දැවැන්ත චිත්‍රපටයකින් යළිත් මතුවූ ලංකාවට රජෙකු, ඉන්දියාවට අසුරයෙකු, තමිල්නාඩුවට දේශපාලන සංකේතයක් වූ රාවණා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සිරාජ්
- Role, බීබීසී දෙමළ සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 11
ඉන්දියාවේ මෙතෙක් නිර්මාණය වූ වැඩි ම පිරිවැයක් දැරූ චිත්‍රපටය ලෙස සැලකෙන, හින්දු ආගමික මහා කාව්‍යයක් වන රාමායණය පදනම් කර ගත් දැවැන්ත සිනමා නිර්මාණයක් ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. වාර්තා අනුව ඩොලර් මිලියන 500ක වියදමින් කොටස් දෙකක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය පිළිබඳ විශාල අපේක්ෂාවක් පවතින අතර, එයට මිශ්‍ර ප්‍රතිචාර ද ලැබෙමින් පවතී.
නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කර ඇති Ramayana: Rise of a Legend මෙම සැලසුම් කර ඇති චිත්‍රපට මාලාවේ පළමු කොටස යි.
රන්බීර් කපූර් මෙහි අයෝධ්‍යාවේ ධර්මිෂ්ඨ කුමාරයා වන ශ්‍රී රාමගේ චරිතය නිරූපණය කරයි. වසර 14ක් සඳහා රාජධානියෙන් පිටුවහල් කරනු ලැබූ ඔහු සිය බිරිඳ සීතා (සායි පල්ලවි) සමග වනගත වෙයි. එහිදී ලංකාවේ දස හිස් රජු වන රාවණා විසින් සීතා පැහැරගනු ලැබේ.
දකුණු ඉන්දියාවේ ජනප්‍රියතම නළුවෙකු වන යෂ් රාවණාගේ චරිතයට පණ පොවයි. අතිශය බලවත් යෝධ සෙන්පතියෙකු වන රාවණාගේ අහංකාරය අවසානයේ ඔහු ශ්‍රී රාම සමග මහා සංග්‍රාමයකට ඇද දමයි. එම වීර කාව්‍යමය සටන ලබන වසරේ නිකුත් කිරීමට නියමිත දෙවන කොටසේ ප්‍රධාන කේන්ද්‍රය වනු ඇත.
මීට පෙර රාමායණය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සහ මෙම නව චිත්‍රපටය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සිනමාවේදී රාවණාගේ කතාව ඉදිරිපත් කරන්නේ සීතා පැහැරගෙන යාමෙන් පසු සිදුවන සිදුවීම් පදනම් කරගෙන ය. නමුත්, මෙම නව චිත්‍රපටයේ රාවණාගේ උපත සහ ඔහුගේ මුල්කාලීන පසුබිම පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව කරුණු සොයා බලා ඇති බව පෙනී යයි.
මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ, ජනප්‍රිය වාල්මිකී රාමායණය පදනම් කරගෙන ය.
මෙම චිත්‍රපටය තිරගත වීම නොවැම්බර් 05 වන දා ආරම්භ කිරීමත් සමග රාවණා සම්බන්ධයෙන් යළිත් දැඩි අවධානයක් යොමු වෙමින් පවතී.
රාමායණ කතාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පදනම් වී ඇතත්, එය ප්‍රචලිතව ඇත්තේ එම රටවල පමණක් නොවේ. තායිලන්තය, මැලේසියාව සහ ලාඕසය වැනි තවත් රටවල් කිහිපයක ම මෙම කතාව ජනප්‍රවාද අතර පවතී. කෙසේ වෙතත්, එම රටවල පවතින රාමායණ කතාන්දර වාල්මිකීගේ රාමායණයට වඩා තරමක් වෙනස් ය. ඉන් බොහෝමයක් කතාවල රාවණා නිරූපණය වන්නේ, අප සාමාන්‍යයෙන් දකින 'දුෂ්ටයෙකු' හෝ 'අසුරයෙකු' ලෙස නොවේ.
ඒ ඒ රටවල රාවණා පිළිබඳව ඇති ආකල්ප ගැන සොයා බැලීමක් මෙහිදී සිදුකෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Prime Focus Studios Monster Mind Creations DNEG
'ලංකාවේ ශ්‍රේෂ්ඨතම රජු'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රාමායණ කතාව රටින් රටට වෙනස් වුව ද, බොහෝ රාමායණ පිටපත්වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් ඇත. එනම්, රාවණා යනු ලංකාව හෝ ලංකාපුරය පාලනය කළ රජු ලෙස හැඳින්වීම යි.
ශ්‍රී ලංකාවේ පිරිසක් රාවණා නමැති රජෙකු නොසිටි බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් පවසන අතර, තවත් පිරිසක් එම මතය බැහැර කරති.
රාවණා සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත වන ජනශ්රැති පර්යේෂක තිලක් කන්දෙගම බීබීසී සිංහල සේවයට පැවසුවේ, අවම වශයෙන් මීට වසර 12,000කට පමණ පෙර ලංකාපුරය ඉන්දියාවට ම බද්ධ වී තිබුණු බව ය.
"ඒ කාලේ ඉන්දියාවේ උඩ කොටසේ සිටි අය සුරයන් ලෙසත්, ඒ කියන්නේ දෙවියන්ගෙන් පැවත එන විදිහට සැලකුවා. රාම ඒ වගේ කෙනෙක්. රාවණා සිටි පහළ කොටසේ අය අසුරයින් විදිහට සැලකුණා. ඒ රාවණා ඉන්දියාවේ පහළ කොටස යි, පසු කාලෙක ලංකාව විදිහට වෙන් වුණ කොටස යි පාලනය කළා. රාවණා තමයි, ලංකාවේ අවසන් අසුර රජු. ඔහු ශක්තීන් 9ක් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි වැඩ කරන්න පුළුවන් වුණා."
"රාවණා තමයි ලංකාව පාලනය කරපු ශ්‍රේෂ්ඨතම රජතුමා. ඒ නිසා රාවණා දෙවි කෙනෙක් විදිහටත් සමහර පිරිස් සලකනවා," තිලක් කන්දෙගම පැවසීය.
'ශ්‍රී ලංකාවේ ගැමියන් අතර පවතින රාවණා වෘත්තාන්තය බොහෝ වෙනස්කම් සහිත යි' - රාවණා පිළිබඳ පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම
ලංකාවේ ඉතිහාසය සහ ජනශ්රැතිය තුළ අතිශය ආන්දෝලනාත්මක මාතෘකාවක් වන රාම-රාවණා පුවත පිළිබඳව අදහස් දක්වන පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ, වර්තමාන සමාජය තුළ රාවණා පිළිබඳව පවතින්නේ, විද්‍යාත්මක සාධකයන්ට වඩා ජනප්රවාදගත ස්වරූපයක් බව ය.
ඔහු ඒ පිළිබඳව පැහැදිලි කරමින් බීබීසී සිංහල වෙත කියා සිටියේ, "ඇත්තෙන් ම ලංකාවේ රාවණා ප්‍රවෘත්තිය පිළිබඳව තියෙන්නේ පුරාවෘත්තයකට වැඩිය, ඒක සාමාන්‍යයෙන් ජනමතකයක් හැටියට යි තියෙන්නේ. අපි ෆෝක්ලෝර් (Folklore) කියලා කියන්නේ, ජනප්‍රවාද කියලා කියන්නේ. එතකොට ඒ මට්ටමේ තමයි ඒ පිළිබඳ දැනුම දැනට තියෙන්නේ," යනුවෙනි.
කෙසේ වුව ද, මෙයින් රාවණා යනු හුදෙක් ජනප්‍රවාදයක් පමණක් යැයි තමන් අදහස් නොකරන බව ද ඔහු අවධාරණය කරයි.
ජනප්‍රවාදයන්හි පවතින ස්වභාවය සහ ඒවායේ ඇති භෞතික සාක්ෂි පිළිබඳ ඌණතාව පිළිබඳව මහාචාර්යවරයා තවදුරටත් කරුණු පැහැදිලි කරයි. ඒ අනුව, පරම්පරාවෙන් පරම්පරාවට මතකය සහ ස්මරණය මගින් රැගෙන එන මෙවැනි වෘත්තාන්තයන් සර්ව සම්පූර්ණයෙන් ම භෞතික සාක්ෂි මගින් සනාථ කිරීම දුෂ්කර කාර්යයකි.
"ජනප්‍රවාද කියලා කිව්වහම ඒවා බොහෝමයක් ඒවාට භෞතිකව ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි හිඟ යි. මොක ද මේවා ස්මරණයෙන් පවත්වාගෙන එන දේවල්නේ, මතකයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන දේවල්. එහෙම පවත්වාගෙන එන සමහර දේවල්වලට භෞතික සාක්ෂි තියෙනවා, ඒත් සමහර දේවල්වලට භෞතික සාක්ෂි සොයා ගන්නත් නෑ," ඔහු කියා සිටියේ ය.
අතීත උගත් සහ සාක්ෂරතාවයෙන් යුත් සමාජය තුළ රාම-රාවණා කතාව ප්‍රචලිත කිරීමට පැවති බාධාවන් සහ ඊට එරෙහිව තිබූ තහංචි පිළිබඳව මහාචාර්ය සෝමදේව කියා සිටියේ ය. ඔහුට අනුව, ලංකාවේ රාජ්‍ය මට්ටමේ හෝ මහා සම්ප්රදායේ ලිඛිත ඉතිහාසය තුළ මෙම චරිතයට නිසි අනුමතියක් ලැබී නොමැත. මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි: "ඓතිහාසික සමාජයේ හිටපු සාක්ෂරතාව තියෙන උගත් අය පිළිඅරගෙන නෑ. මොක ද සමහර තැන්වල තියෙනවා, 'රාම රාවණා කතා නොඉගෙනගත යුතු යි, නොඉගැන්විය යුතු යි' කියලා. එතකොට ඒකට යම්කිසි විදිහේ තහංචියක් තිබිච්ච බව අපට පේනවා... ඇත්ත වශයෙන් ම ලංකාවේ වැඩිපුර ම මේ රාවණා පුවත පිළිබඳ කතා, ඊට සම්බන්ධ තැන්, ඒ වගේ මතකයන් තියෙන්නේ මහජනයා අතර. ඒක විශේෂ දෙයක්".
ඉන්දියාවේ සුප්‍රකට වාල්මිකී රාමායණය හෝ දකුණු ඉන්දියාවේ කම්බන් රාමායණය වැනි සම්භාව්‍ය කෘතීන් සමග සසඳන විට, ශ්‍රී ලංකාවේ ගැමියන් අතර පවතින රාවණා වෘත්තාන්තය බොහෝ වෙනස්කම් සහිත සහ ස්වාධීන මුහුණුවරක් ගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ලාංකීය ජනතාව අතර ඇති රාවණා මතකය ඉන්දීය ආභාසයෙන් නිර්මාණය වූවක් නොවන බව පවසන ඔහු, "අපේ සාමාන්‍ය ජනතාව අතර තිබෙන රාවණා කතාව ඒ එකකින්වත් ආභාසය ලබපු එකක් නෙමෙයි කියලා අපට පේනවා. හුඟක් දෙනා කියන්නේ මේ රාවණා රජතුමා මේ රටේ හිටපු කෙනෙක්... එයා හිටියේ මෙතන, එයා ගමන් කරේ මෙතන," යනුවෙන් ගැමියන් තුළ පවතින ප්‍රකෘති විශ්වාසය ඔහු පැහැදිලි කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වලවේ ගඟ ඉහත්තාවේ පිහිටි 'රාවණාකන්ද' වැනි දුෂ්කර ගැමි ප්‍රදේශවල සිදුකළ ක්ෂේත්‍ර පර්යේෂණ ඇසුරින් මහාචාර්යවරයා පවසන්නේ, සාමාන්‍ය ගැමියන් තමන් ජීවත් වන භූමිය සහ පරිසරය මෙම රාවණා කතාවට සාපේක්ෂව අර්ථකථනය කිරීමට පෙළඹී සිටින බව ය. එම ගැමියන් සාක්ෂරතාවයෙන් තොර වුව ද, පරම්පරාගත මතකයෙන් රාවණා පිළිබඳව කතා කරන අයුරු ඔහු විස්තර කරන්නේ මෙලෙසිනි: "ඒගොල්ලෝ රාමායණය කියවලා නෙමෙයි නේ ඒක දැනගෙන තියෙන්නේ... ඉතින් ඒගොල්ලෝ පෙන්වනවා 'අර අහවල් කන්ද තියෙන්නේ, ඒ කන්දේ කෑල්ලක් ඇවිල්ලා තියෙන්නේ රාවණා රජ්ජුරුවන්ගේ දඬුමොණරය වැදිලා' එහෙම කිය කියා ඒගොල්ලෝ ඔය තමන්ගේ භූමි දර්ශනය ඒ කතාවට සාපේක්ෂව අර්ථදැක්වීමක් කරනවා. ඒගොල්ලෝ කියනවා 'අපේ මුත්තලා, මීමුත්තෝ මේ ගමට ආවේ රාවණා රජ්ජුරුවන්ට ආයුධ හදලා දෙන්න, යකඩ තලන්න," කියලා. එතකොට අපි ඇත්තෙන් ම බැලුවා ම ඒ තැන්වල මේ... පැරණි යකඩ උණුකිරීම පිළිබඳ සාක්ෂි තියෙනවා, යබොර කෑලි අරවා මේවා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
අවසාන වශයෙන්, මහාචාර්ය රාජ් සෝමදේව අවධාරණය කරන්නේ, සමාජයක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි මතවාදයක් පවත්වාගෙන යනු ලබන්නේ නම්, එහි කිසියම් හෝ සත්‍යතාවයේ බීජයක් පැවතිය හැකි බැවින්, එය ක්ෂණිකව බැහැර නොකර විද්‍යාත්මක ගවේෂණයකට ලක් කළ යුතු බව ය.
වෘත්තීය ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් වශයෙන් මේ දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව පවසන ඔහු සිය ස්ථාවරය මෙසේ ලුහුඬින් දක්වයි: "සමාජයක් එහෙම දෙයක් පවත්වාගෙන එන්නේ නෑ සමාජයට ඒකෙන් යම් ප්‍රයෝජනයක් නැත්නම්... රාවණා කියන චරිතය සහ ඒ පිළිබඳව ඇති අතීත කතා, මේවා අසත්‍ය යි කියලා මුලින් ම බැහැර කරනවාට වඩා, ඒවා එසේ ඇති වුණේ ඇයි? ඒවා එසේ පැවතුණේ ඇයි? කියන එක පිළිබඳව හැරිලා බලලා, ඒ ගැන යම්කිසි විදිහේ විද්‍යාත්මක, හැකි තරම් විද්‍යාත්මක ගුණය තියෙන පර්යේෂණයක්, පර්යේෂණ මාලාවක් වගේ කළොත්, මම හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මේ තියෙන ගැටලු සහ සැකමුසු තැන් විසඳගන්න," පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ ය.
තායිලන්තයේ 'රාමකියන්' කාව්‍යය
වාල්මිකී රාමායණය ඇසුරින් නිර්මාණය වූ 'රාමකියන්' කාව්‍යය, සියවස් කිහිපයක ඉතිහාසයක් ඇති තායිලන්තයේ ඉතා වැදගත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස සැලකේ.
තායිලන්ත පදනම (Thailand Foundation) පවසන පරිදි, "රාමකියන් කාව්‍යයේ බලපෑම තායිලන්තය පුරා ම දැකගත හැකි ය. එරට රජවරුන්ගේ, පළාත්වල, වීථිවල සහ වැදගත් ස්ථානවල නම් සඳහා ද එය බලපා ඇත. රාමායණය මුලින් ම තායිලන්තයට පැමිණියේ කවදා ද යන්න පිළිබඳව නිවැරදි වාර්තා නොමැති වුවත්, එය ඉන්දීය වෙළෙන්දන් මාර්ගයෙන් මෙරටට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම 'රාමකියන්' මහා කාව්‍යය තුළ රාවණා හඳුන්වන්නේ 'තොත්සකන්' (Thotsakan) යන නමිනි.
එම කතාවට අනුව, "තොත්සකන් (රාවණා) යනු බලවත් අසුර රජෙකි. ඔහුට කොළ පැහැති සිරුරක්, හිස් දහයක් සහ අත් විසි හතරක් තිබිණි. ඔහු තමාගේ හදවත මායා පෙට්ටියක සඟවා, එය ඔහුගේ ගුරුවරයා වූ කොබුත්රා නමැති ඍෂිවරයාට භාර දී තිබුණේය."
මෙම පිටපතෙහි ඇති සුවිශේෂී ම කරුණක් වන්නේ, රාමකියන් කාව්‍යයට අනුව සීතා යනු තොත්සකන්ගේ ම (රාවණාගේ) දියණිය වීම ය.
"නැං සීදා (සීතා) උපත ලැබුවේ තොත්සකන්ගේ දියණිය ලෙස යි. කෙසේ වෙතත්, ඇය තම පියාට අවාසනාව රැගෙන එන බවට ජ්‍යෝතිෂවේදීන් අනාවැකි පළ කළහ. මේ නිසා, තොත්සකන් ඇයව තමාගේ රාජධානියෙන් පිටුවහල් කළේය."
පසුව, "තොත්සකන් විසින් ඇයව පැහැරගනු ලබන්නේ ඇය තමාගේ ම දියණිය බව නොදැන යි. මෙය ෆ්රා රාම් (රාම) සමග යුද්ධයක් ඇති වීමට හේතු වේ. මෙම යුද්ධය නිසා දෙපාර්ශවයට ම දැඩි ජීවිත හානි සිදු වන අතර, අවසානයේදී තොත්සකන්ගේ ජීවිතය ද අහිමි වේ."
රාමකියන් කාව්‍යය තුළ රාවණාව විස්තර කර ඇත්තේ මේ අයුරිනි.
ඒ.කේ. රාමනුජන් ඔහුගේ නිබන්ධනයේ මෙසේ සඳහන් කරයි: "රාමකියන් කාව්‍යය මගින් රාවණාගේ දක්ෂතා සහ උගත්කම අගය කරනු ලබයි. ඔහු සීතාව පැහැරගෙන යාම දකින්නේ ආදරය ප්‍රකාශ කිරීමක් ලෙස වන අතර, ඒ දෙස බලන්නේ අනුකම්පාවෙනි. රාවණා එක් කාන්තාවක වෙනුවෙන් තමාගේ පවුල, රාජධානිය සහ ජීවිතය පවා පරිත්‍යාග කිරීම තායිලන්ත වැසියන්ගේ සංවේගයට හේතු වේ."
'මැලේසියාවේ 'හිකායත් සේරි රාම' මහා කාව්‍යය
බහුතරයක් මුස්ලිම් ජනගහනයක් වෙසෙන මැලේසියාවේ ප්‍රචලිත, රාමායණයේ මැලේසියානු අනුවර්තනයක් වන 'හිකායත් සේරි රාම' කාව්‍යයෙන් ඉස්ලාම් දහමේ බලපෑම පිළිඹිබු වේ.
මෙම පිටපතට අනුව, හිස් දහයක් සහ අත් විසිහතරක් ඇති අසුරයෙකු වූ රාවණා (මැලේ බසින් ඔහු 'මහරජ රාවණා' හෝ 'රුවානා' ලෙස හඳුන්වයි), රාජධානි හතරක් පාලනය කළේ ය. එනම් මිහිතලය මත ඇති රාජධානියක්, දිව්‍ය රාජධානියක්, සාගරයේ ඇති රාජධානියක් සහ පාතාල ලෝකයේ ඇති රාජධානියක් වශයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුගේ කතාව ආරම්භ වන්නේ ඔහුව නැවකින් ලංකාද්වීපයට (ලංකාපුරි) රැගෙන යාමත් සමග ය. එහිදී ඔහු හිස බිමට හරවා, කකුල් දෙකෙන් ඉහළට එල්ලෙමින් වසර දොළහක් තිස්සේ දැඩි තපස් දිවියක් ගත කරන බව කියවේ.
ඔහු මෙසේ තපස් රකිමින් සිටින අතරතුර, ආදම් ස්වර්ගයේ සිට පෘථිවියට පැමිණෙ යි. එහිදී ඔහුට රාවණා මුණගැසෙන අතර, රාවණා වෙනුවෙන් දෙවියන් වහන්සේ හමුවට ගොස් පෙර සඳහන් කළ රාජධානි හතර ම ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට ආදම් එකඟ වේ. එම ඉල්ලීම එසැණින් ඉටු වේ.
පසුව රාවණා විවාහ වන අතර ඔහුට ඉන්ද්‍රජිත්, පාතාල මහාරායන් සහ ගංගා මහා-සූරි නමින් පුතුන් තිදෙනෙක් වූහ.
ඔහු තම පුතුන් තිදෙනා ස්වර්ගය, පාතාලය සහ සාගරය යන රාජධානි තුනේ රජකම්වල හිඳුවා, ලංකාපුරි රාජධානිය තමා යටතේ තබා ගනී. කෙසේ වෙතත්, මෙම මහා කාව්‍යයට අනුව, රාම සමග ඇති වන යුද්ධය අවසානයේදී රාවණා මිය යන්නේ නැත.
'හිකායත් සේරි රාම' කතාවේ එය මෙසේ විස්තර කෙරේ: "යුද්ධයේදී රාමගේ ඊතල පහරක් වැදීමෙන් රාවණා බිම ඇද වැටෙන අතර ඔහුට නැවත නැගිටීමට නොහැකි වේ. ඉන්පසු රාම, රාවණා අසලට පැමිණ ඔහුව කැබලිවලට කපා දමයි. එසේ වුව ද රාවණා මිය යන්නේ නැත. මේ නිසා රාම ඔහුව එතැන ම දමා, තමාගේ අතිවිශාල සේනාව සමග ලංකාපුරි බලකොටුව වෙත ගමන් කරයි. එහිදී සීතා දේවිය රැඳී සිටින මාලිගයේ සුන්දරත්වය දැක රාම බෙහෙවින් පුදුමයට පත් වේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලාඕසයේ 'ෆ්රා ලක් ෆ්රා ලාම්' මහා කාව්‍යය
ගිනිකොණදිග ආසියාතික රටක් වන ලාඕසයේදී රාවණා නිරූපණය කරන්නේ, වාල්මිකී රාමායණයේ එන හිස් දහයක් ඇති අසුර රජෙකු ලෙස නොව, බෞද්ධ සංස්කෘතික පසුබිමකට ගැලපෙන චරිතයක් ලෙස ය.
මෙම කතාවේ 'ෆ්රා ලක්' යන්නෙන් රාමගේ බාල සොයුරා වන ලක්ෂ්මන ද, 'ෆ්රා ලාම්' යන්නෙන් රාම ද අදහස් කෙරේ. ලාඕස් පිටපතට අනුව රාවණාව හඳුන්වන්නේ, 'හප්කනාසුවාන්' (Hapkhanasouane) යන නමිනි.
1972 දී පළවූ "ෆ්රා ලක් ෆ්රා ලාම්" (The Phra Lak Phra Lam) පොතට අනුව, රාවණා නිරූපණය කර ඇත්තේ සම්පූර්ණයෙන් ම බාහිරින් පැමිණි අසුරයෙකු ලෙස නොව, ෆ්රා ලාම් (රාම) සහ ෆ්රා ලක් (ලක්ෂ්මන) යන අයගේ රාජකීය නෑදෑයකු ලෙස ය.
මෙම කතාවේදී ද සීතාව විස්තර කර ඇත්තේ රාවණාගේ ම දියණිය ලෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"රාවණාගේ දියණියක ලෙස සීතා උපත ලබයි. රාවණාගේ මාලිගයේ සිටින ජ්‍යෝතිෂවේදියා අනාවැකි මගින් පවසන්නේ මෙම දියණිය තම පියාගේ විනාශයට හේතු වන බව යි. මේ නිසා, සීතාව වනාන්තරයට පිටුවහල් කරනු ලැබේ. එහිදී ඇය වනාන්තරයේ වැඩෙන අතර, පසුව ඍෂිවරයෙකු විසින් ඇයව ඇති දැඩි කරනු ලබයි.
"සීතා වැඩිවියට පත්වූ පසු, එහි සිටින ඍෂිවරයා ප්‍රකාශ කරන්නේ එහි ඇති පැරණි දුන්න එසවිය හැකි ඕනෑ ම අයෙකුට ඇයව විවාහ කර දෙන බව යි. සීතා යනු තමාගේ ම දියණිය බව නොදන්නා රාවණා ද මෙම තරගයට ඉදිරිපත් වන නමුත්, එම දුන්න එසවීමට ඔහු අසමත් වේ. අවසානයේදී එම කාර්යය සාර්ථකව නිම කිරීමට හැකි වන්නේ ෆ්රා ලාම්ට (රාමට) පමණි. ඒ අනුව සීතා, ෆ්රා ලාම් හෙවත් රාමාට විවාහ කර දෙනු ලැබේ," යනුවෙන් 'ෆ්රා ලක් ෆ්රා ලාම්' මහා කාව්‍යයෙහි විස්තර කෙරේ.
මෙම මහා කාව්‍යය තුළ රාවණා නිරූපණය කර ඇත්තේ, බෞද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති, අතිවිශාල අද්භූත බලයකින් හෙබි, කඩවසම් මෙන් ම බුද්ධිමත් මිනිසෙකු ලෙස ය.
මීට අමතරව, චීනය සහ ජපානය වැනි රටවල ද රාමායණයට බෙහෙවින් සමාන වූ ජනකතා පවතී.
උදාහරණයක් ලෙස, 'බොන්තෙන්කොකු' (Bontenkoku) නමැති ජපන් ජනකතාවක එන ප්‍රධාන චරිතය වන 'තමවකා' (Tamawaka) නිරූපණය කර ඇත්තේ, දක්ෂ බටනලා වාදකයෙකු ලෙස ය.
ඔහු එහිදී, රාවණාගේ චරිතයට සමානකම් දක්වන 'පැරමොන්' රජු සිරකර තබාගෙන සිටි 'හිමෙගිමි' නමැති කුමරිය බේරා ගනී.
කෙසේ වෙතත්, මෙම කතාවේදී එහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණයේ යුද්ධයක් හෝ සටනක් සිදු වන බවක් නිරූපණය නොවේ.
ඒ වෙනුවට, රජු දඩයමේ ගොස් සිටින අතරතුර, ප්‍රධාන නළුව තමාගේ බටනලා වාදනයේ ඇති මිහිරි බව උපයෝගී කරගෙන ආරක්ෂකයින්ව මන්මත් කර හෝ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කර එම කාන්තාව බේරා ගනී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ රාවණා වන්දනාව
ඉන්දියාව පුරා ඇති දේවාල කිහිපයක ම රාවණා වෙනුවෙන් වන්දනාමාන කරනු ලැබේ. විශේෂයෙන් ම, උත්තර ප්‍රදේශ්හි ග්‍රේටර් නොයිඩාහි පිහිටි බිස්‍රක් ගම්මානයේ වැසියන් දුස්සේරා උත්සවය සමරන්නේ නැත. ඔවුහු රාවණාව තමන්ගේ මුතුන්මිත්තෙකු ලෙස සලකා ඔහුට වන්දනාමාන කරති.
එමෙන් ම, තමිල්නාඩුවේ රාම භක්තියෙන් අදහන අතර, රාවණා ද පිළිගැනීමේ සම්ප්රදායක් පවතී. කෙසේ වෙතත්, තමිල්නාඩුව තුළ රාවණා අගැයීමට ලක් කරන හේතු ඊට සම්පූර්ණයෙන් ම වෙනස් ය.
විද්වතෙකු වූ පුලවර් කුලන්තෙයි විසින් ලියන ලද 'රාවණ කාව්‍යම්' නමැති ග්රන්ථයෙහි, රාවණා තමිල්නාඩුව පාලනය කළ බව විස්තර කෙරේ. මෙම කෘතියේ ප්‍රධාන චරිතය (නායකයා) වන්නේ රාවණා වන අතර, රාම නිරූපණය කර ඇත්තේ, ඔහුගේ ප්‍රතිවාදියා (දුෂ්ටයා) ලෙස ය.
එම පොතෙහි මෙසේ සඳහන් වේ: 'රාවණා සීතා වෙත පැමිණ, 'බිය නොවන්න, ඔබගේ සැමියා පැමිණියහොත් මම ඔහුට යහපත් මඟ පෙන්වා ඔබව ඔහු සමග ආපසු යවන්නෙමි' යි පැවසීය. ඔහු ඇයට සැලකුවේ තමාගේ ම බාල සහෝදරියකට මෙන් මහත් සෙනෙහසකිනි.'
විශේෂයෙන් ම, එහි රාවණාගේ බිඳවැටීම නිරූපණය කර ඇත්තේ, 'අසුරයෙකුගේ හෝ දුෂ්ට බලවේගයක' පරාජයක් ලෙස නොව, 'දෙමළ ජනතාවට සිදුවූ මහා ඛේදවාචකයක්' ලෙස ය.
මහත් ආන්දෝලනයට ලක්වූ මෙම කෘතිය 1948 ජූනි 02 වන දින තමිල්නාඩු රජය විසින් තහනම් කරන ලද අතර, එම තහනම ඉවත් කරනු ලැබුවේ, 1972 වසරේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලේඛක ස්ටාලින් රාජංගම් පවසන්නේ, තමිල්නාඩුව තුළ රාවණාව ගෞරවයට හා අගැයීමට පාත්‍ර වූ චරිතයක් බවට පත් කිරීම සඳහා ද්‍රවිඩියානු ව්‍යාපාරය (Dravidian movement) සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ය.
ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි: "කෙසේ වෙතත්, රාවණා ස්ථාපනය කරනු ලැබුවේ රාමට එරෙහි වූ චරිතයක් ලෙසයි. වෙනත් වචනවලින් කිවහොත්, මෙම නිරූපණය මගින් රාවණා යනු අසුරයෙකු හෝ යක්ෂයෙකු ය යන මතය වක්‍රව පිළිගෙන තිබිණි. නමුත්, ද්‍රවිඩ ව්‍යාපාරයටත් පෙර සිට ම, රාවණා යනු බෞද්ධ රජෙකු බවට තමිල්නාඩුව තුළ සාකච්ඡා පැවතිණි. එම අර්ථකථනය පසුකාලීනව එතරම් ප්‍රබල සමාජගත වීමක් සිදු වූයේ නැත."

ඡායාරූප මූලාශ්‍රය, Leadstart Publishing Pvt Ltd
"1880 ගණන්වලදී චෙන්නායි ලෞකික සංගමය (Chennai Laukika Sangam) විසින් ප්‍රකාශයට පත් කරන ලද 'තත්තුව විවේචිනී' (Tattuva Vivecini) සඟරාවෙහි ද මේ පිළිබඳව සඳහන් කර තිබිණි," යි ඔහු වැඩිදුරටත් පවසයි.
රාමායණයට සම්බන්ධ විවිධ මහා කාව්‍යයන් සහ විවිධ පිටපත් දෙස බැලීමේදී, රාවණා යනු තවමත් කාගේත් දැඩි අවධානයට හා කුතුහලයට ලක්වන සුවිශේෂී චරිතයකි.
"රාවණාගේ විවිධ මුහුණුවරයන් පිළිබඳ ගවේෂණයක්" (An Exploration of Ravana's Many Faces) නමැති ලිපිය අවසානයේ මෙසේ ප්‍රශ්න කරයි: "සැබවින් ම රාවණා යනු කවුද? උතුරු ඉන්දියාවේදී සෑම වසරක ම රූප පුළුස්සා දමන දුෂ්ට අසුරයෙකු ද, ශ්‍රී ලංකාවේදී මහත් ගෞරවයට පාත්‍ර වන ශ්‍රේෂ්ඨ රජෙකු ද, නැතහොත් තමිල්නාඩුවේදී ද්‍රවිඩ දේශපාලනයේ සංකේතයක් ද? එසේ නම්, රාවණා සැබවින් ම කවුද යන්න පිළිබඳව අපට එක ම නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි ද?"
'අසුර: පරාජිතයන්ගේ වීර කාව්‍යය' (Asura: Tale of the Vanquished) නමැති කෘතිය මගින් ආනන්ද් නීලකාන්තන් මේ සඳහා එක් පිළිතුරක් සපයයි. මෙමගින් රාමායණය ගෙන හැර දක්වන්නේ රාවණාගේ දෘෂ්ටිකෝණයෙනි.
"අපගේ මහා කාව්‍යයන්හි රාවණා නිරූපණය කර තිබෙන්නේ, හිස් දසයක් ඇති මිනිසෙකු ලෙස යි. එයින් සංකේතවත් කරන්නේ තම නිමක් නැති ආශාවන් පාලනය කර ගැනීමට අපොහොසත් වූ, එහෙත් ජීවිතයට දැඩි ලෙස ආදරය කරමින් එහි උපරිම අත්දැකීම් විඳීමට කැමැත්තෙන් සිටි අයෙකි."



































