කෑමෙන් පසු සීනි මට්ටම ඉහළ යාම ඇත්තට ම භයානක ද? ඔබ දැනගත යුතු ඇත්ත ම කතාව

ඡායාරූප මූලාශ්‍රය, Peter Cade via Getty Images
- Author, මෙලීසා හෝගන්බූම්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ආහාර වේලකට පසු රුධිරයේ සීනි මට්ටම එකවර ම ඉහළ යාම පිළිබඳව අනවශ්‍ය ලෙස බිය වීම වර්තමානයේ නව ප්‍රවණතාවක් වී ඇත. නමුත් මෙය ආහාර ගැනීමෙන් පසු ශරීරයේ සිදුවන සාමාන්‍ය ප්රතිචාරයකි. ඒ පිළිබඳව ඔබ අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු අවස්ථා මොනවා ද යන්න මෙම ලිපියෙන් අවධානය යොමු කරයි.
පසුගිය වසර කිහිපය තුළ, පුදුමයට කරුණක් වන සිදුවීම් දෙකක් සිදුවීමට පටන්ගෙන තිබේ.
කිසිදු අසනීපයක් නැති සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් පවා, දවස පුරා තමන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ හැකි කුඩා උපකරණ ශරීරයේ පැළඳීමට පටන්ගෙන තිබේ. තවත් පිරිසක් සුදු පාන් සහ පැස්ටා වැනි පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් (පිටි කෑම) ආහාරයට ගැනීම සම්පූර්ණයෙන් ම නතර කර ඇත.
ඇත්ත වශයෙන් ම, ලේඛකයන්, පොඩ්කාස්ට් ඉදිරිපත් කරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අප සැමදෙනාම රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ යාම පිළිබඳව විමසිලිමත් විය යුතු බවත්, ඒවා වළක්වා ගත යුතු බවත් යන මතය සමාජගත කරමින් සිටිති. මෙම අන්තගාමී මතයට අනුව, රුධිරයට විශාල වශයෙන් ග්ලුකෝස් එකතු වීමට ඉඩ හැරීම අප අපව ම අනතුරේ හෙළා ගැනීමකි. පරිවෘත්තීය ආබාධ එනම් දියවැඩියාව වැනි රෝග නොමැති නිරෝගී පුද්ගලයන් පවා, මෙලෙස රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට ඉඩ හැරීමෙන් හෝමෝන අසමතුලිතතාව, කුරුළෑ ඇතිවීම, මනෝභාවයන් වෙනස් වීම සහ ඊටත් වඩා නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පවසති.
නමුත් දැන් වෛද්‍ය විශේෂඥයන් මෙම මතයට විරුද්ධව අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව ඔබ සැබවින් ම සැලකිලිමත් විය යුතු අවස්ථා සහ පිටි බහුල ආහාර වේලක් ගැනීමෙන් ශරීරයට දිගුකාලීන හානියක් සිදු නොවන අවස්ථා මොනවා ද යන්න මෙහි දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අපගේ රුධිරයේ සීනි මට්ටම එකවර ම ඉහළ යන්නේ ඇයි?
අප පිරිපහදු කළ සීනි, පලතුරු සහ කාබෝහයිඩ්රේට් (පිටි) බහුල ආහාර ගන්නා විට සහ ඒවා ජීර්ණය වන විට, අපගේ රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව ම ඉහළ යයි.
එයට හේතුව අපට කාබෝහයිඩ්රේට් සහ සීනි ජීර්ණය වන විට, ඒවා ග්ලූකෝස් බවට කැඩී ගොස්, පසුව රුධිරයට අවශෝෂණය වී, තාවකාලිකව අපගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට හේතු වේ. එය සිදුවන විට, අග්න්‍යාශය ඉන්සියුලින් හෝමෝනය ස්රාවය කිරීමෙන් ප්‍රතිචාර දක්වන අතර, එය අපගේ රුධිර ප්රවාහයෙන් ග්ලූකෝස් පිටතට ගෙන ගොස් ශරීරයේ සෛල තුළට ශක්තිය ලබා දීමට උපකාරී වේ.
අපගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ නැංවීමට හේතු වන්නේ ආහාර පමණක් නොවේ. දැඩි ශාරීරික ව්‍යායාමවල යෙදෙන විට, ඇඩ්රිනලින් වැනි හෝමෝන මඟින් අක්මාව උත්තේජනය කර රුධිරයට වැඩිපුර ග්ලුකෝස් මුදා හැරීමට සලස්වයි. එමගින් ක්‍රියාකාරී මාංශ පේශි සඳහා අමතර ශක්තියක් ලබා දේ. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ ග්ලුකෝස් මට්ටම තාවකාලිකව ඉහළ යා හැකි බව ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි පිහිටි යේල් වෛද්‍ය විද්‍යාලයේ ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෙනිෆර් ෂර් පවසයි.
දියවැඩියාව ඇති පුද්ගලයින් තුළ ශරීරය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැත, නැතහොත් එය තවදුරටත් ක්‍රියා කළ යුතු ආකාරයට ක්‍රියා නොකරයි (ඉන්සියුලින් ප්‍රතිරෝධී වේ). මෙයින් අදහස් කරන්නේ ආහාර ගැනීමෙන් පසු ඔවුන්ගේ රුධිරයේ සීනි අනතුරුදායක ලෙස ඉහළ යා හැකි බවයි. මෙම අවස්ථාවේදී, ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මිනිසුන් තම ආහාර වේල ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම, ව්‍යායාම කිරීම සහ ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් පුද්ගලයින්ට ඉන්සියුලින් හෝ මෙට්ෆෝමින් වැනි ඖෂධ ලබා ගැනීමට ද අවශ්‍ය වේ.
ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සාමාන්‍ය යි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිරෝගී පුද්ගලයින් අතර, ආහාර ගැනීමෙන් පසු රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සාමාන්‍ය කායික ප්රතිචාරයකි. "ලොකු ම වැරදි මතය තමයි සෑම ග්ලූකෝස් වැඩිවීමක් ම හානිකරයි කියන එක," එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලයේ පෝෂණ හා ආහාරවේදය පිළිබඳ සහකාර මහාචාර්ය ඒඩ්‍රියන් බ්‍රවුන් පවසයි.
මෑතකදී මම සති හයක් පුරාවට සීනි එකතු කළ ආහාරවලින් වැළකී සිටීම අත්හදා බැලුවෙමි. (මම උගත් දේ පිළිබඳ වැඩිදුර විස්තර බීබීසීයෙන් කියවන්න.) එතැන් පටන් මම සීනි සහිත ආහාර ගන්නා විට මගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන කරුණට විශේෂයෙන් ම එකඟ විය.
සාමාන්‍යයෙන් අප ආහාර ගත් පසු රුධිරයේ සීනි මට්ටම උපරිමයකට ළඟා වන්නේ පැයකට පමණ පසුව වන අතර, ඉන්පසු එළඹෙන පැය දෙක ඇතුළත එය නැවත තිබූ සාමාන්‍ය මට්ටමටම පැමිණේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවන නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම මෙලෙස කෙටි වේලාවකට පමණක් ඉහළ යන්නේ නම්, අප ඒ පිළිබඳව බිය විය යුතු නැති බව බ්‍රවුන් පවසයි.
අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ මට්ටමක පවතින විට, ශරීරය සාමාන්‍යයෙන් ග්ලූකෝස් නියාමනය නොකරන බව එයින් පෙන්නුම් කළ හැකි බව ෂර් පවසයි. මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධයේ ලක්ෂණයක් විය හැකි අතර, එහිදී ශරීරය සාමාන්‍යයෙන් ග්ලූකෝස් වලට ප්‍රතිචාර නොදක්වයි. ශරීරය දිගු කාලයක් පුරා අධි රුධිර සීනි මට්ටමට නිරාවරණය වුවහොත් ඉන්සියුලින් ප්‍රතිරෝධය සිදුවිය හැකිය. අවසානයේ එය පූර්ව දියවැඩියාව සහ දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු විය හැක. ඇතැම් දියවැඩියා රෝගීන් අත්විඳින අඛණ්ඩව රුධිරයේ ග්ලූකෝස් ඉහළ යාම ස්නායු හා අක්ෂි හානි, හෘද රෝග සහ ආඝාතය ඇතුළු සංකූලතා ඇති කළ හැකිය.
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් තර්ක කරන්නේ රුධිරයේ පවතින අධික ග්ලූකෝස් ඉන්සියුලින් ප්රතිරෝධයට සෘජුවම හේතු වන බව පැවසීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඒ වෙනුවට, පැහැදිලි කිරීම විය හැක්කේ, අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්නා විට මෙම අතිරික්ත කැලරි මේදය බවට පරිවර්තනය වීම බව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආහාරවේදියෙකු සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සගයෙකු වන නිකොලා ගෙස් පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස බර වැඩිවීම 02 වර්ගයේ දියවැඩියාව සඳහා අවදානම් සාධකයක් බව ඇය තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ග්ලූකෝස් නිරීක්ෂණ උපකරණවල අගය අඛණ්ඩව ඉහළ යාම
දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් දැනටමත් ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම නිතිපතා නිරීක්ෂණය කරයි. ඔවුන් මෙය සිදුකරන එක් ක්‍රමයක් වන්නේ දවස පුරා රුධිරයේ සීනි මට්ටම මනිනු ලබන අඛණ්ඩ රුධිර සීනි මට්ටම් නිරීක්ෂණ උපකරණ භාවිතා කිරීමයි.
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් තුළ මෙම උපාංග සඳහා දැන් වැඩෙමින් පවතින වාණිජ වෙළඳපොළක් පවතී. කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවන්නේ දියවැඩියාව නොමැති අයට ඒවා අනවශ්‍ය බවයි. දියවැඩියාව නොමැති සහභාගිවන්නන් පිළිබඳ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම 96% ක්ම සෞඛ්‍ය සම්පන්න පරාසයක පැවැති බවයි.
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ මෙම උපකරණ මඟින් රුධිරයේ සීනි මට්ටම සැබෑ ප්‍රමාණයට වඩා වැඩියෙන් පෙන්විය හැකි නිසා, ඒවා භාවිත කිරීමෙන් 'ආහාර රටාවේ අහිතකර වෙනස්කම් සිදු වීමට සහ සෞඛ්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති වීමට ඉඩ ඇති' බවයි. මෑතකදී කරන ලද සමාලෝචනයකදී බ්‍රවුන් සහ ඔහුගේ සගයන් සොයාගෙන ඇත්තේ, දියවැඩියාව නොමැති පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට මෙම ග්ලූකෝස් නිරීක්ෂණ උපකරණ උපකාරී වන බව පෙන්වන ස්ථාවර හෝ උසස් තත්ත්වයේ සාක්ෂි නොමැති බවයි.
ඉතිරිය වන්නේ 2 වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇති පිරිස විය හැකිය. අනාවරණය කෙරෙන පර්යේෂණ යෝජනා කරන්නේ රුධිර ග්ලූකෝස් නිරීක්ෂණය කරන ට්‍රැකර් මඟින් වැඩි අවදානමක් ඇති අය පුරෝකථනය කිරීමට උපකාරී විය හැකි බව යැයි ශෙර් පවසන නමුත් අඛණ්ඩ ග්ලූකෝස් නිරීක්ෂණ පද්ධති මෙම කණ්ඩායමට වාසිදායක දැයි තීරණය කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය වේ.
තවමත් හොඳම දේ වන්නේ සමබර ආහාර වේලක් ලබා ගැනීම
නිරෝගී පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සාමාන්‍ය දෙයක් වන අතර, එමඟින් දරුණු ප්‍රතිඵල ඇති වීමේ අවදානමක් නැතත්, ශරීරයේ සීනි මට්ටම එක ලෙස පවත්වා ගැනීමට උපකාර කිරීමෙන් වාසි කිහිපයක් ලබා ගත හැකිය. උදාහරණයක් ලෙස, ආහාර වේලකට පසු රුධිරයේ ග්ලුකෝස් මට්ටම වේගයෙන් පහත වැටුණහොත්, එමඟින් අපට දැනෙන බඩගින්න වැඩි විය හැකි අතර, එය සමස්තයක් ලෙස වැඩිපුර ආහාර කැලරි ප්‍රමාණයක් ගැනීමට අපව පොළඹවයි.
අප ගන්නා විවිධ වර්ගයේ ආහාරද අපගේ රුධිරයේ සීනි මට්ටම වෙනස් වන ප්‍රමාණය කෙරෙහි බලපායි. රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්නා ආහාර මගින් අපට වැඩි වේලාවක් බඩගිනි නොදැනී පවතින අතර, නිවුඩ්ඩ සහිත ධාන්‍ය සහ ප්‍රෝටීන් බහුල ආහාර මීට අතිශයින්ම සුදුසු වේ. කෙසේ වෙතත්, සුදු පාන් සහ සුදු බත් වැනි සරල කාබෝහයිඩ්රේට් (පිටි කෑම) ඉතා වේගයෙන් රුධිරයට අවශෝෂණය වේ.
කාබෝහයිඩ්රේට් බහුල ආහාරයක් ගැනීමට පෙර ප්‍රෝටීන් සහ එළවළු ආහාරයට ගැනීම මගින් ආහාර වේලකින් පසු රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යාම අවම කර ගත හැකිය. ආහාර ගන්නා අනුපිළිවෙල වෙනස් කිරීම රුධිරයේ සීනි පාලනය කර ගැනීමට උපකාරී වන සරල ක්රමයකි.
තවත් උපදෙසක් වන්නේ ප්‍රෝටීන්, තන්තු බහුල ශාකමය ආහාර සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු සමබර ආහාර වේලක් ඉලක්ක කිරීමයි. මෙය ආහාර දිරවීම මන්දගාමී කිරීමට සහ ස්ථාවර ශක්තියක් ලබා දීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.
අප ගන්නා ආහාරවලට අපේ ශරීරය දක්වන ප්‍රතිචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට සුළු වශයෙන් වෙනස් වන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. පුද්ගලයන් අතර මෙහි පැහැදිලි වෙනස්කම් පවතින අතර, එකම පුද්ගලයා වුවද තමා ලැබූ නින්ද, මානසික ආතතිය, ශාරීරික ක්‍රියාකාරකම්වල මට්ටම සහ ලබාගත් ආහාර වේලේ ස්වභාවය වැනි සාධක මත විවිධ අවස්ථාවලදී වෙනස් ප්‍රතිචාර පෙන්විය හැකි බව බ්‍රවුන් පවසයි.
මීට අමතරව, ඇතැම් ආහාර පාලන ක්‍රම මගින් නිර්දේශ කරන පරිදි කාබෝහයිඩ්රේට් (පිටි කෑම) සම්පූර්ණයෙන්ම මගහැරීම බලාපොරොත්තු නොවන අහිතකර ප්‍රතිඵල ලබා දිය හැකි බව ගෙස් පවසයි. දීර්ඝ කාලයක් පිටි කෑමෙන් වැළකී සිටීමෙන් පසු නැවත වරක් කාබෝහයිඩ්රේට් බහුල ආහාර වේලක් ගත් විට, අපගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් ඉහළ යාමට එය හේතු විය හැකිය. වඩාත්ම වැදගත් කරුණ නම්, කාබෝහයිඩ්රේට් යනු සමබර ආහාර වේලක අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකීමයි. ගෙස් මෑතකදී කළ සමාලෝචනයක පෙන්වා දෙන පරිදි, ඇතැම් ආහාර කාණ්ඩ මෙලෙස දැඩි ලෙස සීමා කිරීම මඟින් ශරීරයට හිතකර වන හොඳ ආහාර පවා අනවශ්‍ය ලෙස මගහැරී යා හැකිය.
එබැවින්, රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිරීක්ෂණය කිරීමේ වාසි පිළිබඳව තවමත් නිශ්චිත අවසාන නිගමනයකට පැමිණ නොමැති වුවද, අපගෙන් බහුතරයක් දැනටමත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා බාහිරින් එකතු කරන සීනි පරිභෝජනය කරන බව මතක තබා ගැනීම වැදගත්ය. එනිසා, එම සීනි භාවිතය අඩු කර ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය.



































