'යෝෂිතට කොන්දේ අමාරුවක්': මුදල් විශුද්ධිකරණ නඩුවට මොකද වුණේ?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (නොවැම්බර් 12 වැනිදා) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

'දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුගෙන් උපදෙස්'

සිය සේවා දායකයා කොන්දේ ආබාධයකින් පසු වන අතර ඔහුට දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් ලබාදී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ලබන 26 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

රුපියල් ලක්ෂ 730 කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල ඉඩම් කට්ටි පහක් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.