ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිව් දෙනෙකුට ජීවිත අහිමි කළ අනුරාධපුර මාරාන්තික බස් අනතුර: මගියෙකු හෙළිකළ අත්දැකීම්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ඒ-9 මාර්ගයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ වැලිඔය මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 70 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
අද (නොවැ:10) පෙරවරු 9.30ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් මැදවච්චිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අනතුර ගැන පොලිසිය පැවසුවේ කුමක් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වවුනියාව දෙස සිට පැමිණි පෞද්ගලික මගී බස් රථයක් පසුකර යාමට උත්සහ දැරූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
"අද උදේ 9.30ට විතර වවුනියාව පැත්තේ ඉඳලා රඹෑව පැත්තට පෞද්ගලික බස් රථයක් ඇවිත් තියෙනවා. ඒ බස් එකට ඉස්සර කරන්න ගිහින් මුලතිව් ඉදලා කොළඹ යන CTB බස් එක ඊට ඉස්සරහින් ආව තවත් CTB එකක හැප්පිලා තියෙනවා.
ඒ අනතුරෙන් දැනට පුද්ගලයින් 04 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඊට අමතරව තවත් මගීන් 70ක් වගේ රෝහල්ගත කරලා තියෙනවා. තුවාල ලබපු අය මේ වෙනකොට අනුරාධපුර ශික්ෂණ රෝහලට යි මැදවච්චිය රෝහලට යි ඇතුළත් කරලා තියෙනවා," එම නිලධාරියා පැවසුවේ ය.
'බස් එක රේස් ගියේ නැහැ'
අනතුරෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලක්ෂාන් නමැත්තෙකු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, එකවර ම තමන් පැමිණි බස් රථය මුහුණට මුහුණලා පැමිණි CTB බස් රථයක ගැටුණු බව ය.
"මේ බස් එක යාපනයට යන ගමන් තිබ්බේ. මම මඩකලපුවෙන් නැග්ගේ මේ CTB බස් එකට වැඩට යන්න. බස් එක හයියෙන් ගියෙත් නැහැ. ඒත් ඉස්සරහින් ආව බස් එක අපේ බස් එකේ හැප්පුණා. මගේ කකුල්වලට ඩැමේජ් වෙලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
'දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළයි'
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ නිමල් ආරියරත්න පැවසුවේ, අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 71ක් දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බව සහ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ය.
තුවාලකරුවන් 61 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේත්, තවත් තුවාලකරුවන් 10 දෙනෙකු පමණ මැදවච්චි රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
"දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 61ක් දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරල යි ඉන්නේ. සමහර රෝගීන් ඉන්නවා අත්, කකුල් වගේ ම ඉල ඇට බිඳීම්වලට ලක්වෙලා. අපි ඔවුන්ට අවශ්‍ය එක්ස් රේ පරීක්ෂණ කරලා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සිදුකරනවා.
මැදවච්චිය රෝහලේ තවත් රෝගීන් 10 දෙනෙක් ප්‍රතිකාර ලබනවා කියලා දැනුම් දීලා තියෙනවා. අනතුරෙන් මියගියපු පුද්ගලයින් 04 දෙනෙක්ගේ සිරුරු රඹෑව රෝහලට ගෙනවිත් තියෙනවා," අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.