'අලි ඇතුන් පොදු දේපළක්': කාවන්තිස්සගේ නඩුවේදී අධිකරණය දුන් තීරණාත්මක තීන්දුව සහ හෙළිවූ අලුත් සාක්ෂිය

කාවන්තිස්ස ඇතාගේ ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න ගල්ගමුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නට නියෝග කළා ය.

අලියා සහ ඇතා රජයේ පොදු දේපළ පනත යටතට නොගැනෙන බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නැගූ තර්ක ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, අලියා සහ ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බව අධිකරණයේ ස්ථාවරය යැයි ප්‍රකාශ කළා ය.

ඒ අනුව, කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියාට සහ අනෙක් සැකකරුට ඇප ලබා දීමට තම අධිකරණයට අධිකරණමය බලයක් නැති බව ද පැවසූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් දෙදෙනා ම නොවැම්බර් 25 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියා ය.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව බදාදා (නොවැ: 11) මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී, 'Protect Elephant World Global Association' සංවිධානය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන විජිත වික්‍රමනායක සහ සඳගිරි බණ්ඩාර පැවසුවේ, කාවන්තිස්ස දළ ඇතාට පමණක් නොව වර්තමානයේ මෙරට අනෙකුත් අලි ඇතුන්ගේ ජීවිතවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ය.

ඊට හේතුව "යූටියුබ්කරුවන් මුදල් ඉපැයීමේ අරමුණින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම්" බව ද නීතිඥවරු අවධාරණය කළහ.

කාවන්තිස්ස දළ ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බව පෙන්වා දුන් නීතිඥවරු, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින වනජීවී නිලධාරීන්ගේ සහ අධිකරණයේ අවධානය යොමු විය යුතු බව ද කියා සිටියහ.

කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවූ අලුත් ම සාක්ෂිය කුමක් ද?

මේ අතර, කාවන්තිස්ස දළ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිරීක්ෂණ සහිත අතුරු වෛද්‍ය වාර්තාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර අධිකරණයට එවා තිබිණි.

එය කියවා බැලූ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ, මිය ගිය කාවන්තිස්ස ඇතාගේ උදරයේ දකුණු පස තිබූ වෙඩි උණ්ඩවලට අදාළ මූනිස්සම් 3ක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයාගෙන ඇති බව ය.

ඒ අනුව, අදාළ මූනිස්සම් 3 රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා, පැමිණිල්ලේ 3 වන සාක්ෂිය ලෙස නම් කර ඇති සැකකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගෙන ඇති ගිනිඅවි දෙක හා සැසඳේ ද නැද්ද යන්න පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට නියෝග කළා ය.

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කරන අයුරු

'ඇප ලබා දීමට තම අධිකරණයට බලයක් නැහැ'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උදය රාජපක්ෂ පැවසුවේ, මෙම වැටලීම සිදු කළ මෙන් ම සාක්ෂි සටහන් කර ගත් වනජීවී නිලධාරී චතුර ගුණරත්න මෙම පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව සිය විරෝධය පළ කරන බව ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නඩු තීන්දු කිහිපයක් ගෙනහැර දක්වමින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ නීතිඥවරයා, සිය සේවාදායකයින්ට ඇප ලබා දීමට මෙම අධිකරණයට බලය ඇති බැවින් ඔවුන් ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමු කළ මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න ප්‍රකාශ කළේ, අලි ඇතුන් රජයේ පොදු දේපළ පනත යටතට ගැනෙන බව අධිකරණයේ ස්ථාවරය බව ය.

පැමිණිල්ල වෙනුවෙන් ගල්ගමුව වනජීවී අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

'Protect Elephant World Global Association' සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන විජිත වික්‍රමනායක සහ සඳගිරි බණ්ඩාර පෙනී සිටි අතර අලි ඇතුන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර ඉරුගල්බණ්ඩාර පෙනී සිටියේ ය.