බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගන්නා ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීතිවිරෝධී ඉදිකිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (නොවැ: 11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.

ඒ අනුව මෙම නඩුව නැවත කැඳවීම ජනවාරි 6 දක්වා කල් තබා ඇත.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ 2025 නොවැ. 16 බෞද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් ඉදි කිරීමක් කිරීමෙන් පසු එදින රාත්‍රියේ එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

වෙරළ තීරයේ නීතිවිරෝධී ලෙස බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සහ නීතිවිරෝධී ඉදිකිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය වශයෙන් පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාර බලංගොඩ කස්සප හිමි අද දිනයේ විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටින බව යි.

මෙම නඩුවේ චූදිතයන් වන බලංගොඩ කස්සප හිමි ඇතුළු කණ්ඩායම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන් වහන්සේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.

කස්සප හිමි මාරාන්තික උපවාසයක

මේ අතර, දින තුනක පමණ සිට අනුරාධපුරයේ රුවන්වැලිසෑය ආසන්නයේ රැඳී සිටිමින් සත්‍යග්‍රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමක් මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ ඉල්ලීම් දෙකක් මුල් කරගෙන ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලංගොඩ කස්සප හිමි කියා සිටියේ, මහනායක හිමිවරුන් ඔවුන්ට පොරොන්දු වූ පරිදි කොන්දේසි විරහිතව ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස සහ අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීමට යෝජිත ගැසට්ටුව හකුලා ගන්නා ලෙස ඉල්ලමින් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ බවයි.

කෙසේවෙතත්, මෙම ස්ථානයෙන් මෙම පිරිසට ඉවත් වන ලෙසත් ඔවුන්ගේ කූඩාරම් ආදිය ඉවත් කරගන්නා ලෙසත් පසුගිය නොවැ: 07 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින් අතුරු ආඥාවක් නිකුත් කරනු ලැබ තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට අවනත නොවෙමින් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමකට නොවැ: 29 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න නොවැ. 10 නියෝග කළේ ය.