රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අද අධිකරණයට පැවසුවේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල දෙසැම්බර් මස 09 වන දා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 11) නියම කළේ ය.

එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම මගින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමිනි.

CID වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවේ කුමක් ද?

මෙම නඩුකරය අද කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම විමර්ශන ගොනු නීතිපතිවරයාගේ විමසීමට භාජනය වී ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පිළිබඳව දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය මෙහිදී ඉල්ලා සිටියා ය.

ඒ අනුව, මෙම නඩුකරය දෙසැම්බර් මස 9 වන දා යළි කැඳවන ලෙස වැඩබලන මහේස්ත්‍රාතරයා එහිදී නියම කළේ ය.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානොත්සවයට සහභාගි වීම තුළින් රුපියල් ලක්ෂ 166ක් රජයේ මුදල් අවභාවිත කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව සැකකාර රනිල් වික්‍රමසිංහ මේ වන විට ඇප මත මුදාහැර තිබේ.