ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරය: 'ත්‍රස්තවාදය සහ අන්තවාදය කිසිසේත් ඉවසන්නේ නෑ'-ජෝර්දාන රජු

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරය
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී එල්ල වූ ප්‍රහාරයකින් ජෝර්දාන ආරක්ෂක නිලධාරියෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තානාපති කාර්යාලයේ කිසිදු සේවකයෙකුට හෝ ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

බ්‍රහස්පතින්දා (නොවැ: 05) එරට වේලාවෙන් දහවල් 12.20ට පමණ මදීනා වීදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් එල්ල කෙරුණු ප්‍රහාරයෙන් ඒ මොහොතේ එහි රාජකාරියේ නිරතව සිටි කෝප්‍රල් ජවාඩ් අලි කලාෆ් අල්-සලයිතා මියගිය බව එහි දැක්වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එය "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙස හඳුන්වා ඇති බව ද ජෝර්දාන බලධාරීහු පවසති.

දකුණු ජෝර්දානයේ දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ සිදුවීමෙන් සති දෙකකට ආසන්න කාලයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

එම වෙඩි තැබීම සිදුව තිබුණේ, අම්මාන් අගනුවරට කිලෝමීටර් 90ක් පමණ දකුණින් පිහිටි කරක් ප්‍රදේශයේ ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයකදී ය.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය සිදුවූ ස්ථානය

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන පරිදි පොලිස් මුර සංචාරක කණ්ඩායමක් වහා ම එම සිදුවීමට මැදිහත් වී සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඇති වූ ගැටුමෙන් එම කණ්ඩායමේ ප්‍රධානියාගේ මුහුණට තුවාල සිදුව ඇති අතර, ඔහු කඩිනමින් රෝහල්ගත කර ඇත.

මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලය උපුටා දක්වමින් බීබීසී අරාබි සේවය වාර්තා කරන්නේ, අත්අඩංගුවට ගෙන ඇති ප්‍රහාරකයා මියගිය ආරක්ෂක නිලධාරියා සතු ගිනිඅවිය ග්‍රහණයට ගැනීමට උත්සහ කර ඇති බව ය.

ජෝර්දානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන Al-Mamlaka TV උපුටා ගනිමින්, AP පුවත් සේවය සඳහන් කළේ, එහිදී තවත් ආරක්ෂක නිලධාරියෙකු මැදිහත් වී ඇති අතර, ප්‍රහාරකයා සහ එම දෙවන නිලධාරියා දෙදෙනා ම තුවාල ලබා තිබේ.

කෝප්‍රල් ජවාඩ් අලි කලාෆ් අල්-සලයිතා
ඡායාරූප ශීර්ෂ වැකිය, කෝප්‍රල් ජවාඩ් අලි කලාෆ් අල්-සලයිතා

තම පුත්‍රයා "මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ බවත්, ඔහුගේ මරණය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව එක්සත්ව සිටීමට ජෝර්දාන වැසියන්ගේ අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත්" ප්‍රහාරයෙන් මිය ගිය කෝප්‍රල් ජවාද් අලි කලාෆ් අල්-සලයිතාගේ පියා Al-Mamlaka TV වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

ජවාඩ් 2007 වසරේ උපත ලබා ඇති අතර, 2023 වසරේදී මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයට සම්බන්ධ වී තිබේ.

ඔහුගේ මරණය පවුලට "විශාල ඛේදවාචකයක් වුව ද, තම පුත්‍රයා මව්බිම වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකු ලෙස සලකන" බව ද පියා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජවාඩ්ට සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙකු සිටින බව ය.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට

මේ අතර, රාජ්‍ය ආරක්ෂක අධිකරණයේ නීතිපති, බ්‍රිගේඩියර් ජෙනරල් සහ හමුදා විනිසුරු අහමඩ් තලාත් ෂහල්තෆ් සඳහන් කර ඇත්තේ, බ්‍රහස්පතින්දා අම්මාන් නගරයේදී මහජන ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු වූ "ත්‍රස්ත ක්‍රියාව" සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අධිකරණයේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී, මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැකකරු සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇතැයි එම කාර්යාලය උපුටා දක්වමින් බීබීසී අරාබි සේවය පැවසීය.

මේ පිළිබඳව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරය "නිවට ත්‍රස්ත ක්‍රියාවක්" බව මූලික විමර්ශනවලින් අනාවරණය වන බව රජයේ ප්‍රකාශක මොහොමඩ් අල්-මොමානි පැවසීය.

"ජෝර්දානයට සහ එරට ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන හෝ ඔවුන් ඉලක්ක කර ගන්නා කිසිදු පුද්ගලයෙකුට හෝ ක්‍රියාවකට රජය ඉඩ නොදෙන බව" ඔහු Xහි සටහනක් තබමින් අවධාරණය කළේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජෝර්දානයේ අම්මාන් අගනුවර සිදු වූ "ත්‍රස්ත ප්‍රහාරය" ලෙස හඳුන්වන සිද්ධිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව දෙවන අබ්දුල්ලා රජු අවධානයෙන් පසුවන බව ජෝර්දාන මාධ්‍ය වාර්තා කරන බව බීබීසී අරාබි සේවය පැවසීය.

එමෙන් ම "ත්‍රස්තවාදය සහ අන්තවාදය කිසිසේත් නොඉවසන බවත්, රාජධානියේ ආරක්ෂාවට තර්ජනය කිරීමට හෝ එරට පුරවැසියන්ට හානි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්" රජු අවධාරණය කර තිබේ.

Al-Mamlaka TV උපුටා දක්වමින් බීබීසී අරාබි සේවය වාර්තා කරන්නේ, ආරක්ෂක නිලධාරියාට ප්‍රහාරය එල්ල කළ සැකකරු සන්තකයේ තිබී තියුණු ආයුධ සහ කිනිසි දෙකක් සොයාගෙන ඇති බව ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පලස්තීන රජය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බව Al-Mamlaka TV වාර්තා කර ඇත.

එමෙන් ම ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මියගිය කෝප්‍රල් ජවාද් අලි කලාෆ් අල්-සලයිතාගේ පවුලේ සාමාජිකයන්ට සහ සහෝදර නිලධාරීන්ට සිය "බලවත් ශෝකය සහ සාතිශය සංවේගය පළ කරන අතර, ඔහුගේ වියෝව වෙනුවෙන් ජෝර්දාන ජනතාව සහ රජය සමග එක්ව" ශෝකය පළ කර තිබේ.

තම කාර්යාලය ජෝර්දාන බලධාරීන් සමග "අඛණ්ඩව සම්බන්ධීකරණය කරමින් එරට ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව ද දැඩි අවධානයෙන්" පසුවන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.