ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2027 අයවැයට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඔබ දැනගත යුතු කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2027 වසර සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් අද (නොවැ: 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින්නේ කුමන තත්ත්වයක ද යන්න සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීම ඉතා වැදගත් ය.
ඉදිරි වසරේ ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය හැඩගැස්වීමට විශාල වශයෙන් බලපාන සාධකයක් වන්නේ අයවැය යි.
උද්ධමනය, දළ දේශීය නිෂ්පාදිතය, රාජ්‍ය ආදායම සහ වියදම්, රාජ්‍ය ණය, විදේශ සංචිත සහ දරිද්‍රතාවය යන කරුණු රටේ ආර්ථික තත්ත්වය තේරුම් ගැනීමට වැදගත් වේ.
උද්ධමනය නැවත ඉහළ යන ලකුණු
2026 වසරේ මුල් මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය සාපේක්ෂව අඩු මට්ටමක පැවතිය ද, වසරේ මැද භාගයේ සිට එය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
ජනවාරි මාසයේ 2.4%ක් වූ උද්ධමනය පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහළ ගියේ ය. මාර්තු මාසයේදී එය නැවත 2.4%ක් වූ අතර, අප්‍රේල් මාසයේදී 4.7% දක්වා ඉහළ ගියේ ය.
ඉන් අනතුරුව උද්ධමනය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. මැයි මාසයේදී 5.4%ක් ද, ජූනි මාසයේදී 6.5%ක් ද වාර්තා විය. ජූලි මාසයේදී එය 7.2%ක් වූ අතර, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී 8.1%ක් ලෙස සටහන් විය. ඔක්තෝබර් මාසය වන විට උද්ධමනය 8.3% දක්වා ඉහළ ගොස් තිබේ.
දළ දේශීය නිෂ්පාදිතය
2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,030ක් ලෙස වාර්තා විය.
එම කාර්තුවේ දළ දේශීය නිර්ෂ්පාදන වර්ධන වේගය, එසේත් නැති නම් ආර්ථික වර්ධන වේගය 4.2%කි. මෙය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මැන බැලීමට වැදගත් දර්ශකයකි.
රජයේ ආදායම සහ වියදම
2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4,002.3ක් බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වර්තාවක දැක්වේ.
එම කාලය තුළ රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,966.9කි.
ඒ අනුව, මෙම කාලසීමාව සඳහා වාර්තා වූ රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, රාජ්‍ය වියදමට වඩා රුපියල් බිලියන 35.4කින් ඉහළ ය.
රාජ්‍ය ණය සහ විදේශ සංචිත
2026 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 95,047ක් ලෙස වාර්තා විය. එනම් බිලියන 95කි.
මේ අතර, 2026 අගෝස්තු මාසය වන විට රටේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9කි.
දරිද්‍රතා රේඛාවෙන් පෙන්වන ජීවන තත්ත්වය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2026 සැප්තැම්බර් මාසයේ ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,742කි.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී, අඩු ම දරිද්‍රතා රේඛා අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එය රුපියල් 16,965කි. ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රුපියල් 19,136කි.