ඉරාන යුද්ධය මැතිවරණ පරාජයට හේතු වූ බව කියමින් ට්‍රම්ප්ට වෑන්ස්ගෙන් දැඩි විවේචනයක්

ඡායාරූප මූලාශ්‍රය, Evan Vucci-Pool/Getty Images
- Author, ඩැනියෙල් බුෂ්
- Role, වොෂින්ටන් වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඉරාන යුද්ධය හේතුවෙන් සිය පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් පරාජයට පත් වූ බවට ඍජුව ම චෝදනා කරමින් උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් බදාදා වොෂින්ටනයේ දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ ය. එය 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින පසුබිමක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දුරස් වීමට ඔහු ගත් උත්සහයක් ලෙස පුළුල් ලෙස අර්ථකථනය කෙරිණි.
Xහි වචන 600කින් පමණ සමන්විත, ඉතා සැලකිල්ලෙන් සටහන් කරන ලද ප්‍රකාශයක් නිකුත් කරමින් උපජනාධිපතිවරයා පිළිගත්තේ, 2024 මැතිවරණයේදී ට්‍රම්ප්ට ඡන්දය දුන් පිරිස මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඉවත් වී ඇති බව ය.
"අප පරාජයට පත් වුණේ යුද්ධය නිසයි," ඔහු ලිවීය. "ජනාධිපතිවරයා ම ඊයේ රාත්‍රියේ ඒ බව පැවසුවා."
අඟහරුවාදා රාත්‍රියේ සහ බදාදා පැවති සම්මුඛ සාකච්ඡාවලදී ට්‍රම්ප් යුද්ධය සාධාරණීකරණය කළ ද, ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය අත්පත් කර ගැනීමට එය ද බලපෑ බව පිළිගත්තේ ය.
ඉරානය සම්බන්ධයෙන් පවතින යුද්ධය පිළිබඳ වෑන්ස්ගේ ස්ථාවරය වොෂින්ටනයේ ප්‍රසිද්ධ රහසකි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පෙබරවාරි මාසයේදී ටෙහෙරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔහු එම යුද්ධ මෙහෙයුමට අවස්ථා ගණනාවකදී සහය පළ කර ඇති නමුත් පරිපාලනයේ නිලධාරීන් සමග පැවති පෞද්ගලික සාකච්ඡාවලදී ඔහු ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එම මතභේද මෙතෙක් කල් මහජන අවධානයට ලක් නොවිණි.
ට්‍රම්ප් සහ ඔහුගේ පක්ෂය මැතිවරණයෙන් දැඩි පරාජයක් අත්විඳ පැය කිහිපයකට පසු, යුද්ධයට යාමට ගත් තීරණය පැහැදිලි දේශපාලනික වරදක් බව තමන් විශ්වාස කරන බව වෑන්ස් කියා සිටියේය.
"ඉදිරි වසර හය සඳහා සෙනෙට් සභාවේ බලය අහිමි වීම, ඒ වෙනුවෙන් දැරීමට වටිනා මිලක් බව ඔබ තර්ක කිරීමට කැමති නම්, එසේ කරන්න. එය ගෙවීමට වටිනා මිලක් බවට තර්ක කරන්න. ඔබ එකඟ වුවත්, නැතත්, අඩු ම තරමින් එය අවංක ප්‍රකාශයක්" යැයි වෑන්ස් පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එය කැපී පෙනෙන ප්‍රකාශයක් වූ අතර, මෑත කාලීනව ඊට සමාන පූර්වාදර්ශයක් ද නොවීය: ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ මෑතකාලීනව ධූරයේ සිටින උපජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයා සමග ප්‍රධාන විදේශ ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන් මෙතරම් දැඩි ලෙස මතභේදයකට ගිය අවස්ථාවක් සිහිපත් කිරීම දුෂ්කර ය.
ඉන් අනතුරුව ඊටත් වඩා පුදුමසහගත සිදුවීමක් වාර්තා විය: සිය ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගෙන් සාමාන්‍යයෙන් නොසැලෙන පක්ෂපාතීත්වයක් අපේක්ෂා කරන ට්‍රම්ප්, මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමට යුද්ධය "බොහෝ දුරට" බලපෑ බවට වෑන්ස් කළ ප්‍රකාශයට එකඟ විය. එසේ ම, තමන්ට නැවතත් එවැනි ම තේරීමක් කිරීමට සිදු වුවහොත්, යළිත් එම තීරණය ම ගන්නා බව ද ට්‍රම්ප් පැවසීය.
තම උපදේශකයින්ගෙන් පක්ෂපාතීත්වය අගය කරන ට්‍රම්ප්, වෑන්ස් ජනාධිපතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කළහොත් ඔහුට වැඩි නිදහසක් ලබා දීමට ඉඩ ඇති බවට මෙය මුල් අවධියේ ලැබුණු ඉඟියක් විය.
යුද්ධයට දොස් පවරමින් වෑන්ස් පළ කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට ට්‍රම්ප් මෙසේ පැවසීය: "ඒ ගැන ඔහුට හැඟෙන ආකාරය මම දන්නවා. මම හිතන්නේ ඒක හොඳයි. මම යුද්ධයට අවතීර්ණ වූ අවස්ථාවේදීම ඒ බව දැන සිටියා. අපි ඔවුන්ට න්‍යෂ්ටික අවියක් ලබාගැනීමට තිබූ හැකියාව වැළැක්වූවා. ඔවුන්ට කිසිදාක න්‍යෂ්ටික අවියක් හිමි නොවනු ඇති."
වෑන්ස්ගේ ප්‍රකාශය "ට්‍රම්ප්ගෙන් තමන්ව වෙන් කර පෙන්වීමේ උත්සහයක්" ලෙස පෙනෙන බව උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSIS) විදේශ ප්‍රතිපත්ති විශේෂඥ ඩැනියෙල් බයිමන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ට්‍රම්ප්ට වෙනස් මතයක් ඉදිරිපත් කරමින් ඔහුගෙන් දුරස්ව සිටීම, වෑන්ස් ජනාධිපති ධූරයට තරග කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඉතා සැලකිල්ලෙන් සමබර කරගත යුතු කටයුත්තක් වනු ඇතැයි බයිමන් තවදුරටත් පැවසීය.
වෑන්ස්ගේ සමාජ මාධ්‍ය සටහන තුළ ද එම සමබරතාව දැකගත හැකි විය. උපජනාධිපතිවරයා එහිදී ට්‍රම්ප්ගේ නම ඍජුව සඳහන් නොකළ අතර, මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සිය විශ්ලේෂණයේ වැඩි කොටසක් නම් සඳහන් නොකළ ජනමත විමසුම් සිදුකරන්නන්ගේ අදහස් මත පදනම්ව සිදු කළේ ය.
"තමන් කුමක් කළ යුතු දැයි දැන ගැනීම සඳහා වෑන්ස් 'සුළු පියවරක් තබා තත්ත්වය විමසා බැලුවා'," යැයි රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන උපායමාර්ගිකයෙකු වන ඈෂ්ලි ඩේවිස් බීබීසීයට පැවසීය.
ඉරාන යුද්ධය පිළිබඳ විවේචනයට අමතරව, ඉදිරි ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයක පෙරනිමිත්තක් විය හැකි දේශපාලන මාර්ග සිතියමක් ද වෑන්ස් ඉදිරිපත් කළේ ය. ඡන්දදායකයින් යළි දිනාගැනීම සඳහා පක්ෂයේ උපායමාර්ගය ඔහු කරුණු හතරකින් යුත් සැලැස්මකට සාරාංශ කළේ ය: "1) යුද්ධය අවසන් කිරීම 2) ජීවන වියදම සහ උද්ධමනය කෙරෙහි අවධානය යොමු කිරීම 3) ඇමරිකාවට ප්‍රමුඛත්වය දීම 4) ඊශ්‍රායලය සමග පවතින අපගේ සබඳතාව වෙනස් කිරීම
ජාතික දේශපාලන කරළියට පිවිසි දා සිට වෑන්ස් දැරූ දේශපාලන දැක්මෙන් වැඩි කොටසක් මෙම කරුණු හතරෙන් පිළිබිඹු විය. එමෙන් ම, අනාගත ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී ඔහු ඉදිරිපත් කළ හැකි ප්‍රධාන තර්ක මාලාවක් ලෙස ද එය කියවිය හැකි විය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසීය වෑන්ස්ගේ කාර්යාලය සම්බන්ධ කරගෙන තිබේ.
ඇත්ත වශයෙන් ම, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් වසර දෙකක කාලයක් තිබේ. වෑන්ස් එම මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද, ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැත. ඔහු තවමත් ඒ පිළිබඳව සලකා බලමින් සිටින බව ඔහුගේ සහායකයෝ අවධාරණය කරති.
එමෙන් ම, වෑන්ස් ට්‍රම්ප්ගෙන් කෙතරම් දුරස් වූයේ ද යන්න පිළිබඳව ද විවාදයක් පවතී. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, වෑන්ස් එම ප්‍රකාශය අන්තර්ජාලයට එක් කිරීමට පෙර ට්‍රම්ප්ට පෙන්වා තිබේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ට සිය ස්ථාවරය වෙනස් කර වෑන්ස්ගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් හෝ තමන්ට එරෙහි මත දැරීමක් කිසිසේත් ඉවසන්නේ නැති බව පැහැදිලි කිරීමට ද ඉඩ තිබේ.
2028 වසරේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාගෙන් පසුව කවුරුන් පත්වනු ඇත්දැයි දැකීමට තමා කැමති ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුවන්නේ ඉතා ප්‍රවේශම්සහගත ස්ථාවරයක ය.ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූ බියෝගේ කාර්යභාරය අගය කර තිබුණ ද, තමන් සහය පළ කරන්නේ කවදා ද, එසේත් නැතිනම් සහය පළ කරන්නේ ද යන්න පිළිබඳව කිසිවක් පවසා නැත.
තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා තමන් සහය දෙන්නේ කාට ද යන්න පිළිබඳ අනුමාන කිරීමට ඉඩ සැලසීමෙන් ජනාධිපතිවරයා සතුටක් ලබන බව පෙනේ. (ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබුණ ද) තමන් තුන්වැනි ධූර කාලයක් සඳහා ද ජනාධිපති ධූරයේ රැඳී සිටීමේ අදහසක් මීට පෙර ඔහු ඉදිරිපත් කර තිබිණි.
මධ්‍යවාර මැතිවරණය සම්බන්ධයෙන් වෑන්ස් නිකුත් කළ ප්‍රකාශය අවසානයේ එතරම් වැදගත් සිදුවීමක් නොවීමට ද ඉඩ තිබේ. එසේත් නැතිනම්, එය 2028 ජනාධිපතිවරණ සටනේත්, ට්‍රම්ප්ගෙන් පසු රිපබ්ලිකන් පක්ෂයේ අනාගතය තීරණය කිරීමේ සටනේත් ආරම්භක වෙඩිල්ල වීමට ද ඉඩ තිබේ.
අතිරේක වාර්තාකරණය : නර්ඩින් සාද්



































