2019 සිට 2026 දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමනය: උද්ධමනයෙන් බැට කන ජනතාවට අයවැයෙන් දිය යුතු සහන මොනවා ද?

අතක රඳවාගෙන සිටින මුදල් නෝට්ටු කිහිපයක්
    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

"ආර්ථික අර්බුදයට කලින් කිරිපිටි පැකට් එකක් ගත්තෙ රුපියල් 375කට. දැන් ඒක රුපියල් 1300ක්. ඒ වගේ තමයි හැම දේ ම. හැම දෙයක් ම ගණන් වැඩි වෙලා. ඒත් මගේ මහත්තයාගේ පඩිය වැඩි වෙලා තියෙන්නෙ සුළු ගාණකින්. අපි තාම කන්න බොන්නවත් විදිහක් නැතුව දුක් විඳිනවා."

"ණය ගෙවල, අතමාරු පියවල ඉවර වුණා ම පඩියෙන් තුන් කාලක් විතර ඉවර යි. ඒ අස්සෙ හැම බඩුවක ම මිල වැඩි වෙලා. හැම දා ම ණය වෙවී ජීවත් වෙන්න වෙලා තියෙන්නේ."

"මගේ පුතා ඉස්කෝලෙ ක්‍රිකට් සෙල්ලම් කරනවා. එයාට අන්තිමට බැට් එකක් අරන් දුන්නේ මීට අවුරුදු 6කට කලින්. ඒක ගත්තේ රුපියල් පන් දාස් ගාණකට. දැන් ඒ වගේ බැට් එකක් ගන්න රුපියල් 50,000ක් විතර යනවා. පරණ බැට් එක දෙකට පැළුණා. ඒක අලවගෙන තාමත් පාවිච්චි කරනවා. වෙන කරන්න දෙයක් නෑ අපට. කන්න බොන්න මූලික දේවල් ගත්තා ම පඩිය ඉවරයි."

ඉහත දැක්වෙන්නේ, කුරුණෑගල, බදුල්ල සහ පානදුර පදිංචි මව්වරුන් දෙදෙනෙකුගේ සහ පියෙකුගේ අත්දැකීම් ය.

මේ සියලු මැසිවිලිවලින් පෙනී යන්නේ, ආදායමට සාපේක්ෂව ජීවන වියදම අතිශයින් ඉහළගොස් ඇති බව ය.

'මේ මොහොතේදී උද්ධමනයට යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා' - ජනපති පිළිගනී

අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකා ජනතාව උද්ධමනය නිසා දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව පසුගිය දා පැවති විද්වත් සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ද පිළිගත්තේ ය.

"මේ මොහොතේදී උද්ධමනයට යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. අපේ අපේක්ෂාව තිබුණෙ 5%ට වඩා යටින් උද්ධමනය පවත්වාගෙන යන්න. 2%ත් 7% අතර පහළින් තමයි අපි උද්ධමනය තියා ගන්න ඕන. නමුත් උද්ධමනයට යම් බලපෑමක් ඇති කරල තිබෙනවා. මේ උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට සැප්තැම්බර් මාසෙ ඇවිල්ල තිබෙනවා. ඒකෙන් යම් ප්‍රමාණයකට අපේ රටේ ජනතාව භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දුෂ්කරතාවකට මුහුණ දෙනවා."

එහිදී, ජනාධිපතිවරයා සඳහන් කළේ, මැද පෙරදිග කලාපයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමට ඍජුව බලපෑ බව ය.

උද්ධමනය යනු කුමක් ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම යි. එම මිල ගණන් ඉහළ යන වේගය උද්ධමන අනුපාතය ලෙස හැඳින්වේ. ඕනෑ ම රටක ආර්ථික වර්ධනයට උද්ධමනය ඍජුව බලපායි.

උද්ධමනය ඉහළ යාම වැඩිවීම ආර්ථික වර්ධනයට නුසුදුසු බවත්, උද්ධමනය පහළ යාම ආර්ථික වර්ධනයට යහපත් බවත් ඇතැමෙකු උපකල්පනය කළ ද උද්ධමනය ඍණ අගයක් ගැනීම ආර්ථික වර්ධනයට කිසිසේත් සුදුසු නොවේ.

"උද්ධමනය කියන එකෙන් තේරුම් ගන්න ඕනේ උද්ධමනය අපි අදහස් කරන්නේ මිල මට්ටම් වැඩිවීමේ වේගය, මිල මට්ටම වැඩිවීම හෝ අඩුවීම නෙමෙයි. මිල මට්ටම් වැඩිවීමේ වේගය එතකොට අපිට මතක යි ආර්ථිකය අර්බුදයක් තියෙන කාලේ අපේ මිල මට්ටම් 70%කින් විතර වැඩි වුණා. ඊට පස්සේ ඒක ක්‍රමිකව පාලනය වෙලා ඊට පස්සේ ඕක ඍණ මට්ටමට ආවා. දැන් ඔය දෙක ම හොඳ නැහැ. ඒ කියන්නේ විශාල වශයෙන් වැඩිවීමත් හොඳ නැහැ. අඩු වීමත් හොඳ නැහැ. මොක ද අර උද්ධමනය ඍණ වෙනවා කියලා කියන්නේ අවධමනයක්," වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

"සාමාන්‍ය පරිසරයක් තුළ මිල මට්ටම් ඉහළ යනකොට ආර්ථිකයත් වර්ධනය වෙනවා. මේ දෙක අතර ධනාත්මක සම්බන්ධකමක් තියෙන්න ඕනේ. උදාහරණයකට දැන් අපි මේ උත්සව කාලෙදී භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණා ම මිලත් වැඩි වෙනවා."

2019 වසරේ සිට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාත අගයයන්

2019 වසරේ සිට 2026 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාත අගයයන් පහත වගුවෙන් දැක්වේ.

මෙම වසර කිහිපයේ පැවති උද්ධමන අනුපාත අගයයන් විශ්ලේෂණය කිරීමේදී වසර කිහිපයක සුවිශේෂී අවස්ථා දෙකක් හඳුනාගත හැකි ය.

එක් අවස්ථාවක් වන්නේ, 2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිවෙළින්, 49.72%ක් සහ 16.54%ක් වාර්තා වීම ය.

ඒ සඳහා එවකට පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතු වූ අතර, ආනයන ඇණ හිටීම් මත ඇති වූ භාණ්ඩ හිඟය ඊට ඍජුව බලපෑ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අනෙක් අවස්ථාව වන්නේ, 2024 සහ 2025 යන වසර දෙක තුළ අවධමනයක් හෙවත් ඍණ අගයක් ගැනීම ය.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර භාණ්ඩ හා උපයෝගිතා පිරිවැය පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2026 වසරේදී උද්ධමනය යළිත් ඉහළට

2026 වසරේ ජනවාරි මාසයේ උද්ධමනය 2.3%ක් ලෙස සටහන් වූ අතර, අප්‍රේල් මාසයේ සිට අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කරයි.

  • ජනවාරි - 2.30%
  • පෙබරවාරි - 1.60%
  • මාර්තු - 2.20%
  • අප්‍රේල් - 5.40%
  • මැයි - 5.50%
  • ජූනි - 6.80%
  • ජූලි - 7.30%
  • අගෝස්තු - 8.00%
  • සැප්තැම්බර් - 8.00%
  • ඔක්තෝබර් - 8.30%

උද්ධමනය නිසි අගයක පවත්වාගෙන යාමට අයවැයෙන් රජය කළ යුත්තේ කුමක් ද?

මේ වන විට 8%කට අධික උද්ධමනයකය මුහුණ පා සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා අයවැය යෝජනා හරහා රජය පියවර ගත යුතු බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇති පරිදි 5%ක උද්ධමන අනුපාතයක් පවත්වාගෙන යාමට රජය අවධානය යොමු කළ යුතු බව ය.

"මේ පාර අයවැයෙන් මේ ගැන අවධානය යොමු කළ යුතු යි. ආණ්ඩුවට කරන්න තියෙන්නේ බදු ගැලපීමක් හරහා උද්ධමනය පාලනය කර ගැනීම යි. උදාහරණයක් විදිහට අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති 18%ක වැට් බද්ද අඩු කිරීමෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට ම සහනයක් ලැබෙනවා. වැට් එක 1%කින් අඩු කළත් ජනතාවට ලොකු සහනයක් ලැබෙයි. උද්ධමනය අඩු කරන්න නම් ඒ වගේ පියවර අනුගමනය කළ යුතු යි."