කොළඹ හදිසියේ ජලයෙන් යටවීමට හේතුව කුමක් ද? එය වළක්වාගත හැකිව තිබුණා ද?

ඡායාරූප මූලාශ්‍රය, Ministry Of Transport, Highways & Urban Development / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
ඉකුත් සිකුරාදා (නොවැ. 6) සවස කෙටි කාලයක් තුළ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ සහ ඒ ආශ්රිත තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය.
"පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසකට" ජලගැලීම් බලපෑ අතර, මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල විය. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑම් ඇති විය.
ඇතැම් ප්‍රදේශවල මෝටර් රථ පවා අර්ධ වශයෙන් ජලයෙන් යට වී තිබූ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයකට ද ජලය ගලා ගොස් තිබිණි.
මෙම ජලගැලීම් තත්ත්වය ඇති වූයේ, ඊට සති කිහිපයකට පෙර කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිරිසිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දී තිබූ පසුබිමක ය.
ඉදිරි කාලයේදී වර්ෂාපතනය ඉහළ යා හැකි බැවින්, වැසි ජලය බැස යාම විධිමත් කිරීම සඳහා මෙම පවිත්‍ර කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසත්, සති දෙකක් ඇතුළත ඒවා අවසන් කර ඉන්පසුව ද අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ඇය ඔක්තෝබර් 13 වැනිදා උපදෙස් දී තිබිණි.
බොහෝ දෙනෙකු චෝදනා කළේ, කොළඹ මහ නගර සභාව කාණු පද්ධතිය සහ ඇළ මාර්ග නිසි පරිදි පිරිසිදු කර නඩත්තු නොකිරීම හේතුවෙන් ජලය බැස යාමට බාධා ඇති වී නගරය මෙලෙස ජලයෙන් යට වූ බව ය.
එම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කළේ, කොළඹ නගරයේ කාණු පද්ධතිය සැලසුම් කර ඇත්තේ "මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දීමට" බව ය.
එහෙත් ඉකුත් සිකුරාදා "මිලිමීටර් 129ක පමණ අසාමාන්‍ය වර්ෂාපතනයක්" වාර්තා වූ අතර, ඒ හේතුවෙන් නගරය පුරා "විශාල ගැටලුවක් මතු වූ" බව ද ඇය පැවසුවා ය.
මෙවැනි පසුබිමක කොළඹ ඇති වූ ජල ගැලීම් තත්ත්වයට හේතු වූ කරුණු මොනවා ද සහ අනාගතයේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර මොනවා ද යන්න පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
කොළඹ නගරය ජලයෙන් යට වුණේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නොවැම්බර් 6 වන දා උදෑසන 8:30 සිට පසුදා (7) උදෑසන 8:30 දක්වා පැය 24ක කාලය තුළ කොළඹ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට මිලිමීටර් 123.3ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න බීබීසී සිංහල වෙත පැවසුවේ, නොවැම්බර් 6 වන දා කෙටි කාලයක් තුළ පැයකට මිලිමීටර් 120 ඉක්මවූ ඉහළ වර්ෂා තීව්රතාවක් ද වාර්තා වූ බව ය.
"එදා සවස 5:40 සිට 6:40 දක්වා පැයක කාලය තුළ මිලිමීටර් 80ත් 98ත් අතර වර්ෂාපතනයක් ඇද හැළී තිබෙනවා," ඔහු සඳහන් කළේ ය.
"ඒ කියන්නේ පැයක් වැනි කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව එයයි."
ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද කොළඹ නගරයට පැයකට මිලිමීටර් 90ක පමණ තීව්රතාවකින් වර්ෂාව ඇද හැළුණු බව ය.
කෙසේ වෙතත්, මෙම වර්ෂාපතනය Cloudburst හෙවත් වලාකුළු පිපිරීමක් ලෙස හැඳින්විය නොහැකි බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. එවැනි තත්ත්වයක් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා තවත් නිරීක්ෂණ අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.
"Cloudburst එකක් වුණා නම්, ඔය ගාණින් නවතින්නේ නැහැ සාමාන්‍යයෙන්. Cloudburst එකකදී මීට වඩා ලොකු ජල ප්‍රමාණයක් ඇද හැළෙනවා."
එවැනි තත්ත්වයකදී ඉතා කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබිය හැකි බව පැහැදිලි කිරීමට ඔහු ජලය පිරවූ බැලූනයක් එකවර පිපිරීමේ උදාහරණය ද ගෙනහැර දැක්වීය.
"මේ වැස්ස වුණත් අපි කාණු පද්ධති කොහොම හදලා තිබුණත් දරා ගන්න අමාරුයි. ඒ තරම් වැස්සක්. ඒ වගේ පොඩි කාලයකදී වැහැපු වැස්ස බැහැ."
මීට අමතරව 'Cloudburst' වැනි තත්ත්වයක් කලින් හඳුනාගැනීමට ඩොප්ලර් රේඩාර් (Doppler Radar) තාක්ෂණය අවශ්‍ය වන අතර, දැනට ලංකාව සතුව එම තාක්ෂණය නොමැති බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එදින මිලිමීටර් 75ට සහ 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිගින් දිගට ම පූර්ව අනාවැකි පළකර තිබුණු බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.
"මොක ද අපි දන්නවා අපි ඉන්නේ ප්‍රබල එල් නිනෝ තත්ත්වයක. ඒ වගේ ම අපි ඉන්නේ දෙවැනි අනතර් මෝසමේ. එතකොට පරණ දත්ත දිහා බැලුවා ම පේනවා දෙවැනි අනතර් මෝසමේ ඔක්තෝබර් - නොවැම්බර් මාස දෙකේ වැස්ස වැඩියි කියලා.
"ඒ අතරින් නොවැම්බර් මාසය ගොඩක් ම වැස්ස වැඩි මාසයක්. මොකද නොවැම්බර් මාසයේ සාමාන්‍යයෙන් සුළි කුණාටු, කැළඹිලි තත්ත්වයන් හැදෙන්න පුළුවන් නේ. එතකොට අපි දිගින් දිගට ම පහුගිය කාලයේ තද වැසි ගැන අනාවැකි පළ කළා."
පවතින වැසි තත්ත්වය තීව්ර වීමට එල් නිනෝ තත්ත්වය හේතුවන බවට ත් මෙවැනි තද වර්ෂාපතනයක් කොළඹට පමණක් නොව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඇදහැලීමේ හැකියාවක් පවතින බවත් ඔහු අනතුරු ඇඟවීය.
කොළඹ නගර සභාව පවසන්නේ කුමක් ද?
කොළඹ නගරය මුලින් වගුරු බිම් ආශ්‍රිතව පිහිටා තිබූ අතර, නගරයේ ජලයෙන් යටවන බොහෝ ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් තුනකට අඩු උසකින් පිහිටි පහත් බිම් බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ බීබීසී සිංහල වෙත පැවසීය. එම ප්‍රදේශවල උස මුහුදු මට්ටමට සාපේක්ෂව මීටර් 1.8ත් 2.7ත් අතර වන බව ද ඔහු සඳහන් කළේ ය.
"මුහුදු මට්ටමේ සිට මීටර් 2.4ක් පමණ උසින් පිහිටි ස්ථාන ආරක්ෂා කර ගැනීමේදී අපට විශාල ගැටලු තිබෙනවා. ඒ පහත් ස්ථාන බොහොමයක් වැසි සමග ජලයෙන් යට වෙනවා.
"හැබැයි ඒ ජලය රැඳී තිබෙන්නේ කෙටි කාලයකටයි. වැස්ස වැහැලා ඉවර වුණාම පැය භාගයක සිට පැයක් ඇතුළත සියලු ජලය බැස යනවා."
ඔහු පෙන්වා දුන්නේ, මුළු වර්ෂාපතන ප්‍රමාණය නගරයේ ඇළ මාර්ග පද්ධතියට බලපෑවත්, ජලාපවහන පද්ධතියේ (කාණු පද්ධතියේ) ක්‍රියාකාරීත්වයට වඩාත් බලපාන්නේ වර්ෂාපතනයේ තීව්‍රතාව බව ය.
කොමසාරිස්වරයා සඳහන් කරන පරිදි, කාණු පද්ධතියේ ජල මට්ටම ඇළ මාර්ගවල ජල මට්ටමට වඩා පහළින් පවතින විට, වැසි ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ බාධාවකින් තොරව ඇළ මාර්ග වෙත ගලා යයි.
එහෙත් අධික වර්ෂාවත් සමග ඇළ මාර්ගවල ජල මට්ටම ඉහළ ගිය විට, කාණු පද්ධතියේ සිට ඇළ මාර්ග වෙත ජලය ගලා යාමට ඇති ගුරුත්වාකර්ෂණ බලපෑම අඩු වේ. ඇතැම් අවස්ථාවලදී ජලය ආපසු කාණු පද්ධතිය දෙසට ගලා ඒමට ද ඉඩ ඇති අතර, එමගින් මාර්ග ජලයෙන් යට විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඇළ මාර්ගවල ජල මට්ටම ඉහළ ගිය විට කාණු පද්ධතියේ ජලය සාමාන්‍ය පරිදි ගුරුත්වාකර්ෂණ බලය යටතේ බැස යාමට නොහැකි වන බව නාගරික කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය. එවැනි අවස්ථාවලදී ජලය පිටතට බැහැර කිරීමට වැඩි පීඩනයක් යෙදීමට සිදු වන බව ද ඔහු සඳහන් කළේ ය.
"ඇළේ වතුර ප්‍රමාණය වැඩි වෙනවා නම්, ඒ වතුර බැහැලා යනවා, හැබැයි ප්‍රෙෂර් කරලා තමයි පිට කරන්න පුළුවන්.
"ඒ කියන්නේ චාලක ශක්තිය අහිමි වන නිසා ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ජලය ඉහළට එසවීමට සිදු වෙනවා. එසේ කිරීමේදී අවශ්‍ය පීඩනය වැඩි වීමත් සමග නැවතත් ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි මේ ධාරිතාව සම්බන්ධ ගැටලුව," ඔහු පැහැදිලි කළේ ය.
ඔහු සඳහන් කරන පරිදි නගරයේ කාණු පද්ධතිය නගර සභාවෙන් කළමනාකරණය කරන අතර ඇළ මාර්ග පද්ධතිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ආයතනය භාරයේ පවතී.
සිකුරාදා වැසි තත්ත්වයේදී ටොරින්ටන් සහ සෙබස්තියන් ඇළ මාර්ගවල ජල මට්ටම මීටර් 1-1.5කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
"වැස්ස පටන් ගත්තේ 5:50ට. උදේ වරුවේ යම් වැසි තත්ත්වයක් තිබිලා තියෙනවා. නමුත් 5:50ට වහැලා, පළවෙනි පැයේදී මිලිමීටර් 90 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබෙනවා. පැය එකහමාරක් වගේ ඇතුළත මිලිමීටර් 130 වගේ ලැබෙනවා."
ඔහු පැවසුවේ, ටොරින්ටන් ප්‍රදේශයට මිලිමීටර් 140ක පමණ වර්ෂාපතනයක් ලැබී තිබූ බවත්, එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වර්ෂාපතන මානයේ සටහන් වී තිබූ බවත් ය.
කොළඹ නගරයේ වැසි ජලය බැහැර කිරීමේ පද්ධතියේ සමස්ත දිග කිලෝමීටර් 467ක් පමණ වන බවත්, එයින් 5%කටත් අඩු ප්‍රමාණයක් පමණක් පැයකදී මිලිමීටර් 101.7ක වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවකට ඔරොත්තු දෙන පරිදි සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
නාගරික ප්‍රදේශවල ස්වාභාවික ජල ගලා යාමේ මාර්ග වෙනස් වී ඇති බැවින්, වැසි ජලය කෘත්‍රිමව සකස් කළ කාණු පද්ධති ඔස්සේ බැහැර කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේ ය. එම කාණු පද්ධතිවලින් විශාල ප්‍රමාණයක් භූගතව පිහිටා තිබේ.
තව ද, කාලයත් සමග කාණුවල අභ්‍යන්තර පෘෂ්ඨවල රළුබව වැඩි වීම හේතුවෙන් ජලය ගලා යාමට ඇති ප්‍රතිරෝධය ඉහළ යා හැකි බව ඔහු පැහැදිලි කළේ ය. එමගින් කාණුවල ජලය බැහැර කිරීමේ ධාරිතාව ද අඩු විය හැකි බව කොමසාරිස්වරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, කොළඹ යනු, ලොව වාර්ෂිකව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන වාණිජ නගරයක් බව ය.
"කොළඹට වසරකට මිලිමීටර් 2,500ත් 2,550ත් අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එම වර්ෂාපතනය කළමනාකරණය කිරීම විශාල අභියෝගයක්. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා. අපි වැඩිදියුණු කිරීම් සිදු කරනවා. අපේ අතින් අඩුපාඩු සිදු වී නැත්තේ නැහැ. අඩුපාඩු තිබෙනවා. මේ වගේ සිදුවීමක් වුණා ම තමයි ඒ අඩුපාඩු තවත් හඳුනාගන්න පුළුවන් වෙන්නේ."
මෙහිදී උද්ගතව ඇති තවත් ගැටලුවක් ලෙස ඔහු පෙන්වා දුන්නේ, මිශ්‍ර අපද්‍රව්‍ය බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම ය.
"අපට අපද්‍රව්‍යවලින් බලශක්තිය නිෂ්පාදනය කරන ස්ථානයක් තිබෙනවා. එතැන මිශ්‍ර අපද්‍රව්‍ය භාර ගන්නවා. නමුත් ඒ ස්ථානය අක්‍රිය වුණා ම අපට මිශ්‍ර අපද්‍රව්‍ය භාර දෙන්න තැනක් නැහැ. ඒ නිසයි අපි නිතර ම ජනතාවගෙන් ඉලන්නේ නිවෙස්වලදී ම කසළ වෙන් කරන්න කියලා.
"නිවෙස්වලදී කසළ වෙන් කිරීමට උනන්දුවක් නොදක්වන ඇතැම් අය ඒ කාර්යය කසළ එකතු කරන පුද්ගලයන්ට ඉතිරි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ පුද්ගලයන් කසළ රක්ෂිතවලට සහ ඇළ මාර්ගවල ඉවුරුවලට බැහැර කරනවා. ඒක මේ ජලගැලීම් තත්ත්වයටත් බරපතළ ලෙස බලපානවා."
කෙසේ වෙතත් කුණු හිරවීම එක් හේතුවක් වුව ද, ජලය බැසගිය පසු පැයකින් පමණ පාරවල් වියළී ගිය බැවින් ප්‍රධාන ම ගැටලුව වූයේ කාණුවල ධාරිතාව මදිවීම බව ඔහු පෙන්වා දුන්නේ ය.
මේ අතර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළේ, කොළඹ නගරයේ මෙවැනි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට අධික වර්ෂාපතනයට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ පවතින ජලාපවහන ගැටලු රැසක් ද බලපා ඇති බව ය.
ජලාපවහන පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධන කටයුතු, ඇළ මාර්ග සහ කාණු පද්ධති අවහිර වන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම්, අධික ජන ඝනත්වය සහ අදාළ රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොපැවතීම එවැනි ගැටලු අතර වන බව එම අමාත්‍යංශය පැවසීය.
මෙවැනි ජලගැලීම් වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක් ද?
කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි තෙත් බිම් මගින් ජලගැලීම් බොහෝ දුරට පාලනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පණ්ඩුක නෙළුවල බීබීසී සිංහල වෙත පැවසීය.
ඒවා මත අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ කුඹුරු ගොඩ කිරීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරියේදී රටේ අනෙක් නාගරික ප්‍රදේශවල ද මෙවැනි ජලගැලීම් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම තත්ත්වය තවත් තීව්ර විය හැකි බව ඔහු සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ ඒ හේතුවෙන්, නාගරික සැලසුම්කරණයේදී අවම වශයෙන් පැයට මිලිමීටර් 100ක ධාරිතාවක වර්ෂාපතනයකට මුහුණ දිය හැකි ලෙස කාණු පද්ධතිය සැකසිය යුතු බව ය.
ජලගැලීම් හේතුවෙන් රථවාහන, ගොඩනැගිලි හා ව්‍යාපාරික ස්ථානවලට සිදුවන හානිය සලකා බලන විට, ජලාපවහන පද්ධති වෙනුවෙන් කරනු ලබන ආයෝජනය ඉතා වාසිදායක බව ඔහු අවධාරණය කළේ ය.
"මේ වගේ වර්ෂාවක් ගැන කලින් කියන්න අමාරුයි. මේ වගේ කාලවලදී තැනින් තැනට වහිනවා. හයියෙන් වහින්නත් පුළුවන්. නමුත් කොයි වෙලාවේ, කොතැනට ද වහින්නේ කියලා කියන්න අපිට තාක්ෂණය නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් පුත්තලමේ හදන ඩොප්ලර් රේඩාර් පද්ධතිය උදව් වෙනවා. ඒක හැදුනා ම මීට වඩා නිවැරදිව අපිට වර්ෂාපතනය ගැන කියන්න පුළුවන් වේවි."
ඊට අමතරව දවසේ මුළු වර්ෂාපතනයට වඩා නගරයකට වැදගත් වන්නේ පැයක වර්ෂාපතන තීව්‍රතාව වන අතර මෙම දත්ත මහජනතාවට සජීවීව බලාගත හැකි පරිදි ප්‍රසිද්ධ කළ යුතු බව ද ආචාර්යවරයා පැහැදිලි කළේ ය.
ඉන් බොහෝ දුරට දේපළ හානි සහ ජීවිත හානි අවම කරගත හැකි වනු ඇතැයි ඔහු කියා සිටියේ ය.
මේ අතර, කොළඹ නාගරික කොමසාරිස්වරයා ද සඳහන් කළේ, අධික වර්ෂාවකදී පාරට බැසීමෙන් වළකින ලෙස හෝ වේලාවට කලින් නිවෙස් බලා යන ලෙස ජනතාවට කලින් දැනුම් දීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව ය.
රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළේ උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ යන මැතිවරණ කොට්ඨාසවල ජල බැසයාමට අවහිරතා පවතින ස්ථාන 60ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ය.
එම ස්ථාන අතරින් ජල ගැලීම් අවදානම ඉහළ සහ ජල බැසයාමට දැඩි අවහිරතා පවතින ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බව එම අමාත්‍යංශය පැවසීය.
ඒ අනුව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත, බම්බලපිටිය හෙයිග් පාර, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර, කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය, කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය, බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්රිත හීන් ඇළ, දෙමටගොඩ ආරාම පාර, මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය සහ ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර ඇතුළු ස්ථාන ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ජල බැසයාමේ අවහිරතා ඉවත් කිරීම සහ ජලාපවහන පද්ධති යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.



































