ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල සංචාරකයෙකු ශ්‍රී ලාංකිකයෙකු මුහුදට තල්ලු කරන අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව: අප දන්නේ මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඊශ්‍රායල සංචාරකයෙකු විසින් ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නෙකු බෝට්ටුවකින් මුහුදට තල්ලු කර දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
"ඊශ්‍රායල සංචාරකයින් ශ්‍රී ලාංකික සේවකයෙකු බෝට්ටුවකින් මුහුදට තල්ලු කර දමන අයුරු රූගත කරමින් සිනාසෙයි," යනුවෙන් සඳහන් කරමින් රුසියානු රාජ්‍ය විකාශක RT සිය X ගිණුමේ එම වීඩියෝව පළ කර තිබිණි.
කෙසේ වෙතත්, එය "විහිළුවක් පමණක්" බවත්, අදාළ "සේවකයාට රිදවීමේ හෝ අපහාස කිරීමේ අරමුණක් තමන්ට නොතිබූ" බවත් එම සංචාරකයින් පවසා ඇතැයි ඊශ්‍රායල මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැනියෙල් අම්රාම් උපුටා දක්වමින් RT වාර්තා කර තිබිණි.
ඒ අනුව බීබීසී සිංහල අම්රාම්ගේ X ගිණුම පරීක්ෂා කළ අතර, ඔහු අදාළ සංචාරකයින් සහ ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නා සිටින ඡායාරූපයක් ද පළ කරමින් ඒ පිළිබඳව සඳහන් කර තිබූ බව තහවුරු කර ගත්තේ ය.
"තවත් මාසයකින් අපි හමුදා සේවයට එක්වීමට නියමිතයි. අපි හොඳ ළමයි. මේ තරම් වෛරයකට ලක්වීමට අපි සුදුසු නැහැ," යනුවෙන් ද ඔවුන් පැවසූ බව එම සටහනේ සඳහන් විය.
සිද්ධිය කුමක් ද?
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල තවදුරටත් සොයා බැලීමේදී, අදාළ සංචාරක මගපෙන්වන්නා වන සෙනුර රශ්මිකගේ සහෝදරයා වන කවිඳු සම්බන්ධ කර ගැනීමට හැකි විය. ඔවුහු මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත අය වෙති.
ඔහු ලබා දුන් තොරතුරුවලට අනුව, මෙම සිදුවීම නොවැම්බර් 8 වන දා මිරිස්ස මුහුදේදී සිදුව තිබේ.
මිරිස්ස යනු, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දකුණු වෙරළ තීරයේ පිහිටි කුඩා නගරයකි. එය කොළඹ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටා ඇති අතර, විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයකි.
"ඇත්තට ම කිව්වොත් මේක වරදවා වටහා ගැනීමක්. අපි අවුරුදු ගාණක් තිස්සේ දන්න කට්ටියක්. අපි ඒ ඊශ්‍රායල් සෙට් එක දන්නේ 2018 ඉඳන්. ඒගොල්ලෝ තමයි අපිට උදව් කළේ රෙස්ටුරන්ට් එක දාන්න, බෝට්ටු ගන්න... අපේ රෙස්ටුරන්ට් එකේ නම හැදුවේ ඒගොල්ලෝ. හැම අවුරුද්දේ ම ඒගොල්ලෝ එනවා මෙහෙට. අපි සහෝදරයෝ වගේ ඉන්නේ," සෙනුරගේ සහෝදරයා බීබීසී සිංහල සමග දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් පැවසීය.
"ඉතින් ඒ වෙලාවේ වීඩියෝ කරන ගමන් අපි විනෝද වෙනකොට මල්ලි ඒ ගොල්ලන්ව තල්ලු කරනවා, මල්ලිව ඒගොල්ලෝ උස්සලා වතුරට දානවා... මාව දානවා. අපි නගිනවා ආයෙත්. අපි ජල ක්‍රීඩාවක් ඒ කළේ ඇත්ත ම කිව්වොත්. ඒ අතරතුර එතන ගියපු කෙල්ලෙක් වීඩියෝ කරලා අපි ඉන්න ඊශ්‍රායල් ගෲප් එකේ දානවා, අපි විනෝද වුණා කියලා.
"ඔය ගෲප් එකේ ඉන්න ජාතිවාදය අවුස්සන එක්කෙනෙක් ඔය වීඩියෝ එක අරන් වෙන පැත්තකට හරවනවා ප්‍රශ්නයක් ඇති කරන්න. අපි විනෝදය සඳහා ගත්ත වීඩියෝ එකක්, අන්තිමට ලොකු ප්‍රශ්නයකින් තමයි ඉවර වුණේ," ඔහු තවදුරටත් පැවසීය.
බීබීසීය ඔහු සම්බන්ධ කර ගත් අවස්ථාවේදී සෙනුර සංචාරකයින් පිරිසක් සමග බෝට්ටු සවාරියකට එක්ව සිටි බැවින් ඔහු සමග ඍජුව කතා කිරීමට හැකි වූයේ නැත.
කෙසේ වෙතත්, සිදුවීමෙන් පසුව සෙනුර විසින් පටිගත කරන ලද වීඩියෝවක් ඔහුගේ සහෝදරයා බීබීසීය වෙත ලබා දුන්නේ ය.
එම වීඩියෝවෙන් සෙනුර තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව මෙලෙස අදහස් දක්වයි;
"අපි ළඟදී ටුවර් එකක් ගියා ගෙස්ට්ලා එක්ක. එකේදී පොඩි දෙයක් වුණා. ඒක වැඩිය ගණන් ගන්න එපා. එයාල මම තල්ලු කළා. මම එයාලව තල්ලු කළා. ඒක ගණන් ගන්න එපා. ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. බොරු නිව්ස් එකක් ගිහිල්ලා තියෙන්නේ. එයාලා ගොඩක් දවස් ඉඳන් අපේ යාළුවෝ. අපිට සැලකුවා හොඳට."
RT සිය X ගිණුමේ පළ කළ වීඩියෝවේ දැක්වෙන්නේ සෙනුර බෝට්ටුව මත වාඩි වී බෝතලයකින් ජලය පානය කරමින් සිටින ආකාරයයි. එම අවස්ථාවේ සෙනුර අසල සිටින ඊශ්‍රායල සංචාරකයෙකු ඔහු මුහුදට තල්ලු කර දමන අයුරු ද එහි දැක්වේ. ඒ සමග ම බෝට්ටුවේ සිටින සෙසු පිරිස සිනාසෙන අයුරු ද වීඩියෝවේ සටහන්ව තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝවේ සංස්කරණය නොකළ වීඩියෝව ලබා ගැනීමට බීබීසීය උත්සහ කරමින් සිටින නමුත් මෙතෙක් එය ලබා ගැනීමට නොහැකි වී තිබේ.
එමෙන් ම, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අදාළ සංචාරකයින් සම්බන්ධ කර ගැනීමට ද බීබීසීය උත්සහ කළ අතර සෙනුරගේ සහෝදරයා වන කවිඳු බීබීසීය වෙත පැවසුවේ, අදාළ සංචාරකයින් අද (නොවැ. 10) දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව සිටි බවයි.
"අද තමයි එයාලගේ ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් ගිහිල්ලත් ඇති," කවිඳු පැවසීය.
'අපි මේක ඊශ්‍රායලයට ගිහිල්ලා කළා නම්?'
මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමග ඒ වෙත දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර ඇතැම් පාර්ශව මෙම විදේශිකයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබෙන අයුරු නිරීක්ෂණය විය.
"අපි මේක ඊශ්‍රායලයට ගිහිල්ලා කළා නම් ඒ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නේ. මේකට අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන," එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ෆේස්බුක්හි සටහන් කර තිබිණි.
ඇතැම් පාර්ශව මෙම ක්‍රියාව විවේචනය කර තිබුණේ මෙය "සාමාන්‍ය විහිළුවක් ලෙස ගණන් ගත නොහැකි බවත් මුහුද මැදදී සිදුවන මෙවැනි හදිසි තල්ලු කිරීමකින් නිසා බෝට්ටුවේ එන්ජිමේ ප්‍රොපෙලරයේ ගැටී හෝ දියේ ගිලී බරපතළ ජීවිත හානියක් වුවද සිදුවීමට ඉඩ තිබූ" බව ය.
"ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ, සතෙකු ආහාර හෝ ජලය ලබා ගන්නා අවස්ථාවකදීවත් ඔවුන්ට බාධා නොකළ යුතු බව අපට උගන්වා ඇත. 'හොඳ දරුවන්' යැයි සැලකෙන පිරිසක් තම දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් මෙවැනි දේ ඉගෙනගෙන නොතිබීම ඉතා කණගාටුදායක ය," යනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ඩැනියෙල් අම්රාම්ගේ X සටහනට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබිණි.
පොලිස් විමර්ශනයක්
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඇති වූ ආන්දෝලනය හමුවේ, සිදුවීම සම්බන්ධයෙන් කොටවිල පොලිසිය විමර්ශනයක් සිදු කර තිබේ.
මෙම විදේශිකයන් පිරිස සමග සෙනුර කැස්බෑවන් නැරඹීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර එය "ද්වේශසහගතව කරන ලද ක්‍රියාවක් නොවන" බවට ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
එමෙන් ම, ඔවුන් සිය මිතුරන් බවට ඔහු ප්‍රකාශ කළ බව ද කොටවිල පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.
බීබීසීය සමග අදහස් දැක්වූ අවස්ථාවේදී කවිඳු ද ඒ බව තහවුරු කළේ ය.
"අපි ඒ ගෙස්ට්ලා මෙහේ සංචාරක පොලිසියට එක්කන් ගිහින්, අපි අපේ නිර්දෝෂී බව සහ, අපි මේ දේ කළේ විනෝදයට කියලා කිව්වා."
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් සිදු නොවන බව කොටවිල පොලිසියේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.