2027 අයවැයේ මුදල් බෙදී යන හැටි - රජයේ මුදල් වැඩිපුර ම වෙන් වී ඇති අමාත්‍යංශය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Lokesh Sharma | BBC
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
2027 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට නිකුත් වී ඇති අතර, නොවැම්බර් 12 වන දින එය සාම්ප්‍රදායානුකූලව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.
ජනාධිපතිවරයාගේ එම අයවැය කතාව, අයවැය පළමු වර කියවීම ලෙස සලකනු ලබන අතර, දෙවන වර කියවීමේ විවාදය, සහ තුන්වන වර කියවීමේ විවාදයෙන් එය සම්මත වීම දක්වා මෙම ලේඛනය හැඳින්වෙන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.
මෙහි මීළඟ වසරේ එක් එක් වැය ශීර්ෂ සඳහා රජය විසින් ලබා දීමට යෝජිත මුදල් සම්බන්ධයෙන් සඳහන් වන අතර, මෙම අරමුදල් වෙන් කිරීම් අයවැය විවාද අතරතුර වෙනස් වීමට ඉඩ තිබේ.
ඒ අනුව, මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති, අගමැති, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි විශේෂ වැය ශීර්ෂ සහ අමාත්‍යංශවලට මුදල් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.
ජනපතිට රු. බිලියන 11.2ක්, මැතිවරණ කොමිසමට රු. බිලියන 10.5ක්
මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 11.2කට ආසන්න ය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති මුදලින් රුපියල් බිලියන 8.1ක් සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර තිබේ. එය, එම වැය ශීර්ෂය යටතේ ඇති මුළු ප්රතිපාදනයෙන් වැඩි කොටසකි.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 1.02කි.
ජනාධිපතිවරයාට පසුව විශේෂ වියදම් ඒකක අතුරින් වැඩි ම මුදලක් වෙන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සඳහා ය. එම මුදල රුපියල් බිලියන 10.58 කි.
පාර්ලිමේන්තුව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 6.1ක් වන අතර, ජාතික විගණන කාර්යාලය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 4.89කි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා රුපියල් බිලියන 2.49කට ආසන්න මුදලක් වෙන් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වෙන් කර ඇති මුදලින් රුපියල් බිලියන 2.36ක් පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර තිබීම ද කැපී පෙනේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 540ක් වේ.
වැඩි ම මුදලක් මුදල් අමාත්‍යංශයට
2027 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාශ වලට ලබාදෙන ප්‍රතිපාදන වලින් වැඩි ම මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ය. ඒ සඳහා යෝජිත මුළු මුදල රුපියල් බිලියන 856.85කි.
එම අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල, පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර ඇති මුදලට වඩා වැඩි ය.
දෙවනුව වැඩි ම මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ය. එහි මුළු ප්රතිපාදනය රුපියල් බිලියන 651ක් වන අතර, එයින් වැඩි කොටසක් පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර තිබේ.
සෞඛ්‍යය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 590.5ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කර ඇති අතර, විශේෂත්වය වන්නේ මුළු මුදලින් රුපියල් බිලියන 432ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබීම යි.
ආරක්ෂක අමාත්‍යාංශය මෙම ලැයිස්තුවේ රැඳී සිටින්නේ පස් වන ස්ථානයේ වන අතර එම අමාත්‍යංශයට යෝජිත මුළු ප්රතිපාදනය රුපියල් බිලියන 458කි.
එමෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 328ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 230.5ක් වෙන් කිරීමට යෝජිත ය.
අඩු ම ප්‍රතිපාදන
2027 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ අතර අඩු ම ප්රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට ය. අමාත්‍ය වසන්ත සමරසිංහගේ එම අමාත්‍යාංශයට වෙන් කිරීමට යෝජිත මුළු මුදල රුපියල් බිලියන 3.4කි.
එම අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදලින් රුපියල් බිලියන 2.4ක් පුනරාවර්තන වියදම් සඳහා ද, රුපියල් බිලියනයක් ප්‍රාග්ධන වියදම් සඳහා ද වෙන් කර තිබේ.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 3.7ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
කම්කරු අමාත්‍යාංශය සඳහා යෝජිත මුළු ප්රතිපාදනය රුපියල් බිලියන 7.5ක් යෝජනා කර ඇති අතර, වැඩි කොටසක් පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර ඇති තිබේ. ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 2කි.
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය අඩු ම ප්‍රතිපාදන වෙන් ව ඇති අනෙකුත් අමාත්‍යංශ දෙක වේ.


































