ජපාන රැඳවුම් භාරයේදී මියගිය විශ්මාගේ මරණය ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Amnesty International
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
තම පවුලේ ආර්ථිකය නගා සිටුවීමේත්, දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමේත් අහිංසක බලාපොරොත්තු ඇතිව විදේශගත වන සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම කතාව තුළ ඇත්තේ දැඩි කැපවීමකි.
එලෙස උසස් අධ්‍යාපනය හරහා සිය ජීවිතය ජය ගැනීමේ සිහිනයෙන් ජපානය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික තරුණියක වූ විශ්මා සඳමාලිට මුහුණ දීමට සිදුවූයේ මුළු මහත් රටම කම්පාවට පත් කළ අවාසනාවන්ත ඉරණමකටයි.
ඇගේ අකල් වියෝව සිදුවී වසර පහකටත් වඩා ගත වී ඇතත්, සත්‍යය හෙළි කර ගැනීම වෙනුවෙන් ඇගේ පවුලේ සාමාජිකයින් ගෙන යන අරගලය තවමත් නිම වී නොමැත. මේ වන විට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) පවා විශ්මාට යුක්තිය ඉටු කරන ලෙසත්, රැඳවුම් මධ්‍යස්ථානවල මානව හිමිකම් තහවුරු කරන ලෙසත් ජපාන රජයෙන් ප්‍රබල ඉල්ලීමක් සිදු කර තිබේ.
ජපානයේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානයකදී විශ්මා සඳමාලිගේ ඛේදනීය මරණය සිදුවී වසර පහකටත් වඩා ගත වී ඇතත් ඇගේ පවුලේ අයට තවමත් සත්‍යය දැනගැනීමේ අයිතිය අහිමි කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.
ඇය මිය යාමට මාසයකට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණ මගින් ඇය නිරාහාරව සිටීම නිසා පීඩා විඳින බවත් වහාම රෝහල් ප්‍රතිකාර අවශ්‍ය බවත් පෙන්නුම් කර තිබියදීත්, ඇයට අත්‍යවශ්‍යව තිබූ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට බලධාරීන් අපොහොසත් වූ බව එම සංවිධානය පෙන්වා දෙයි.
එබැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වගවීම තහවුරු කරන ලෙසත්, ප්‍රධාන සාක්ෂි හෙළි කරන ලෙසත්, මෙවැනි ඛේදවාචක යළි සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ජපාන රජයට බල කරන මෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ප්‍රධාන ඉල්ලීම් තුන
විශ්මා සඳමාලිට යුක්තිය ඉටු කිරීමටත්, ජපානය තුළ සිටින සියලුම සංක්රමණිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් ජපාන අධිකරණ අමාත්‍ය තකාෂි යමෂිතා සහ ආගමන සේවා ඒජන්සියේ අධ්යක්ෂ තකුජි නිෂියාමා වෙත පහත සඳහන් ඉල්ලීම් තුන ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.
පළමුව, විශ්මා සඳමාලිගේ පවුලේ අයට සත්‍යය දැනගැනීමට ඇති මූලික අයිතියට ගරු කරමින්, ඇගේ මරණයට අදාළ සියලුම CCTV දර්ශන සහ අනෙකුත් අදාළ ලියකියවිලි වෙත ප්‍රවේශ වීමට ඔවුන්ට ඵලදායී අවස්ථාවක් ලබා දීමට බලධාරීන් වහාම කටයුතු කළ යුතු බවත්;
දෙවනුව, ඇගේ මරණයට හේතු වූ තත්ත්වයන් පිළිබඳව ආගමන බලධාරීන්ගෙන් පවා ස්වාධීන වූ, අපක්ෂපාතී සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, එහි සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කර මෙම ඛේදවාචකයට වගකිවයුතු සියලු දෙනාට නීතිය මගින් දඬුවම් පැමිණවිය යුතු බවත්;
තෙවනුව, ආගමන රැඳවුම් මධ්‍යස්ථානවල පවතින තත්ත්වයන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කළ යුතුය. රැඳවියන්ට නිසි සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අයිතිය, ආගමන බලධාරීන්ගෙන් ස්වාධීන ආයතනයක් මගින් රැඳවියන්ට සලකන ආකාරය අධීක්ෂණය කිරීම, රැඳවියන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ නිදහස සහ ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් විය යුතු බවත් ය.
විශ්මාට සිදුවූයේ කුමක් ද ?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2017 වසරේ ජුනි මාසයේදී මාස 15ක ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ජපානයට පැමිණි විශ්මා සඳමාලි, 2020 අගෝස්තු මාසයේදී වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් ජපාන බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූවාය.
පසුව නඩු විභාගයක් සහ පිටුවහල් කිරීමක් අපේක්ෂාවෙන් ඇයව මධ්‍යම ජපානයේ නගෝයා හි පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිණි.
2021 ජනවාරි මාසය වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීමට ලක් විය. ආතතිය නිසා ඇති වූ ආමාශ ආබාධයක් හේතුවෙන් වමනය, ඔක්කාරය සහ ආහාර අරුචියෙන් පෙළුණු ඇගේ ශරීර බර කිලෝග්‍රෑම් 20කින් පමණ අඩු වී තිබිණි.
ඉල්ලුම් පත්‍රයක තම නම පවා ලිවීමට නොහැකි තරමට ඇය ශාරීරිකව දුර්වල වී සිටි අතර, වෛද්‍ය පරීක්ෂණ මගින් ඇය නිරාහාරව සිටීම නිසා පීඩා විඳින බවත් වහාම රෝහල් ප්‍රතිකාර සහ සේලයින් ලබා දිය යුතු බවත් තහවුරු වී තිබිණි.
ජීවත් වීමේ දැඩි ආශාවෙන් ඇය නැවත නැවතත් උදව් ඉල්ලා ආයාචනා කළද, ආගමන බලධාරීන් එම බැගෑපත් ඉල්ලීම් නොසලකා හැර ඇති බව පෙනී යන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. අවසානයේ 33 හැවිරිදි විශ්මා 2021 මාර්තු 6 වන දින එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම අවාසනාවන්ත ලෙස මිය ගියාය.
යුක්තිය ඉල්ලා ගෙන යන අඛණ්ඩ සටන
විශ්මාගේ මරණයෙන් වසර පහකට පසුවත් ඇගේ පවුලේ අය සත්‍යය හෙළි කර ගැනීමේ උත්සාහය අත්හැර නොමැත. ඇය මිය යාමට පෙර සති දෙක තුළ රැඳවුම් මධ්‍යස්ථානයේ පටිගත වූ සම්පූර්ණ වීඩියෝ දර්ශන නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් 2026 පෙබරවාරි මාසයේදී ජපාන රජයට එරෙහිව දෙවන නඩුවක්ද ගොනු කළහ.
එහෙත් ආරක්ෂක ගැටලු සහ සම්පත් හිඟකම වැනි හේතු දක්වමින් ජපාන රජය එම දර්ශන ලබා දීම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පෙන්වා දෙන්නේ 1993 වසරේදී තමන් ඉදිරිපත් කළ නිර්දේශවලට වසර 30කට වැඩි කාලයක් ගත වී ඇතත්, ජපානයේ ආගමන රැඳවුම් ක්රමයේ පවතින මූලික ගැටලු තවමත් විසඳී නොමැති බවයි.
දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම, අධිකරණ සමාලෝචනයක් නොමැති වීම සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වේ. රැඳවුම් භාරයේ සිටින පුද්ගලයෙකු මිය ගිය විට ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ගේ පවුල්වලට සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමට රාජ්‍යයන් ජාත්‍යන්තර නීතියට අනුව බැඳී සිටින බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අවධාරණය කරයි.



































