ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2027 අයවැය යෝජනා: ඔබේ ආදායම් බද්ද (APIT) අඩු වෙන්නේ මෙහෙම යි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2027 අයවැය යෝජනා අනුව අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) සඳහා සංශෝධනයක් යෝජනා කර තිබේ.
ඒ අනුව, මාසික ආදායමෙන් රු. 162,000ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට යෝජිත ය.
බද්දෙන් නිදහස් වන වාර්ෂික ආදායම රු. 1,950,000ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය.
බදු ස්ථරවලත් වෙනසක්
මෙම යෝජනාව අනුව 6%ක බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රු. 70,833ක් වන අතර, ඉන් අනතුරුව රු. 41,667ක් පැවති බදු ස්ථර මසකට රු. 50,000 දක්වා පුළුල් වෙයි.
6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කිරීමට ද යෝජනා කර තිබේ.
උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 750ක සිට උපරිම වශයෙන් රු. 15,750ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇතැයි අයවැය යෝජනාවල සඳහන් වේ.
ඒ අනුව, 2025 වසරේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අප රජය විසින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට ලබා දෙන සමස්ත මාසික බදු සහනය අවම වශයෙන් රු. 4,250ක සිට උපරිම වශයෙන් රු. 36,250ක දක්වා ඉහළ නැංවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
"අප රජය විසින් 2025 වසරේදී වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. මිලියන 1.2 සිට රු. මිලියන 1.8 දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම පියවර මගින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500ක සිට උපරිම වශයෙන් රු. 20,500ක් දක්වා බදු සහනයක් හිමි වුණා.
පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මගින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.
මසකට රු. 100,000ක් වූ බදු නිදහස් සීමාව රු. 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. යෝජිත සංශෝධන මගින් එය රු. 162,500ක් දක්වා තවදුරටත් ඉහළ නැංවෙනවා. ඒ අනුව, රු. 162,500ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ," ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.