'අධිකරණයට අපහාස කිරීම': විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ල ගැන ගත් තීන්දුව

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල
Published
කියවීමේ කාලය: මිනිත්තු 6

අධිකරණයට අපහාස කළ බවට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් පවතින්නේ ද යන්න පිළිබඳව නියෝගය ලබන ජනවාරි 12 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (නොවැ: 13) දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේ, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින් සිදුකරන ලද ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට කරුණු තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇති බව ය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයාට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බව ය.

"යූටියුබ් නාලිකා කිහිපයකදී ශානිගේ වධකාගාරය තුළ සුරේෂ් සලේ රඳවාගෙන වධ හිංසාවලට ලක් කරන බව මගේ සේවාදායකයා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නිකුත් කළ රැඳවුම් නියෝගය සම්බන්ධයෙන් ඔහු කරුණු දක්වා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ සලේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ යූටියුබ් වීඩියෝවල ඔහු අධිකරණය හෝ විනිසුරුවරයා සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැහැ. එසේ නම්, 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පනත යටතේ අපහාසයක් සිදුකළ බවට චෝදනා ඉදිරිපත් කරන්නේ කෙසේ ද? මගේ සේවාදායකයාට එරෙහිව බැලූ බැල්මට චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙනවා. ඒ නිසා මෙම වගඋත්තරකරුට එරෙහිව මෙම චෝදනා පවත්වාගෙන යා නොහැකියි," යනුවෙන් ඔහු පැවසීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග දෙකක් නිකුත් කිරීමට නියමිතව තිබියදී වගඋත්තරකරුවන් අදාළ ප්‍රකාශ සිදුකර ඇති බව ය.

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූනි 10 වැනි දා සහ ජූලි 1 වැනි දා නියෝග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එසේ තිබියදී මෙම වගඋත්තරකරුවන් ජූනි 7 වැනිදා සහ ජූනි 15 වැනිදා අතර කාලසීමාවේදී අදාළ ප්‍රකාශ සිදුකර තිබෙනවා.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන වගඋත්තරකරුවන් ජූනි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතව තිබූ නියෝගයට පෙර මෙම ප්‍රකාශ සිදුකර තිබෙනවා. ඔවුන් ශානි අබේසේකර සහ වධකාගාරයක් පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. අධිකරණය ගැන ඔවුන් කිසිවක් සඳහන් කර නැහැ.

මහින්ද පතිරණ සහ දිලිත් ජයවීර යන වගඋත්තරකරුවන් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ වධ හිංසාවලට ලක්වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් පත්කරන ලද වෛද්‍ය මණ්ඩලය පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ඔවුන් එම ප්‍රකාශ සිදුකර තිබෙන්නේ ජූලි 1 වැනිදා නිකුත් කිරීමට නියමිතව තිබූ නියෝගයට පෙරයි," යනුවෙන් ඔහු පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ බව ය.

එසේම, සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය හරහා වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධ වාර්තා කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව, වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔහු පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක (විශ්‍රාමික) මේජර් ජනරාල් සුරේෂ් සලේ නිදහස් කරන ලෙස කොළඹ කොටුව අධිකරණය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට හිටපු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ව සිටියි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට ස්වේච්ඡාවෙන් තීරණයකට එළඹ නොමැති බව ය.

"ස්වාමීනි, මගේ සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා විසින් ස්වේච්ඡාවෙන් ම තීරණයකට එළඹ නැහැ. වගඋත්තරකරුවන් සිදුකළ ප්‍රකාශවලින් විමර්ශන නිලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව යි ඔහු මේ තීරණයට එළඹුණේ," යනුවෙන් ඔහු පැවසීය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්නයක් විමසමින්, "මුල් අවස්ථා අධිකරණවලට සිදුවන අපහාස සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව විමර්ශන සිදුකිරීමට අභියාචනාධිකරණයට බලය තිබෙනවා ද?" යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 6(3) වගන්තිය ප්‍රකාරව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමට සහ දඬුවම් නියම කිරීමට අභියාචනාධිකරණයට බලය පවරා ඇති බව ය.

මෙම වගන්තිය අනුව, මුල් අවස්ථා අධිකරණවල සිදුවන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කිරීමට අභියාචනාධිකරණයට පූර්ණ බලය පවතින බව ඔහු සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව පොලිස් භාරයේ රඳවා සිටින සැකකරුවෙකු මසකට වරක් නිරීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පවතින බව ය.

එහිදී සැකකරු කිසියම් වධ හිංසාවකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයාට බලය ඇති බව ඔහු පැවසීය.

එම පරීක්ෂණයේදී අදාළ සැකකරු වධ හිංසාවලට ලක්ව ඇති බව තහවුරු වුවහොත්, ඔහු රඳවා සිටින ස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයාට බලය පවතින බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, සැකකරුවන් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාමාර්ගයක කොටසක් බවත්, මහේස්ත්‍රාත්වරයා 'රබර් මුද්‍රාවක්' ලෙස ක්‍රියාකරන බවට වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බවත් ඔහු කියා සිටියේය.

මෙහිදී වගඋත්තරකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දක්වමින් කියා සිටියේ, මහේස්ත්‍රාත්වරයාට මසකට වරක් සැකකරු පරීක්ෂා කිරීමට බලය පවතින බව සත්‍යයක් වුව ද, එමගින් අත්අඩංගුවේ පසුවන පුද්ගලයා වධ හිංසාවලට ලක් නොවන බවට නිගමනයකට එළඹිය නොහැකි බව ය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ ශාරීරික වධ හිංසාවලට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්තාවලින් කරුණු අනාවරණය වී නොමැති බව ය.

එම තත්ත්වය යටතේ 'ශානිගේ වධකාගාරය' පිළිබඳව වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන කරුණු සාධාරණීකරණය කළ නොහැකි බවත්, විනිසුරුවරුන්ට බාධාවකින් තොරව නිදහසේ සිය තීන්දු තීරණ ගැනීමට අවකාශ තිබිය යුතු බවත් ඔහු පැවසීය.

මෙම පනත හඳුන්වාදීමේ අරමුණ ද එය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්නයක් විමසමින්, "මෙහි ඇතැම් වගඋත්තරකරුවන් තමන් අධිකරණය හෝ විනිසුරුවරයා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, 'ශානිගේ වධකාගාරය' පිළිබඳව ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාසයක් නොවන බවත් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?" යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කිරීමේ පනතට අදාළ නොවන බවට විවාදයක් නොමැති බව ය.

"නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීම අධිකරණ ක්‍රියාවලියේ කොටසක්" යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට බැලූ බැල්මට පෙනී යන ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ බව ය.

වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව, ලිඛිත දේශන තිබේ නම් ඒවා දෙසැම්බර් 15 වන දා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය.

ඉන් අනතුරුව, මෙම නඩුකරයට අදාළ නියෝගය ලබන ජනවාරි 12 වන දා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දුන්නේ ය.