සැලැස්ම අසාර්ථක විය. එහි ප්‍රතිඵලයක් ලෙස සෙල්ලම් බඩු සහ ඇඳුම් වැනි භාණ්ඩ පවා ඇමෙරිකානුවන්ට මිල අධික විය.

චීනය ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන මිල දී ගැනීම ද නතර කළ අතර, එය ට්‍රම්ප්ගේ සහය වැඩිපුර තිබූ ප්‍රාන්තවල ගොවීන්ට බලපෑවේ ය.

එම වෙළඳ යුද්ධය අවසන් වූයේ ජනවාරි මස අවසානයේදී කල් ඉකුත් වීමට නියමිත සටන් විරාමයකිනි. මධ්‍යවාර මැතිවරණයෙන් පසුව ට්‍රම්ප් තමන්ට සිදුවූ පාඩු පිරිමසා ගැනීමට උත්සහ කරමින්, යම් ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වනු ඇතැයි චීනය සිතනවා විය හැක.

චීනයට මෙම ප්‍රතිඵලය වඩාත් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් වනු ඇතැයි ෂී දකිනු ඇත.

රුසියාව

US President Donald Trump shakes hands with Russian President Vladimir Putin
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී ම එකිනෙකා හමුවී තිබේ

ස්ටීව් රොසෙන්බර්ග්, බීබීසී රුසියානු සේවයේ සංස්කාරක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත්තේ, "ඩොනල්ඩ් ට්‍රම්ප් සාම ප්‍රයත්න ඉදිරියටත් කරගෙන යනු ඇතැයි අපි අවංකව ම බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

ඔහු තවදුරටත් පවසන්නේ, "සාකච්ඡා සඳහා අදහස් තිබෙනවා. ඉක්මනින් ම ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල තවත් වටයක් පැවැත්වෙනවා." ඔහු මෙහිදී අදහස් කරන්නේ ලබන සතියේ අබුඩාබිහි ඇමෙරිකාව, රුසියාව සහ යුක්රේනය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙනි.

තවදුරටත් ඔහු පැවසුවේ, "මෙලනියා ට්‍රම්ප් විසින් සිදු කරන ලද සාර්ථක මානුෂීය සාම ප්‍රයත්නයන් අපි දැක්කා," යනුවෙනි. මෙහිදී ඔහු අදහස් කරන්නේ, රුසියානු ආක්‍රමණයට ලක්ව ඇති ඔලෙෂ්කි (Oleshky) හි මෑතකදී සිදු කෙරුණු මානුෂීය මෙහෙයුමයි.

"මේ සියල්ල දිගට ම පවතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා," යැයි ඔහු තවදුරටත් පවසයි.

කෙසේ වෙතත්, සාම ප්‍රයත්න අසාර්ථක වුවහොත්, මොස්කව් බොහෝවිට ඒ සඳහා යුක්රේනය සහ යුරෝපය වගකිව යුතු බවට චෝදනා කරනු ඇත.

එමෙන් ම, ඩිමොක්‍රටික් පක්ෂය සහ මැතිවරණ ප්‍රතිඵල ද එයට හේතුවක් ලෙස සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත්, ක්‍රෙම්ලින් පාලනය ට්‍රම්ප් සමග ඇති සබඳතාවට විශාල ආයෝජනයක් සිදුකර ඇති බැවින්, ඔහුට ඍජුව චෝදනා කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

ලෝක මාධ්‍යවල අවධානය

The front page of the Tehran Times with a cartoon image in the centre. The cartoon shows a man in a white short with his sleeves rolled up and a red-and-white striped tie hitting a doll-sized Donald Trump on the head with a mallet. Trump is being pushed into a hole in the table. The hole is the same size as 5 other holes on the tabletop, each with a voting card with Vote written on it.  The headline is "Operation Midterms Hammer" and the line beneath it reads, " The Iran war comes home to hit trump at the ballot box".

බීබීසී Monitoring

යුක්රේනයේ, ඉරානයේ සහ මැද පෙරදිග බොහෝ දෙනෙකුට මෙම මධ්‍යවාර මැතිවරණය ඇමෙරිකානු අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා, පවතින ගැටුම්වල අනාගතයට එය බලපාන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ප්‍රශ්නයක් විය.

යුක්රේනයේ විචාරකයන් ට්‍රම්ප්ගේ යුද්ධ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ අතර, "ඔහු ලෝකයේ සියලු යුද්ධ අවසන් කරන බව කිව්වා. නමුත් අන්තිමේදී පැරදුණේ තමන්ගේ ම යුද්ධය යි," මාධ්‍යවේදී රෝමන් ට්සිම්බාලියුක් එලෙස හාස්‍යයෙන් පැවසුවේය.

ඒ අතර, රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් තවදුරටත් ඉලක්ක කෙරෙන බැවින්, ඩිමොක්‍රටික් ජයග්‍රහණය මොස්කව් වෙත එරෙහි දැඩි සම්බාධක සඳහා සහාය වැඩි කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙති.

මොස්කව්හිදී, ට්‍රම්ප්ගේ සාම ප්‍රයත්නය ඉදිරියටත් පැවතිය යුතු බවට ක්‍රෙම්ලින් පාලනය ප්‍රකාශ කළ අතර, ඉදිරි දිනවල රුසියා-යුක්රේන සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් කළේ ය. එහෙත්, රුසියානු යුද හිතවාදීන් අනතුරු අඟවා ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන කොංග්‍රසය විසින් ට්‍රම්ප්ට රුසියාව සමග අනාගත එකඟතා ඇති කර ගැනීමේ හැකියාව සීමා කරනු ලැබ හැකි බව ය.

මේ අතර, ඉරානයේ නායකත්වය සහ රාජ්‍ය අනුබලය ලබන මාධ්‍ය ඩිමොක්‍රටික් ජයග්‍රහණය ට්‍රම්ප්ගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ ජනතා ප්‍රතික්ෂේපයක් ලෙස විග්‍රහ කළහ.

ඉරාන මාධ්‍ය පෙන්වා දුන්නේ ටෙහෙරානය සමග හමුදා ගැටුම්වල දේශපාලන වියදම ඇමෙරිකානු ජනතාව අතර වැඩිවෙමින් පවතින බව ය.

සංස්කරණය: ඉසබෙල් ෂෝ සහ ඇන්ඩෘ වෙබ්, බීබීසී ලෝක සේවය