කොටුව මහේස්ත්‍රාත්ගේ අපහාස පැමිණිල්ල ගැන අලි සබ්‍රි අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (නොවැ: 11) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් ජූනි මස 15 වන දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම නඩු කටයුත්ත ආරම්භ වී ඇති බව පැවසීය.

"තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී අමානුෂික සැලකීම්වලට භාජනය වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට පැමිණිල්ලක් කර තිබුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙකු වශයෙන් ඔහුට මෙවැනි පොදු කාරණා සම්බන්ධයෙන් නිහඬව සිටීමට හැකියාවක් නෑ."

ඒ අනුව අදාළ කාරණය සම්බන්ධයෙන් සිය සේවාදායකයා අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කර ඇති අතර ඒ තුළින් කිසිදු ආකාරයකින් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.

Youtube නාලිකාවකින් ප්‍රචාරය වූ සිය සේවාදායකයාගේ ප්‍රකාශයක් මෙම නඩුකරයට පාදක වී ඇති අතර, එම ප්‍රකාශය ඔහු ජූනි මස 07 වන දා සිදුකර ඇති බව මහෙස්ත්‍රාත්වරයා සිය පැමිණිල්ල තුළින් සදහන් කර තිබෙන බව ඔහු පැවසීය.

එහෙත්, එම ප්‍රකාශය ජූනි මස 07 වන දා සිදුකළ බවට අදාළ යූටියුබ් වීඩියෝව තුළ කිසිදු දිනයක් හෝ දත්තයක් සඳහන් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ නම් සිය සේවාදායකයා එම ප්‍රකාශය ජූනි මස 07 වන දා සිදුකළ බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේ, කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.

සිය සේවාදායකයා සඳහන් කර තිබෙන්නේ, "ශානිගේ අමානුෂික වධකාගාරය" යනාදී කරුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු කිසිදු අවස්ථාවක අධිකරණය වධකාගාරයක් ලෙස ප්‍රකාශ කර නොමැති බවත් කියා සිටියේ ය.

වැඩිදුර කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 03 වන වගන්තිය යටතේ අධිකරණ ආයතනවලට සිදුකරන අපහාස පිළිබඳව පැහැදිලි කර තිබෙන බව පැවසීය.

එහෙත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ විෂය පථයට ඇතුළත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන සිදුකිරීම විධායක ක්‍රියාවන් මිස අධිකරණ ක්‍රියාවන් නොවන බවත් පැවසීය.

සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බව මෙම පැමිණිල්ල තුළ සඳහන් වුව ද පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ විෂය පථයට අයත් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

සිය සේවාදායකයා සිදුකළ ප්‍රකාශය තුළ සඳහන් කර තිබෙන්නේ, ශානි අබේසේකර පිළිබඳව බවත්, මෙම පැමිණිල්ල තුළින් අධිකරණ විෂය පථයට ශානි අබේසේකර ඇතුළත් කිරීමට ක්‍රියා කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

"අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති ප්‍රතිපාදන හඳුන්වා දීමේ අරමුණ අධිකරණය ආරක්ෂා කිරීම යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කටයුතු අධිකරණ විෂය පථයට ඇතුළත් වෙන්නේ නැහැ. මේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ සම්පූර්ණයෙන් ම වැරදි පැමිණිල්ලක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තුළින් අධිකරණ බලය අවභාවිතයට ලක් කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන් ම ද්වේෂසහගත මෙන් ම අත්තනෝමතික ආකාරයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක්," ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ ය.

'එක වාක්‍යයක් සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තිබූ බව මහේස්ත්‍රාත් නිගමනය කරන්නේ කොහොම ද?' - නීතිඥ අලි සබ්රි

ඉන් අනතුරුව තවත් වගඋත්තරකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"අධිකරණයට අපහාස කිරීම යනු බරපතළ චෝදනාවක්. එවැනි චෝදනාවක් මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ කොහොම ද? මෙම පැමිණිල්ල තුළින් පෙනී යන්නේ අධිකරණය සතු බලය පොලිසිය විසින් පවරා ගැනීමට කටයුතු කර තිබෙන ආකාරය යි. සිය සේවාදායකයා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් මෙම නඩුකරයට පාදක වී තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයේ අඩංගු එක් වාක්‍යයක් පමණක් සැලකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් ඔහු තුළ තිබූ බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කරන්නේ කොහොම ද?"

සුරේෂ් සලේ පිළිබඳව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය ගැන පවතින ගෞරවය ඉහළ යමින් පවතින බවත් අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය ඉහළ යමින් තිබෙන බවත්, සිය සේවාදායකයා එම රූපවාහිනී වැඩසටහනේදී අදාළ ප්‍රකාශය කළ බව කී ජනාධිපති නීතිඥවරයා, එසේ නම් ඔහු තුළ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තිබූ බව ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.

අදාළ රූපවාහිනී වැඩසටහනේදී සිය සේවාදායකයා ලබා දුන් පිළිතුරේ කොටසක් පමණක් තෝරාගෙන අපහාසයක් සිදුකර ඇති බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කර ඇති බවත්, එම නිගමනයට එළඹීමේදි මහේස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වශයෙන් ක්‍රියා කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.

මෙම ක්‍රියාවලියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ බලය අවභාවිත කරමින් දුෂ්ට චේතනාවකින් යුතුව කටයුතු කර ඇති බවත්, මේ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි චෝදනා කළේ ය.

ඉන් අනතුරුව තවත් වගඋත්තරකරුවකු වන කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පළකළ ෆේස්බුක් සටහනක් මෙම නඩුකරයට පාදක වී තිබෙන බව සඳහන් කළේ ය.

එම ෆේස්බුක් සටහන් ඉකුත් ජූනි මස 10 වන දා පළකර තිබූ අතර, එය ජූනි මස 11 වන දා ඔහු ඉවත් කරගෙන තිබූ බවත් ඔහු කියා සිටියේ ය.

ඉන්පසුව ජූනි මස 12 වන දා ඒ සම්බන්ධයෙන් ඔහු කොන්දේසි විරහිතව සමාව අයැද සිටිමින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් තවත් ෆේස්බුක් සටහනක් තැබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

සිය සේවාදායකයා තුළ අධිකරණයට අපහාස කිරීමේ මානසිකත්වයක් නොතිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ පිළිබඳව සඳහන් කරමින් සිය සේවාදායකයා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒ අනුව ඔහු මෙම නඩුකරයෙන් නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'පොලිසියට අධිකරණ බලයක් නෑ'

ඉන් අනතුරුව වගඋත්තරකාර අසංක නවරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා මෙම ප්‍රකාශය තුළින් "ශානි අබේසේකරගේ වධකාගාරය" පිළිබඳව සඳහන් කර තිබෙන අතර ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර නොමැති බවත් සඳහන් කළේ ය.

පොලිස් නිලධාරීන් යනු අධිකරණ නිලධාරීන් නොවන අතර, ඔවුන් විධායකය නියෝජනය කරන්නන් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අධිකරණ බලය පොලීසිය වෙත හිමි නොවන බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල වැඩිදුර සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස නියම කෙරිණි.