රුවන්වැලි සෑය අබියස උණුසුම් තත්ත්වයක්: කස්සප හිමි ඇතුළු 8 දෙනෙක් පොලිස් භාරයට

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
අනුරාධපුර රුවන්වැලි සෑය අබියස පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක්, කාන්තාවක සහ සිවිල් වැසියන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.
මේ අතර, අදාළ සිදුවීමෙන් පසු රෝහල්ගත කරන ලද රාජාංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම නොසන්සුන්තාව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේ ය.

අනුරාධපුර රුවන්වැලි සෑය අබියස පැවැත්වෙන මාරාන්තික උපවාසය සහ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග එම ස්ථානයේ ඉදිකර තිබූ අට්ටාලය සම්පූර්ණයෙන් ම කඩා බිඳ දැමීමට එහි රැස්ව සිටි ප්‍රදේශ වාසීන් පිරිසක් කටයුතු කර තිබේ.
එම අවස්ථාවේදී අට්ටාලය තුළ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂිතව රුවන්වැලි සෑය පුදබිම වෙත වැඩම කරවීමට ද ප්‍රදේශ වාසීන් පියවර ගෙන ඇත.
ගැටුමට හේතුව
යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම හකුළා ගන්නා ලෙස ඉල්ලමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් රුවන්වැලි මහා සෑය අබියස මාරාන්තික උපවාසයක් සහ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබිණි.
එම උපවාස භූමියට රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් පැමිණීමත් සමග දෙපාර්ශ්වය අතර දැඩි බහින්බස් වීමක් හටගෙන ඇති අතර, එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.

රෝහල්ගත කිරීම සහ විමර්ශන
අදාළ ගැටුම අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ රාජාංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මීට පෙර ද අදාළ සත්යග්රහ භූමියෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබූ පසුබිමක මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණි.


































