පීට් හෙග්සෙත්ට ඇමෙරිකානු යුද්ධ ලේකම් තනතුර අහිමි වෙයි ද?

    • Author, බ්‍රැන්ඩන් ඩ්‍රෙනන්
    • වාර්තාකරණය, වොෂිංටන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මීළඟ කතානායකවරයා වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන ප්‍රධාන ඩිමොක්‍රටික් නියෝජිතයා, වත්මන් ඇමෙරිකානු යුද්ධ ලේකම් පීට් හෙග්සෙත් තනතුරෙන් ඉවත් කිරීමේ දෝෂාභියෝගයට තමා "පැහැදිලිව ම පක්ෂ වන" බව ප්‍රකාශ කර ඇත.

නිව්යෝර්ක් කොංග්‍රස් මණ්ඩල සභික හකීම් ජෙෆ්රිස් ABC නාලිකාවේ This Week වැඩසටහනට අදහස් දක්වමින් කියා සිටියේ, හෙග්සෙත් සිය බලය අවභාවිත කර ඇති බවත්, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවත්, එමෙන් ම ඉරානය තුළ කිසිදු වගකීමකින් තොර සහ විශාල පිරිවැයක් යන යුද්ධයක් හිතාමතා ම නිර්මාණය කර ඇති බවත් ය.

තනතුරෙන් ඉවත්ව යන රිපබ්ලිකන් කොංග්‍රස් මණ්ඩල සභිකයෙකු මෙන් ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචකයෙකු වන තෝමස් මැසී ප්‍රකාශ කර ඇත්තේ, අද දිනයේ ම හෙග්සෙත් තනතුරෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සැලසුම් කර ඇති බව ය. එමගින් ඔහු ධූරයෙන් ඉවත් කිරීමට මග පෑදිය හැකිය.

පෙන්ටගනය BBC පුවත් සේවයට ප්‍රකාශ කළේ, තමන් නීතියට අනුකූලව කටයුතු කර ඇති බවත්, "ව්‍යාජ පරීක්ෂණ" මගින් හෙග්සෙත් අධෛර්යවත් කළ නොහැකි බවත් ය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වත්මන් ඩිමොක්‍රටික් සුළුතරයේ නායකයා ලෙස කටයුතු කරන ජෙෆ්රිස්, පසුගිය සතියේ පැවති අතුරු මැතිවරණයෙන් ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයෙන් පසු, ලබන ජනවාරි මාසයේදී කොංග්‍රස් මණ්ඩලයේ බලය තම පක්ෂයට ලැබුණු විට කතානායකවරයා බවට පත්වීමට වැඩි ම ඉඩක් ඇති පුද්ගලයා වේ.

"මම හෙග්සෙත්ට එරෙහි යෝජනාවට සම්පූර්ණයෙන් ම පක්ෂ යි," ජෙෆ්රිස් ඉරිදා ABC නාලිකාවට පැවසීය. "පීට් හෙග්සෙත් අනිවාර්යයෙන් ම යා යුතු යි," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

කෙන්ටකි ප්‍රාන්තයේ කොංග්‍රස් මණ්ඩල සභික මැසීගේ යෝජනාවෙහි හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා අටක් ඇතුළත් වේ. 1973 යුද්ධ බලතල පනත යටතේ අවශ්‍ය වන කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඔහු ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ බවට එහි චෝදනා කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඉරිදා හෙග්සෙත් ආරක්ෂා කරමින් කතා කළ අතර, පෙන්ටගනයේ ප්‍රධානියා ඉවත් කිරීමට ඩිමොක්‍රටික් පාර්ශවය කරන ඉල්ලීම්වලට නැවත වරක් විරෝධය පෑවේ ය.

"ඔවුන්ට ඕන වෙලා තියෙන්නෙ ඔහුව දෝෂාභියෝගයකින් ඉවත් කරන්න. ඒක හරි ම අසාධාරණ යි," ට්‍රම්ප් CBS News හි 60 Minutes වැඩසටහනට පැවසීය. "අපිට යුද්ධ දෙකක් තිබ්බා, අපි ඒ දෙක ම දිනුවා. අපි වෙනිසිවෙලාව දිනුවා, අපි ඉරානය දිනුවා."

'ඒක සාර්ථක වෙන්නේ නැහැ'

අලුතින් බලය ලබාගත් ඩිමොක්‍රටික් පාර්ශවය ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාකලාපයන් පාලනය කරන සහ සමතුලිත කරන බලවේගයක් ලෙස කටයුතු කරන බවට ජෙෆ්රිස් ප්‍රතිඥා දී ඇත.

නමුත් අතුරු මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව ඔහු කියා සිටියේ, තම පළමු ධූර කාලය තුළ දෙවතාවක් දෝෂාභියෝගයට ලක්වූ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව නැවත දෝෂාභියෝගයක් ගෙන ඒමට මේ අවස්ථාවේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් සභිකයන් අවධානය යොමු කර නොමැති බව ය.

පසුගිය සතියේ, රිපබ්ලිකන් පක්ෂය සතු බහුතර බලය සහිත ව්‍යවස්ථාදායකයේ අවසාන දින කිහිපය අවසන් වීමට පෙර, පෙන්ටගනයේ නවතම මිලිටරි අයවැය සඳහා අනුමැතිය දෙන ලෙස කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලමින් හෙග්සෙත් විනාඩි හයකට ආසන්න වීඩියෝවක් නිකුත් කළේ ය.

එම වීඩියෝව මගින් ඔහු මැසීගේ දෝෂාභියෝග උත්සහය ගැන අදහස් දක්වමින්, එය "ව්‍යාජ චෝදනා පත්‍රයක්" ලෙස හැඳින්වීය.

"ඔබට පෙනෙනවා ඇති, ඔවුන්ගේ ප්‍රතිපත්ති සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා, බලය ලෙස වෙස්වලාගත් දේශපාලන රංගනයන් කෙරෙහි ඔවුන් තුළ ඇති දැඩි උනන්දුව නිසා ඔවුන් උත්සහ කරන්නේ තම ප්‍රතිවාදීන් විනාශ කරන්න," හෙග්සෙත් පැවසීය.

"මේ සියල්ල පුද්ගල ප්‍රතිරූපය විනාශ කිරීමේ දේශපාලනය විතර යි. ඒක ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව සාර්ථක වුණෙත් නැහැ, මට එරෙහිවත් සාර්ථක වන්නේ නැහැ."

දෝෂාභියෝගය යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කිසියම් නිලධාරියෙකු වැරදි හැසිරීමක් සම්බන්ධයෙන් වරදකරු කිරීමට ඡන්දය දිය හැකි අතර, පසුව සෙනෙට් මණ්ඩලයට එම පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දිය හැකි දුර්ලභ ක්‍රියාවලියකි.

තවත් අතුරු මැතිවරණ තරග කිහිපයක ප්‍රතිඵල ලැබීමට තිබියදී ම, දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට අවශ්‍ය 218 සීමාව සපුරාලමින් ඩිමොක්‍රටික් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 254ක බහුතර බලයක් ඇත.

නමුත් නිලධාරියෙකු ධුරයෙන් ඉවත් කිරීමට සෙනෙට් මණ්ඩලයේ අවශ්‍ය වන තුනෙන් දෙකක බහුතර බලය ඔවුන්ට හිමි නොවන අතර, ඒ සඳහා රිපබ්ලිකන් සභිකයන්ගේ සහය ලබා ගැනීම දේශපාලනිකව ඉතා අපහසු මෙන්ම ඉහළ බාධකයක් වනු ඇත.