සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත: කරුණු කිහිපයක් ඉවත් කිරීමට එකඟත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (නොවැ: 09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
එමෙන් ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළ ප්‍රකාශන අයිතිය (Copy Right) පිළිබඳ වැරදි ද එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ප්‍රකාශ කළේ ය.
නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ කුමක් ද?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 26ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබී ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි, මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ සංශෝධන සලකා බැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමු කර කරුණු සාකච්ඡා කළා. එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට එකඟතාව ඇති වුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේ ම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි ඉවත් කිරීමටත් එකඟතාව පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා," යනුවෙන් පැවසීය.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදු කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුන්නේ ය.
තවත් පෙත්සම්කාර පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම සුදුසු බව ය.
ඒ අවස්ථාවේදී සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් තමාගේ ද අවධානය යොමු ව ඇති බව ය.
ඒ පිළිබඳව තමන් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව, මෙම පෙත්සම් විභාග කිරීම අධිකරණය පැයක කාලයක් කල් තබා තිබෙන අතර, ඉන්පසුව නීතිපතිවරයාගේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත ය.


































