කාලගුණයේ වෙනසක්: නොවැම්බර් 14, 15, 16 නිවසින් බැහැරව යාමට පෙර මේ ගැන දැනුවත් වෙන්න

චන්ද්‍රිකා ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

බෙංගාල බොක්ක ආශ්‍රිතව තවත් සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතී ද? තවමත් ඒ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට කල්වැඩි වුවද, කලාපය තුළ නව කාලගුණ පද්ධතියක් වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කරමින් පවතියි.

නොවැම්බර් 13 වැනිදායින් පසු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන පීඩන අවපාතයක් හේතුවෙන්, නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී දිවයිනේ පළාත් රැසකට තද වැසි සහ ක්ෂණික ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පවසයි. මෙම පද්ධතිය දිවයින හරහා ගමන් නොකර නැගෙනහිර වෙරළට ආසන්න මුහුදු තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනු ඇතැයි දැනට පවතින පුරෝකථන මගින් පෙන්නුම් කරයි.

මෙම වර්ධනය වන කැළඹිලි ස්වභාවය ඇති වන්නේ, පසුගිය මාස දෙක තුළ ඇති වූ ප්‍රබල පද්ධති දෙකකට එනම් ඔක්තෝබර් මස අගභාගයේ ඇති වූ 'ඔර්නබ්' සුළි කුණාටුවට සහ නොවැම්බර් මස මුලදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙත කඩා වැදුණු 'මුරසු' චණ්ඩ සුළි කුණාටුවට පසුව වීම විශේෂත්වයකි.

මෙම නව කාලගුණ පද්ධතියේ ආරම්භය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ බීබීසී සිංහල වෙත පැහැදිලි කරමින් කියා සිටියේ නොවැම්බර් 13 වැනිදා වන විට ලංකාවට ඊසාන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

"ඒකත් එක්ක ඊට පස්සේ අපේ නැගෙනහිර වෙරළට කිට්ටු වෙරළ පැත්තෙන් මුහුද දිගේ මේක උතුරු පැත්තට ගමන් කරයි කියලා තමයි දැනට අපේ පුරෝකථනවල තියෙන්නේ," හෙතෙම කියා සිටියේය.

චන්ද්‍රිකා ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ඇතුළු නිල මූලාශ්‍ර සඳහන් කරන පරිදි මෙම කැළඹිලි ස්වභාවය සිකුරාදා වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වීමට ඉඩ තිබේ.

පුරෝකථනය කරන ගමන් මාර්ගය කුමක් ද?

මීට පෙර ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව දිවයින හරහා ගමන් කළද, මෙම නව පද්ධතිය දිවයිනට ඇතුළු නොවී නැගෙනහිර වෙරළට ආසන්න මුහුදු තීරය ඔස්සේ කෙළින්ම උතුරු දෙසට ගමන් කරනු ඇතැයි දැනට පවතින පුරෝකථන පෙන්නුම් කරයි. "මේක දැනට නම් තියෙන පුරෝකථනත් එක්ක ලංකාවට හරහා යන්නේ නැහැ. වෙරළෙම උඩට යාවි කියලා තමයි අපි හිතන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, විවිධ කාලගුණික පුරෝකථන ආකෘති මගින් මෙම පද්ධතිය ගමන් කරන මාර්ගය පිළිබඳව තරමක් වෙනස් දත්ත පෙන්නුම් කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. ඇතැම් ආකෘති මගින් මෙම පද්ධතිය දිවයිනට තරමක් ඈතින් ගමන් කරන බව පෙන්නුම් කළද, තවත් ආකෘති කිහිපයක් පෙන්වා දෙන්නේ එය නැගෙනහිර වෙරළ තීරයට ඉතා ආසන්නයෙන් උතුරු දෙසට ගමන් කරන බවයි. "දැනට මොඩල් කීපයක් පෙන්නනවා ඈතින් යනවා කියලා, තව කීපයක් පෙන්නනවා අපිට කිට්ටුවෙන් උඩට යනවා කියලා... උතුරට යනවා කියලා," යැයි පැවසූ ඔහු, පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වූ පසු එහි නිශ්චිත ගමන් මාර්ගය වඩාත් නිවැරදිව පුරෝකථනය කළ හැකි බව සඳහන් කළේය.

මෙම ගමන් මාර්ගයට අනුව, නොවැම්බර් 14 වැනිදා සිට නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරන මෙම පද්ධතිය නොවැම්බර් 16 වන විට දිවයිනේ උතුරු ප්‍රදේශයට වඩාත් සමීප වෙමින් ඉන්දියානු වෙරළ තීරය දෙසට ගමන් කිරීමට නියමිතය.

යම් හෙයකින් මෙම පද්ධතිය මුහුදු ප්‍රදේශයේදී එක තැන නතර වී වර්ධනය වුවහොත් එය සුළි කුණාටුවක් බවට පත්වීමේ සුළු අවදානමක් පැවතියද, බොහෝ දුරට සුළි කුණාටුවක් නොවී වෙරළ ඔස්සේ උතුරට ගමන් කරනු ඇතැයි දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

'ක්ෂණික ජල ගැලීම් තත්ත්වයන් පවා ඇති විය හැකියි'

මෙම පද්ධතියේ ඍජු බලපෑම නොවැම්බර් 14 වැනිදා සිට 16 දක්වා දිවයිනට බලපෑ හැකි අතර ඒ හේතුවෙන් වර්ෂාපතනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇත.

"14 ඉඳලා වැස්ස වැඩි වෙයි විශේෂයෙන්ම නැගෙනහිර පළාතට. ඊට පස්සේ උතුරු, උතුරු මැද පැත්තට. වයඹ පැත්තටත් ඒක බලපායි," යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට තද වැසි ලැබීමත් සමග ඇතැම් ස්ථානවල ක්ෂණික ජල ගැලීම් තත්ත්වයන් පවා ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

"ටිකක් තද වැසි ලැබෙද්දී, සමහර තැනක ජල ගැලීමක් වෙන්නත් ඉඩකඩක් තියෙනවා," යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

මීට අමතරව, වයඹ දෙසින් හමන සුළං ප්‍රවාහයන් සමඟ ජල වාෂ්ප ඇදී ඒම නිසා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට ද වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.

පද්ධතියේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කාලසටහන

  • වත්මන් තත්ත්වය: නිල මූලාශ්‍ර සඳහන් කරන පරිදි, දකුණු අන්දමන් මුහුද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් මේ වන විට පවතියි.
  • 2026 නොවැම්බර් 13: ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ඇතුළු නිල මූලාශ්‍ර සඳහන් කරන පරිදි, මෙම කැළඹිලි ස්වභාවය සිකුරාදා වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වීමට ඉඩ තිබේ.
  • 2026 නොවැම්බර් 14–15: මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 14 වන විට පැහැදිලි අඩු පීඩන කලාපයක් බවට පත්වනු ඇති බවත්, නොවැම්බර් 15 වන විට එය පීඩන අවපාතයක් දක්වා තීව්‍ර විය හැකි බවත් නිල කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
  • සුළි කුණාටු අවදානම: මෙය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේද යන්න පිළිබඳව කාළගුණ බලධාරීන් මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත. එහි නිශ්චිත ගමන් මග සහ උපරිම තීව්‍රතාව පිළිබඳව කාලගුණ ආකෘති මගින් තවමත් විවිධ දත්ත පෙන්නුම් කරන බව නිල මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරි සති දෙක?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පීඩන අවපාතයේ බලපෑම අවසන් වීමෙන් පසුව ද ඉදිරි සති දෙක තුනක කාලය පුරා, එනම් මෙම මාසය අවසන් වන තෙක්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයෙන් පවතින තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. දැනට පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මෙලෙස වර්ෂාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

"කොහොමත් අපි මේ ඉස්සරහ සති දෙක තුන තුළ වැඩියෙන් වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. තද වැසිත්, සමහර අවස්ථාවල තද වැසි ඉතා කෙටි කාලයකදී පවා ඇතිවෙන්න ඉඩකඩක් තියෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් සාමාන්‍ය අන්තර් මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ තෙත් කලාපීය ප්‍රදේශවලට ද මෙම වර්ෂාව ව්‍යාප්ත වනු ඇත. මීට අමතරව ගෝලීය වශයෙන් පවතින එල්නිනෝ කාලගුණික සාධක ද මෙම කාලසීමාව තුළ තීව්‍ර වර්ෂාපතනයක් ඇති කිරීමට බලපාන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. "නැවතත් ආයේ ඒක අපෙන් ඉවතට ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඉන්ටර් මොන්සූන් වැසි තමයි ආයේ තියෙන්නේ. ඒකෙදි මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක තීව්‍ර වැසි ලැබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අන්තර් මෝසම් කාලගුණික රටාව ලබන මාසයේදී ඊසානදිග මෝසම ආරම්භ වීමත් සමඟ යළිත් වෙනස් වීමට නියමිත අතර, ඒ වන තෙක් කෙටි කාලයක් තුළ ඇදහැලෙන තද වැසි පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවිය යුතුය. කෙසේ වෙතත්, එළඹෙන දෙසැම්බර් මාසයේ සක්‍රීය වන ඊසානදිග මෝසමේදී ද උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය අගයට වඩා මඳක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි දැනට පවතින කාලගුණ පුරෝකථන මගින් අනාවැකි පළ කර තිබේ.

ඊසානදිග මෝසමට මොක ද වෙන්නේ?

මෙම මාසය අවසන් වීමත් සමඟ දැනට පවතින අන්තර් මෝසම් කාලගුණික රටාව නිමාවට පත්වී, ලබන දෙසැම්බර් මාසයේ සිට දිවයිනට ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීය වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

දැනට පවතින අන්තර් මෝසම් සමයේදී නිශ්චිත දිශාවකින් සුළං නොහැමුවද, ඊසානදිග මෝසම ආරම්භ වීමත් සමඟ දිවයිනට ඊසාන දෙසින් සුළං ප්‍රවාහයන් හැමීම ආරම්භ වේ. "එතකොට ඊළඟට ලබන මාසේ අපි ගත්තහම ඊසානදිග මෝසම පටන් ගන්නවනේ. එතකොට මේක ආයේ පාරක් වෙනස් වෙනවා," ඔහු පැහැදිලි කළේය.

මෙවර ඊසානදිග මෝසමේ වර්ෂාපතන රටාව පිළිබඳව දකුණු ආසියානු දේශගුණික දැක්ම සංසදයේ (SASCOF) පුරෝකථන ඇසුරෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය අගයට වඩා මඳක් වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.

විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපානු ඇති අතර, ඇතැම් ස්ථානවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබීමට ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දෙයි. "ඇත්තටම ඊසානදිග මෝසමේ සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇවරේජ්; දෙසැම්බර් මාසේ ගත්තොත් ස්ලයිට්ලි අබව් නෝමල් වගේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඇවරේජ් එකට වඩා චුට්ටක් වැඩියෙන් වගේ," යැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඊසානදිග මෝසම් සමයේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් දැකිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට දෙසැම්බර් මාසය තුළ සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා අඩු වැසි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව පුරෝකථන මගින් පෙන්නුම් කරයි.

"හැබැයි අපේ බස්නාහිර, සබරගමුව පළාත්වල සමහර විට වැස්ස අඩු වෙන්නත් පුළුවන් සාමාන්‍යයට වඩා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

සමස්තයක් ලෙස ගත් කල, ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන පීඩන අවපාතයේ බලපෑම සහ අන්තර් මෝසම් වැසි අවසන් වීමෙන් පසුව, උතුරු සහ නැගෙනහිර කලාප කේන්ද්‍ර කරගනිමින් ඊසානදිග මෝසම සක්‍රීය වනු ඇත.